
මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයේ තීරණාත්මක සටහන විභාග ප්‍රතිඵලයයි. පාසල් අධ්‍යාපනයේ අවසන් කඩඉම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයයි. තවදුරටත් අධ්‍යාපනයේ ඉදිරියට ගොස් උසස් අධ්‍යාපනය ලබනවාද වෘත්තීය සුදුසුකමක් සපුරා යම් වෘත්තියකට පිවිසෙනවාද නොඑසේනම් සියල්ල අතහැර යම් රැකියාවක නිරත වෙනවාද යන්න මේ විභාග ක්‍රමයත් සමඟ සිදුවේ. එබැවින් මෙම තීරණාත්මක විභාගය සීයට සීයක් විනිවිද හා විශ්වාසනීයත්වයෙන් පැවැත්විය යුතුය. ඒ බව සියලු විභාග අපේක්ෂකයන්ට තහවුරු විය යුතුය.
පාසල් සමය අවසානයත් සමඟ එම දරුවන්ගේ අනාගතය තීරණය කරන උසස්පෙළ කඩඉම මෙවර පැවැත්වීමට සිදුව ඇත්තේ කොවිඩ් 19 අවදානම යටතේය. සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියාත්මක විභාගයට ඉදිරිපත් වන සිසු සිසුවියෝ නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කරමින් විභාගයට මුහුණ දෙති. පසුගිය 12 වැනිදා ආරම්භ කෙරුණු විභාගයේ දින තුනක් අවසන් වූ 14 වැනිදා වනවිට වාර්තා වී තිබෙන විභාග වංචා ගණන තුනකි. මේ නිසා වෙහෙස මහන්සි වී විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් කිහිපදෙනකු විසින් සිදුකරන වංචා නිසා අවාසි වීමට ද ඉඩකඩ තිබේ.
බස්නාහිර පළාතේ ගම්පහ කොළඹ මෙන්ම නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය මුතූර් ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථානවලින් මෙකී වංචා සිදුකිරීම වාර්තා වී තිබිණි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ උසස්පෙළ ජීව විද්‍යාව විෂයට පෙනී සිටි අපේක්ෂකයෙක් නවීන ස්මාර්ට් අත් ඔරලෝසුවක් විභාග මධ්‍යස්ථානයට රැගෙනවිත් එය භාවිත කරමින් සිටියදී විභාග පරීක්ෂකවරයකුට හසුවිය. කොළඹ වෙස්ලි විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයකු නවීන ජංගම දුරකථනයක් භාවිත කරමින් විභාග ප්‍රශ්න පත්‍රය බාහිර පුද්ගලයකු වෙත යවා තිබෙන බව හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ උසස් පෙළ විභාග වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ගම්පහ පොලීසියට පැමිණිලි යොමුකර ඇති බවය. කුමන ආකාරයේ විභාග වංචාවක් වුවද සුළු කොට නොසලකන බව පැවසූ විභාග කොමසාරිස් ජනරාල්වරයා කියන්නේ එවැනි ක්‍රියාවල යෙදෙන පිරිස් වෙත නීති මගින් කටයුතු කර උපරිම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවය.
මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ වංචා හෝ නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා සෑම මධ්‍යස්ථානයක් සඳහාම අතිරේක සහකාර ශාලාධිපතිවරුන් පත්කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගයට අදාළව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය හා තාක්ෂණවේදය හා විද්‍යාව විෂයන් සඳහා පමණක් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසර ලබා දී ඇත. මේ හැර ස්මාට් අත් ඔරලෝසු, ජංගම දුරකථන, අවසර නොලත් විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා කිරීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ශාලාධිපතිවරු දැනුම්වත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
විභාග අයදුම්කරු හැර වෙනත් අයකු විභාගයට පෙනී සිටීම, සටහන් ළඟ තබාගෙන පිළිතුරු සැපයීම, වෙනත් අයගෙන් උදවු ලබාගැනීම හා උදවු කිරීම විභාග ශාලාවේ හා අවට නොමනා හැසිරීම්ද විභාග පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල්ය. මෙකී ඕනෑම වංචාවක් හෝ අකටයුත්තක් කරන විභාග අයදුම්කරුවන්ට නීති මගින් පියවර ගන්නා අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන සියලු විභාග සඳහා පෙනී සිටීම වසර 5කට අත්හිටුවීමද සිදුකෙරේ. එමෙන්ම විභාගය පැවැත්වෙන අවස්ථාවේදී බාහිර පාර්ශ්ව වෙතින් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් වේනම් ඒ බව විභාග දෙපාර්තමේන්තුවට හෝ පොලීසිය වෙත දැනුම් දීමට හැකිය.
මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ විභාග මධ්‍යස්ථාන තුනක වංචා සිදුව ඇති බවත් විභාගය පැවැත්වෙන මොහොතේ ප්‍රශ්න පත්‍රයක් බාහිර පාර්ශ්වයක් වෙත පිටවී ඇති බවය. විභාග අක්‍රමිකතා මෙන්ම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම පිළිබඳ ගැටලු ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ඇමතුම් අංක 1911ට හෝ විභාග කොමසාරිස් කාර්යාලයේ 0112-785211 හෝ 0112785212 අංක වෙතිත් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208, 0112785537, 0113188350 හා 0113140314 අංක වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
සමන්ත ප්‍රදීප් විල්තෙර
පසු විපරමක් නැතී වීම ප්‍රශ්නයක්
ජෝසප් ස්ටාර්ලින් - ලේකම් ලංකා ගුරු සංගමය
පාසල් අධ්‍යාපනයේ තීරණාත්මක කඩඉම තමයි උසස්පෙළ විභාගය. එය 100% විශ්වාසනීය හා සාධාරණ බවින් පැවැත්විය යුතුයි. මේවායේදී වංචා වෙනවනම් බරපතළ ගැටලුවක්. පසුගිය කාලයේදීත් එවැනි සිදුවීම් වාර්තා වුණා. මෙවර සිදුවීම් 3ක් වාර්තා වෙලා තිබෙනවා. දැන් ස්මාර්ට් ක්‍රමයට නවීන තාක්ෂණය භාවිතයෙන් ප්‍රශ්න පත්‍ර පිට කිරීම කරනවා. මීට පෙරත් මේ සිදුවීම් වුණා. නීතිය ක්‍රියාත්මක කළා කියනවා. නමුත් පසු විපරමක් දැනුම්වත් කිරීමක් නෑ. විභාගයත් සමඟ වංචාවත් යට ගියා වගේ තමයි. ඒක ප්‍රශ්නයක්. මෙවර උසස්පෙළ පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසේ. පස්සේ සැප්තැම්බර් මාසෙටත් නැවත ඔක්තෝබර් මාසෙටත් කල් ගියා. ළමයි විභාගයට සූදානම් වෙනවා. විභාග කල් යනවා. තරගකාරීත්වය වැඩියි. වංචා සිදුවීමත් වාර්තා වෙනවා. දුරකථන මගින් ප්‍රශ්න පත්‍රය පිට කළාම ඒක ලබාගන්නා කෙනා මොකද කරන්නේ? ඒකත් හොයන්න අවශ්‍යයි. ඔහු උත්තර දුන්නේ කාටද? සමූහයකට පිළිතුරු දුන්නද? මේක සැලසුම්සහගත ක්‍රියාවක්ද? මේවට අවශ්‍ය පියවර ක්ෂණිකව ගත යුතුයි. කොවිඩ් වසංගතය පිළිබඳ පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නෑ. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුව සහ රජයේ වගකීම තමයි මෙහි ඇත්ත තත්ත්වය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීම.