2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

පොලීසියට විකුණන්න ගිය කෝටි 650ක නිල්මැණික් බුදුරුව

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

නිධානයකින් ගලක් ගත්තා... ඒක නිල් මැණිකක්... හොඳම නිලකින් හදපු පොඩි බුදු පිළිමයක්. දැන් බඩු මගේ ළඟ තියෙනවා... දේවාලෙ තියාගෙනම තව දවස් පහක් වස් අරින්න තියෙනවා. දැනට දවස් දෙකක් කරලා ඉවරයි.. හරියට දවස් හතම නොකෙරුණොත් මගේ ජීවිතේ ඉවරයි.. නිධානෙ ගත්තට මොකද මගේ ඔළුවට හරි බරක් මචං.. කිසිම කෙනකුට කීවේ නෑ.. උඹ විතරයි දන්නේ..

නීතිවිරෝධී ආකාරයට ඉපැරණි නිධානයක් හාරා ලබාගත් මැණික් ගලකින් කරන ලද බුදු පිළිමයක් ළඟ තබාගෙන සිටි තරුණ කපුවකු සිදුවීමෙන් කම්පනයට හා ආතතියට පත්ව සිය මිතුරකුට ඒ බව මෙසේ දන්වා තිබිණ. ඊට ඉහතදීත් නිධන් හෑරීම සඳහා සහාය වී ඇති මිත්‍රයා නිධන් කෙරුවාව හා එහි වටිනාකම පිළිබඳ හොඳින් දන්නා අයෙකි. 

29 හැවිරිදි වියේ පසුවූ විවාහක කපු මහතා සිය මිත්‍රයාට තමන් ලබාගත් නිධානය පිළිබඳ එම තොරතුරු කියා තිබුණේ සැප්තැම්බර් 24 වැනිදාය. එදින පස්වරුවේ අවශ්‍යතාවයක් සඳහා නිවෙසින් පිටත්ව ගිය ඔහු මධ්‍යම රාත්‍රියේ වැල්ලවාය - තණමල්විල මාර්ගයේ තණමල්විල දෙස සිට යතුරුපැදියක පැමිණෙමින් සිටියේය. එදින අලුයම 12.30ට පමණ එම මාර්ගයේ විරුද්ධ පසින් ධාවනය වූ කැබ් රථයක ඔහු ගැටුණේය. යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය. මරණකරුගේ පදිංචිය ඔකුරුආව, ඌව පැලවත්ත ප්‍රදේශය බවට වැල්ලවාය පොලීසිය අනාවරණය කරගෙන තිබිණ.

අනතුරින් මියගිය අයගේ හිතවතා නිමල් නැමැත්තෙකි. ඔහු එම ප්‍රදේශයේ සැලුන් ආයතනයක් පවත්වාගෙන යන කරණවෑමියෙකි. පෙර දිනයේ දුරකථන ඇමැතුමක් ලබා දී නිධානයක් ලබාගත් බවත් දින හතක් හරියට පුද සත්කාර කොට වස් ඇරීමට නොහැකි වුවහොත් ජීවිතයත් ඉවරයි යනුවෙන් පැවසූ මිත්‍රයාගේ හදිසි මරණය නිමල්ගේ සිත කැළඹුවේය. දුක් වෙනවද? සතුටු වෙනවද? කොහෙදෝ යන වාසනාවක් තමන්ගේ ඔළුවට පාත්වෙන බවක්ද? නිමල්ට දැනෙන්නට විය. මිතුරාගේ මරණයත් සමඟ අමුතු හැඟීමකින් පිබිදුණු නිමල් වහාම මරණගෙදරට ගොස් මිත්‍රයාගේ මළගමට ඥාතීන් හා එක්ව උදව් වී තිබිණ. මිතුරාගේ දේහය නිවෙසේ සාලයේ තිබුණද, ඔහු පවත්වාගෙන ගිය දේවාලය වසා තිබුණද, නිමල් අවස්ථා කිහිපයක්ම ඒ වෙත ආ ගියේය. කාටත් රහසේ දේවාලයට යන එන නිමල්, මිත්‍රයා කී පරිදි වස් ඇරීම සඳහා සූදානම්ව තබා තිබූ මැණික් බුදු පිළිමය සොරාගෙන මරණගෙයින් පලා ගියේය.

යළිත් මළගෙදරට නොගිය නිමල් කල්පනා කළේ මැණික විකුණා සල්ලි කර ගැනීමටය. මැණිකේ ප්‍රමාණය හා බර සම්බන්ධයෙන් සිතූ කරණවෑමියා මැණික් බුදු පිළිමයේ වටිනාකම කෝටි 800ක් බවට අනුමාන කළේය. දිනක් දෙකක් ඇතුළත මැණික අලෙවි කිරීම සඳහා කෙනකු සෙවීමට නිමල් උත්සාහ කළේය. ඒ අතරතුර අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පාසලක විහාරාධිපති හිමිනමක මැණික විකුණා ගැනීමේ ප්‍රධාන තැරුව්කරු වශයෙන් යොදාගැනීමට නිමල් සමත් විය. මේ කාලය තුළ කෝටි ගණනක් වටිනා මැණික පිළිබඳ කනින් කොනින් තොරතුරු පිටවී තිබිණ. මේ අතර මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් කොස්තාපල් (71782) නිමල් මහතාට හිතවත් ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකි.

ඔහු කියා තිබුණේ කෝටි 800ක නිල් මැණිකක් නිධානයකින් ලබාගෙන රහසේ විකිණීමට උත්සාහ ගන්නා බවකි. එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා, කොස්තාපල් නිමල් මහතා හා ඔත්තුකරු එක්ව සාකච්ඡා කොට වැඩි විස්තර දැනගැනීමෙන් අනතුරුව සොයාගත් මැණික් හිමිකරුවාගේ දුරකථන අංකයකට අමතා මැණික මිලට ගැනීමට විමසූහ. එහිදී වටිනාකම කෝටි 800ක් කී මැණික ගැනුම්කරුවන් ඉල්ලා ඇත්තේ කෝටි 500කටය. මිල අඩු නොකළ නිසා කෝටි 750කට ලන්සු තබා ඊටත් අකැමැති වූ පසුව කෝටි 700කට අලෙවි කිරීමට සූදානම් විය. අවසානයේ මැණිකේ බර උස දිග පළල අසා අවසන් නිගමනය වී තිබුණේ කෝටි 650කි. ඒ දින ගණනාවක කතාබහකින් අනතුරුවය.
සාලියපුර ප්‍රදේශයේ පන්සලක විහාරාධිපති වෙත ගනුදෙනුවෙන් කෝටි දෙකක් ලබාදෙන බව කරණවෑමියා ප්‍රකාශ කර තිබුණු බැවින් ගනුදෙනුවේ සහාය සඳහා හාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයකු වන හිතවත් අයකු සම්බන්ධ කොටගෙන තිබේ. ඔහු පේරාදෙණියේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. තවත් සහාය අවශ්‍ය වූ බැවින් දියතලාව යුද හමුදා කඳවුරේ 11 වැනි කාලතුවක්කු බල සේනාවේ රාජකාරියේ නිරත අයකු හා 5 වැනි විජයබා රෙජිමේන්තුවේ රාජකාරි කරන සෙබළකු ද සහාය සඳහා පැමිණ ඇතැයි පැවසේ. මෙහි එක් අයකු විශ්‍රාමික බවද වාර්තා වේ.

මැණික හිමිකරුවන් හා ගැනුම්කරුවන් අතර කතාව අවසන් වී තිබුණේ දින 5කට පෙරය. ඒ අවසාන ලංසුව රුපියල් කෝටි 650ක් ලෙස කියමිනි. ඒ අනුව පොලිස් කොස්තාපල් නිමල් මැණික් ව්‍යාපාරිකයාගේ සහායක ලෙසත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මැණික් ව්‍යාපාරිකයා ලෙසත් ඔත්තුකරු රියැදුරු වශයෙනුත් පෙනී සිටිමින් ගනුදෙනුව සඳහා දිනයක් නියම කොට තිබිණ. ඒ මැණික වටින්නේ නම් පමණක් මුදල් ලබාදෙන පොරොන්දුව මතය. කෝටිපති ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස නවීන ප්‍රාඩෝ රථයකින් පැල්වත්තට ගොස් තිබිණ. පිරිසට දන්වා තිබුණේ බුත්තල - කතරගම මාර්ගයට පැමිණෙන ලෙසය. මාර්ග සලකුණක් කී තැනක නැවතී චීස්, ඇපල්, මිදි හා වටිනා ශක්තිජනක පාන වර්ග භාවිත කරමින් ලෝබ නැතුව මුදල් විසිකරමින් සිට තිබුණේ ධනවත් ව්‍යාපාරිකයකු සේ පෙන්වීමටය.

මැණික් හිමිකරුවෝ ඒ වන විට ජංගම දුරකථන ක්‍රියා විරහිත කොට තබාගෙන සිට ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට එන ලෙස දන්වා ඔවුන් යම්කිසි ලෙසකින් නිරීක්ෂණයකට ලක් කිරීමට සූදානම්ව සිටියහ. මෙසේ හෝරා කිහිපයක් ගත වෙද්දී ගැනුම්කරුවන් යළිත් පිටත්ව යන බව පවසා තිබිණ. එහිදී හිමිකරුවන් කියා ඇත්තේ කුඹුක්කන හන්දිය පසුකරන විට හමුවන වෙල්ලච්චි කඩේ ප්‍රදේශයේ මාර්ගය පසෙක ඇති විසල් මාර ගස යටට එන ලෙසය. එතැන කැබ් රථයක් නවතා ඇති බවත් එහි ඉදිරිපස අසුනේ හාමුදුරුනමක් සිටින බවත්ය. එම හිමිනම අත මැණික ඇති බවත් රථයේ වීදුරුව අඩක් පහත් කොට මැණික පෙන්වන බවත් දන්වා තිබිණ.

කෝටිපති ව්‍යාපාරිකයන් ලෙස වෙස්ගත් පොලිස් නිලධාරීන් ප්‍රාඩෝ රථයෙන් එම ස්ථානයට යන විට කැබ් රථය නවතා තිබුණද, පුද්ගලයන් තිදෙනකු රථයෙන් බිමට බසිනු දක්නට ලැබිණි. ගනුදෙනුව කරන මුවාවෙන් මැණික හා පිරිස අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී බිම සිටි සැකකරුවන් තිදෙනා පලා ගොස් තිබිණ. මේ අය අතර වැල්ලවාය ප්‍රදේශයේ පූදර හා මහත්තයා යන දෙපළ ද වන බවට තොරතුරු ලැබී ඇත.

සැකකරුවන් පැමිණි කැබ් රථය, මැණික හා චීවරධාරියා සමඟ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මැණික ග්‍රෑම් 37යි මිලිග්‍රෑම් 200ක් බර බවත් සෙන්ටිමීටර් 5ක් උස හා පළල සෙන්ටිමීටර් 2.1ක්ද, ඝණකම සෙන්ටිමීටර් 1.5ක් බවත් අනාවරණය කරගෙන තිබේ. සැකකරුවන් 16 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ පසුවන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙතින් ලබාගන්නා වාර්තා අනුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (ඌව හා සබරගමුව) රොෂාන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී, මොණරාගල කොට්ඨාස භාර වැඩබලන සහකාර පොලිස් අධිකාරී ගාල්ලගේ සහ මොණරාගල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීහු වැටලීමට දායක වූහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර