
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අතිශය තරගකාරී විභාගයකි. විශේෂයෙන්ම දුෂ්කර පාසල්වල අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ජනප්‍රිය පාසලක් ලබා ගැනීමටත්, අධ්‍යාපනය සඳහා රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටත් ශිෂ්‍යත්ව විභාගය අතිශය වැදගත් කොට සැලකෙයි. දහසකුත් බලාපොරොත්තු දල්වාගෙන පසුගිය 11 වැනිදා බොහෝ දරුවන් විභාගයට පිටත්ව ගියේ මහත් වූ සොම්නසකිනි.
එහෙත් ජීවිතයේ කඩඉම් විභාගය තිබූ දිනයේදී සිය මවගේ අභාවය නොදැන මවගේ එකම අභිලාෂය ඉටු කරන්නට ගිය පුංචි පුතකු පිළිබඳව සංවේදනීය පුවතක් ගාල්ල කරන්දෙණියෙන් වාර්තා විය.
සිදුවීම සැකවින් මෙසේය.
මෙවර පහ වසර ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටි කවීෂ චතුරංග අධ්‍යාපනය ලැබුවේ කරන්දෙණිය බන්දුල සේනාධීර ප්‍රාථමික විදුහලෙනි. පාසලේ ගුරුවරුන්ට, මව්පියන්ට මෙන්ම ඥාති හිතවතුන්ට ද කවීෂගේ අනාගතය පිළිබඳව තිබුණේ මහත් වූ බලාපොරොත්තුවකි. කුසලතාවලින් පිරි කවීෂට සියල්ලෝම ආදරය කළහ.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් වූ එච්.එම්. උපාලි කවීෂගේ ආදරණීය පියාය. හේ අනේක දුක් කම්කටොළු මැද සිය වෘත්තියේ නිරතව වෙහෙසුණේ සිය බිරිඳ වන නිලන්ති ඒකනායක සහ දරුවන් තිදෙනාගේ අනාගතය සාර්ථක කර ගැනීමට සිහින දකිමිනි. තමන්ගේ සියලු කටයුතුවලට සෙවණැල්ලක් බඳුව සිටි උපාලිගේ ආදරණීය බිරිඳ දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳින බව මෑතකදී හෙළි විය. එම වේදනාත්මක පුවත ඔවුන්ගේ කැදැල්ලට චණ්ඩ මාරුතයක් විය. ඒ අනුව ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණි.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම්ව සිටි කවීෂට මවගේ අසනීප තත්ත්වය හෙළි කිරීමට සිය පියා කටයුතු නොකළේ මව සහ පුතු අතර තිබෙන අසීමිත ආදරය නිසාවෙනි. කවීෂගේ මව රෝහලේ නැවතුණු දිනයේ සිට කවීෂ අසල්වැසි නිවෙසක නතර කිරීමට ඔහුගේ පියා කටයුතු කර තිබුණේ ද කවීෂගේ විභාගය අත ළඟටම පැමිණ තිබූ බැවිනි. සිය මවට අසීමිතව ආදරය කළ කවීෂ මවගේ රෝග තත්ත්වය විමසන සෑම විටකදීම ඔහුගේ පියා කවීෂට පවසා ඇත්තේ මවගේ රෝගී තත්ත්වය කෙමෙන් කෙමෙන් සුවපත් වන බවය.
එතැන සිට දෙලොවක් අතර තනි වූ කවීෂගේ පියා වූ එච්.එච්. උපාලි මහතා කඳුළු පිරි දෙනෙතින් යුතුව සිය කතාව මෙසේ කීය.
මගේ බිරිඳ මාසයක විතර ඉඳන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා. ඒත් ඒ බව මම පුතාට කිව්වේ නැහැ. මොකද පුතා අම්මා එක්ක පුදුම බැඳීමක් තිබුණේ. ඒ වගේම මගේ බිරිඳගේ එකම ආශාව වෙලා තිබ්බෙත් පුතා ඉහළින් ශිෂ්‍යත්වය සමත් වෙනවා දකින්න. බිරිඳ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන විටදී පසුගිය 10 වැනිදා නැති වුණා. ඒත් මම පුතාට ඒ බව කිව්වේ නැහැ. පසුගිය 11 වැනිදාට විභාගය තියෙන නිසා අම්මට ඉක්මනට සනීප වෙලා ගෙදර එයි කියලා මම එයාට කියලා තිබුණේ. ඒත් මරණ ගෙදරට ටෙන්ට් පුටු ගේනකොට මගෙන් පුතා ඇහුවා ඇයි තාත්තේ මේ ටෙන්ට් පුටු ගේන්නේ කියලා. එතකොට මම කිව්වා අම්මට සනීප නැති නිසා දානයක් දෙන්න තමයි බඩු ගේන්නේ කියලා. ඊට පස්සේ පුතා නිදි කරලා උදේ පාන්දර මම පුතාවත් අරන් විභාගයට ගියා.
විභාගය නිමවූ පසු මිටින් හල කුරුල්ලෙක් සේ කවීෂ ගෙදර පැමිණියේය. සිය මව බැලීමට රෝහලට යාම කවීෂගේ එකම අපේක්ෂාව විය. එහෙත් ඒ වන විටත් කවීෂගේ මෑණියන් කවීෂ අතහැර බොහෝ දුර ගොස් තිබිණි. සිය නිවෙසට පැමිණි කවීෂ මවගේ දේහය අසල දරාගත නොහැකි වේදනාවකින් හඬා වැළපෙනු දුටු බොහෝ දෙනකුගේ නෙත් කඳුළින් තෙත් විය. කවීෂ සිය මවගේ එකම බලාපොරොත්තුව ඉටු කරනු ඇති බව බොහෝ දෙනා සුසුම් හෙළමින් පැවසූහ.
හසිත් අංජන