
රජයේ සේවයට බඳවා ගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ට රජයේ සහ පෞද්ගලික අංශවල සේවය කරන සියලුම කාන්තාවන්ට මෙතෙක් හිමිවූ දරු උපත් වෙනුවෙන් වූ දින 84ක ප්‍රසූත නිවාඩුව අහිමිවීමේ අවදානමක් පිළිබඳව සංවාදයක් පසුගියදා ඇතිවිය. කාන්තා සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් මීට විරෝධතා ගොනු කරනු දක්නට ලැබුණි. එනිසාම උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අපි අදහස් කළෙමු.
රැකියා ස්ථානයේ දී කාන්තාවන්ටම සුවිශේෂී වූ මාතෘ සුරක්ෂිතතාව පිළිබඳව සංවාදය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ. 1919 දී ලෝක කම්කරු සංවිධානයේ සමාරම්භක ජාත්‍යන්තර සමුළුවේදී ද මෙම කරුණ සංවාදයට බඳුන් වී තිබේ. ඒ අනුව යමින් ජාත්‍යන්තර මට්ටමින් 1952 දී සහ 2000 දී මාතෘ සුරක්ෂිතතාව සම්බන්ධ ප්‍රඥප්තීන් දෙකක් ද සම්මත වී තිබේ. මෙරට තුළ කාන්තාවන් සඳහා ප්‍රසූත නිවාඩු ක්‍රමවේදයක් සකස් වූයේ මේ ඇසුරේය. විවිධ අවස්ථාවල රජයන් විසින් මාතෘත්වය සඳහා වූ වරප්‍රසාද වැඩි කිරීමට කටයුතු කළේය. මෙවන් කප්පාදුවක් මෙරට තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බව පෙනී යයි.
පොදුවේ ගත් කල ලෝක කම්කරු සංවිධානය ද මාතෘත්වය සුවිශේෂී වූ මෙම කරුණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ. "මාතෘ සුරක්ෂිතතාව (Maternity protection) මූලික මානව අයිතිවාසිකමක් වන අතර, පවුල සහ රැකියාව සම්බන්ධ පූර්ණ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු අංගයකි. වැඩපොළේ දී කාන්තාව නොසලකා හැරීමට ලක් නොවීම සහ මවගේත්, දරුවාගේත් සෞඛ්‍යාරක්ෂාව ප්‍රවර්ධනය උදෙසා එය තීරණාත්මක සාධකයකි." යනුවෙන් ඔවුන්ගේ පැහැදිලි කිරීමේ සඳහන් වෙයි.
ඒ අනුව ප්‍රසූත නිවාඩු ලබාදීමේ අරමුණ වී ඇත්තේ කාන්තාවක සිය රැකියාවේ නිරතවීමේ දී ඇයගේ සහ ඇය කුසේ දරා සිටින දරුවාගේ සෞඛ්‍යයට අනතුරක් නොවීමය. එසේම කාන්තාවගේ ප්‍රජනන ක්‍රියාවලිය හේතුවෙන් ඇයගේ රැකියාවේ සුරක්ෂිතභාවයට තර්ජනයක් නොවීම සහතික කිරීම ද මෙහි අරමුණකි. තවද දරු ප්‍රසූතිය නිසා කාන්තාව වැඩපොළේ දී අනිසි ලෙස පහත් කොට සැලකීමකට ලක් නොවීම සහතික කිරීම ද එහි අරමුණක් බව පැහැදිලිය.
මෙම තත්ත්වයන් කෙසේ වුවද වර්තමාන සිදුවීම දෙස අවධානය යොමු කරන විට තත්ත්වය ශෝචනීයය. ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති විධිවිධාන ප්‍රකාරව රජයේ සහ පෞද්ගලික අංශවල සේවය කරන සියලුම කාන්තාවන් සඳහා දරු උපත් වෙනුවෙන් දින 84ක ප්‍රසූත නිවාඩුවක් හිමි වේ. එහෙත් මෑතක දී රජයේ සේවයට බඳවා ගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ට හිමිවන්නේ දින 42ක ප්‍රසූත නිවාඩුවක් පමණක් බව මේ වන විට අනාවරණය වී තිබේ. දරැවාගේ මුල් කාලේ හැම අවශ්‍යතාවයක්ම සැපිරෙන්නේ මවගේ අතින් බැවින් මෙය අමානුෂික ක්‍රියාවක් ලෙස බොහෝ පාර්ශ්ව පෙන්වා දෙති.
මෑතකදී පියකු වූ නාමල්ට හිරුණිකාගෙන් ඉල්ලීමක්
පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආණ්ඩුවේ මෙම තීරණය ආපසු හැරවීම පිණිස ක්‍රියා කරන මෙන් සහ සටන් කරන මෙන් මෑතක දී පියකු බවට පත් වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව කියා සිටියාය.
“මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි. දරුවෙක් ප්‍රසූත කළාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ පැය දෙකකට, තුනකට සැරයක් මව් කිරි දෙන්න කියලනේ, එතකොට පැය විසි හතරම. එතකොට අම්මා කෙනකුට විශේෂයෙන් රාත්‍රියේ නින්දක් නෑ."
එවැනි තත්ත්වයක් තුළ දරුවකු ප්‍රසූත කළ මවකට මාස එකහමාරක් වැනි කෙටි කාලයක් ප්‍රසූත නිවාඩු ලබාදීම මගින් දරුවාට මව් සෙනෙහස සහ ආරක්ෂාව අහිමිවීම "අමානුෂික තත්ත්වයක්" බව ඇය පෙන්වා දෙන්නීය.
කෙසේ වෙතත් දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවේ සේවාවන්හි නියුක්ත කාන්තාවන්ට දරු ප්‍රසූතියකදී මූල්‍යමය ආධාර වශයෙන් ප්‍රතිලාභ සහ නිවාඩු පහසුකම් ආදිය ලබාදීම සම්බන්ධයෙන් වැදගත් වන්නේ 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනතයි. ඊට අනුව පළමු හා දෙවැනි සජීවී දරු උපත් දෙක සඳහා වැඩ කරන දින 84 බැගින් ප්‍රසූතිකාධාර නිවාඩු හිමි වෙයි. මෙසේ දින ගණනය කිරීමේදී සතියේ සියලු නිවාඩු දින වැඩ නොකරන දින ලෙස සැලකිල්ලට ගත යුතුය. එහෙත් තුන්වැනි සහ ඉන් පසුව සිදුවන දරු උපත් සඳහා ප්‍රසූත නිවාඩු මෙහිදී ප්‍රසූතිකාධාර නිවාඩු වශයෙන් හිමිවන්නේ සේවය කරන දින 42ක් පමණි. වර්තමාන තත්ත්වය අනුව මෑතක දී පත්වීම් ලද අභ්‍යාසලාභීන් හට ද හිමි වී ඇත්තේ 42ක මෙම නිවාඩුවය.
සාමාන්‍යයෙන් ප්‍රසූත නිවාඩු සම්බන්ධව නිරන්තර ගැටලු මතු වන්නේ පෞද්ගලික අංශය තුළය. මාතෘ නිවාඩු සඳහා සම්පූර්ණ පිරිවැය අදාළ සමාගම විසින් දැරිය යුතු බවට වන දැනට බලපවත්නා නීතිය හේතුවෙන් කාන්තාවන් බඳවා ගැනීමට පවා පෞද්ගලික අංශ මැළිකමක් දක්වයි. වෙරිටේ රිසර්ච් නම් පර්යේෂණ ආයතනය පෙන්වා දෙන ආකාරයට පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් මාතෘ නිවාඩු බද්දක් අයකර ගනිමින්, පෞද්ගලික අංශයේ සේවයේ නිරත කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු සඳහා ආණ්ඩුවෙන් දීමනාවක් ලබා දිය යුතු බවට වෙරිටේ රිසර්ච් ආයතනය යෝජනා කරයි.
මෑතක දී රජයේ සේවයට බඳවා ගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ට හිමිවන්නේ දින 42ක ප්‍රසූත නිවාඩුවක් පමණක්ය යන කරුණ සම්බන්ධව අපි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් විමසා සිටියෙමු. තමා ඒ පිළිබඳව දැනුම්වත් නැති බවත්, පැමිණිල්ලක් ලැබුණහොත් සොයා බැලිය හැකි බවත් හෙතෙම පැවසීය.
එහෙත් උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීමේ තීරණය පිළිබඳව ආණ්ඩුව යළි සලකා බැලිය යුතු බවට කාන්තාවෝ ඉල්ලා සිටිති. ඒ සම්බන්ධව පළවී තිබූ අදහස් කිහිපයක් අපි උපුටා දක්වමු.
අයේෂා වීරසිංහ, බදුල්ලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරුවරියකි.
“රජයක් වුණාම මීට වඩා ගොඩක් දරුවො ගැන සංවේදීව හිතන්න ඕනෙ. දැනටත් ළමා අපචාර ඇති තරම් රටේ වෙනවා සහ ඒ ගැන අවධානය ඉතාම මදි. ඒවත් තියෙද්දි මෙහෙම අඩු කරන එක තවත් ආකාරයක පීඩාවට පත් කිරීමක්,” යනුවෙන් ඇය කියා සිටියාය.
ආණ්ඩුවේ තීරණය තමන්ට අදාළ නොවුණ ද, ප්‍රසූත නිවාඩුව දින 42ක් කිරීම මගින් කාර්යක්ෂමතාවයේ ඉහළ යාමක් බලාපොරොත්තු විය නොහැකි බව ඇයගේ අදහසය.
“ළමයාට මව්කිරි දීමට මේ තීරණය සෑහෙන අවුලක්."
මෆාසා රෂිඩ් කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකි. ඇය පවසන්නේ, එය තමන්ට පෞද්ගලිකව බලනොපාන්නක් වුවද ආණ්ඩුව ගෙන තිබෙන්නේ "අසාධාරණ තීරණයක්" බවය.
“අනිත් එක child psychology එක පැත්තෙන් ගත්තම දරුවගේ මුල් කාලෙ හැම අවශ්‍යතාවයක්ම සැපිරෙන්නෙ අම්මගෙන්. එහෙම එකේ ඒක මෙහෙම අසාධාරණ විදිහට කපල දැම්මම හැදෙන දරුවො ගැන සාධාරණ බයක් තියෙනවා.” ඇය කියා සිටියාය.
පෞද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණියක මෙසේ පවසා තිබුණි.
“කුඩා ළමයකුට යාන්තම් මාස දෙකට ළං වෙද්දී රස්සාවට යන්න වෙන එක හරිම ශෝචනීය තත්ත්වයක්. දැන් මට සම්පූර්ණ වැටුප් සහිත, අර්ධ වැටුප් සහිත, වැටුප් රහිත කියලා නිවාඩු තුනම තියෙනවා. ඒ නිසා කාන්තාවන් කොටසකට මේක අහිමි කරන එක කවුරු කළත් මාතෘත්වයට කරන නිගාවක්."
මෙම ගැටලුව පිළිබඳව අභ්‍යාසලාභී පත්වීම් ලද පිරිසගෙන් අදහස් ලබාගැනීමට උත්සාහ කළ නමුදු ඔවුහු තම රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ ඇති සැක සංකා නිසා අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ. ඒ අනුව ඔවුන්ගේ මෙම ගැටලුව පිළිබඳව සංවේදී වීමට සිදුව ඇත්තේ විවිධ සමාජ ක්‍රියාකාරීන් හරහාය. කෙසේ නමුත් මෙය මානව සංවේදී කරුණක් නිසාවෙන් බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව අවසානයේ අවධාරණය කළ යුතුය.
චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර - බී.බී.සී. සිංහල සේවය