ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල විප්ලවවාදී චරිතයක් පසුගිය ඔක්තෝබර් 04 දින තම දිවි සැරිය නිම කළේය. සමාජවාදියකු ලෙස තම යුතුකම් හා වගකීම් අකුරටම ඉටු කළ ඔහු මැතිව් ප්‍රනාන්දු සහෝදරයාය. 88-89 භීෂණයෙන් පසුව දේශපාලනික වශයෙන් හුදෙකලාව සිටි ජනතා විමුක්ති පෙරමුණ යළි හිස ඔසවන සමයේ තාවකාලික මූලික මෙහෙයුම් මණ්ඩලයේ සාමාජිකයකු වූ මැතිව් ප්‍රනාන්දු 1994 මහ මැතිවරණයේදී ජවිපෙ යළි ප්‍රසිද්ධ දේශපාලනයට ගෙන ඒමට දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළ නායකයෙකි.
1986 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට ඇතුළත් වූ මැතිව් ප්‍රනාන්දු පසුව පශු වෛද්‍ය පීඨයට එක් විය. ඔහු ජනතා විමුක්ති පෙරමුණට එක් වූයේ විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදීය. ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමිනි.
1987 පැවැති ඉන්දු ලංකා ගිවිසුමට හා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතා ව්‍යාපාරවලදී ඔහු ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් විය. 88-89 භීෂණ සමයේ කටුනේරියේ පිහිටි ඔහුගේ නිවෙස ගිනිබත් කෙරුණු අතර ඔහුගේ සොහොයුරකුගේ ජීවිතය ද අහිමි විය.
1994 මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ‘මල් බඳුන’ ලාංජනය යටතේ ඉදිරිපත් වූයේ ආරිය බුලේගොඩගේ නායකත්වයෙන් යුතු ‘ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ’ සමඟ එක්ව ‘ජාතිය ගලවාගැනීමේ පෙරමුණ’ ලෙසිනි. එහිදී ජාතිය ගලවාගැනීමේ පෙරමුණේ ලේකම් ලෙස සියලු නිල කටයුතු ඉටු කරන ලද්දේ මැතිව් ප්‍රනාන්දුය. එම මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසනයක් දිනාගැනීමට ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ තරග කළ ජනතා විමුක්ති පෙරමුණට හැකි විය. එම මන්ත්‍රිධුරය අහිමි කිරීමට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුවද ඒවා පරාජය කිරීම සඳහා ප්‍රධාන ලේකම්වරයා ලෙස විශාල මැදිහත්වීමක් මැතිව් සහෝදරයාගෙන් සිදු විය. එම මැතිවරණයේදී පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වූයේද ඔහුය. 94 මහ මැතිවරණයෙන් පසුව හම්බන්තොට පැවති ජවිපෙ දෙවැනි සම්මේලනයේදී ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත්විය
මැතිව් ප්‍රනාන්දු පිළිබඳ සිය මතකය අවදි කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මා මැතිව් සහෝදරයා හඳුනාගත්තේ විශ්වවිද්‍යාල සිසුවකුව සිටි සමයේ. 1995 – 97 වැනි කාලයේ ඔහු ශිෂ්‍ය සංවිධානවල සංවිධායකවරයා ලෙස කටයුතු කළා. මම, බිමල් රත්නායක සහෝදරයා වැනි පිරිස් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙසයි. අපව දේශපාලනයට එක්කරගත්තේ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති වේදිකාවෙන් මහපොළොවට නමැති නාට්‍ය උළෙල ආරම්භ කොට. එම නම නිර්මාණය කළෙත් මැතිව් ප්‍රනාන්දු සහෝදරයා.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සටන් ව්‍යාපාරය පිළිබඳව ඔහුට බොහෝ අත්දැකීම් තිබුණා. ඔහු කලාවට ලැදි පුද්ගලයෙක්. 94න් පසුව විමුක්ති ගී කණ්ඩායම නිර්මාණය කළ අවස්ථාවේ ඊට බොහෝ සෙයින් දායක වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ඉල් සමරු වැඩසටහන්වලදීත් ඔහුගේ දායකත්වය හිමි වුණා. වරක් විහාර මහා දේවී උද්‍යානයේ පැවැති ඉල් සමරු උළෙලක ඔහු දන්කෝගේ හදවත නමින් නාට්‍යයක් ඉදිරිපත් කළා. එහි දන්කෝගේ චරිතය රඟපෑවේ මැතිව් සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කමිටුවේ නායකයකු ලෙසද කටයුතු කළා. සංස්කෘතිය හා සමාජවාදය නමින් ඔහු අධ්‍යාපන වැඩසටහනක් කළා. යල් පැන ගිය දේවල් වෙනස් කරන්න මැදිහත් විය හැක්කේ කෙසේද කියා එමඟින් ඔහු අපට කියා දුන්නා. විශේෂයෙන් විශ්වවිද්‍යාල නවකවදයට ඔහු දැඩි විරුද්ධත්වයක් පළ කළා. නවකවදය නිසා ඇතිවන අහිතකර තත්ත්වය පිළිබඳව ඔහු දැඩිව කතා කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නවීන ලෝකය හා ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න ඔහු කියා දුන්නා. අධ්‍යාපනය පිළිබඳ විශාල උනන්දුවක් දැක්වූ ඔහු අපගේ ජීවිත සකස් කරන්න මහඟු දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙක්. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරලා දේශපාලනය කළ යුතුයැයි සිතූ විට ඉගෙනීම එක්ක දේශපාලනය කරන්න කියා දුන්නේ ඔහුයි. යැයි සඳහන් කළේය.
මැතිව් ප්‍රනාන්දු මැතිවරණ වේදිකාවේ ජනප්‍රිය කථිකයෙක් විය. සිනමාව, කලාව, වේදිකා නාට්‍ය වැනි විෂය පිළිබඳ පුළුල් දැක්මත් සහිත පුද්ගලයෙක් විය. ඔහු සැමවිටම රුසියානු සාහිත්‍යයේ එන විප්ලවවාදියෙක් බඳු විය. පිරිසුදුව පිළිවෙළට ඇන්දේය. පැළැන්දේය. ගමනේදී නිතරම කුඩයක් රැගෙන යාම ඔහුගේ සිරිතක් විය. සමාජ ජීවිතය උපරිමයෙන් වින්දේය. ඔහුගේ බිරිය වූයේ පාලිකාය. ඇයද පේරාදෙණිය විශ්විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ ආචාර්යවරියකි.
ජීවිතයේ කලින් කලට මතුවූ විවිධ ගැටලු හේතුවෙන් පක්ෂයේ ඇතැම් වගකීම්වලින් ඔහු ඉවත් වුවද මිය යන තෙක්ම දේශපාලනයන් ඈත් වූයේ නැත. ඇතැම් පිරිස් වෙනත් කල්ලි කණ්ඩායම් නිර්මාණය කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙද්දී ඔහු සැම විටම පක්ෂය සමඟ සිටියේය. රටේ කොතැනක සිටියද ජනතා විමුක්ති පෙරමුණේ මැයි දිනයට සහභාගී වීමට ඔහු පැමිණියේය. මැයි දින පෙළපාලියේ ඉදිරියෙන් යන ප්‍රචාරක රථයේ නිවේදකයා වූයේ මැතිව් ප්‍රනාන්දු සහෝදරයාය. තම වගකීම් අකුරටම ඉටු කළ ඔහු අනික් අයටද ඒ අයුරින් කටයුතු කරන අයුරු කියා දුන්නේය. පසුකාලීනව පූර්ණ කාලීන වගකීම්වලින් ඉවත් වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 85 සිට 93 දක්වා සිටි කණ්ඩායම් එකතු කොට හන්තාන සංසදය නමින් කණ්ඩායමක් නිර්මාණය කොට විවිධ කලා, සාහිත්‍ය හා සංවාද වැනි කටයුතු මගින් ජනතාව දැනුම්වත් කළේය. සැම විටම පක්ෂයේ මතයට ගරු කළ ඔහු පක්ෂයෙන් කිසිවක් අපේක්ෂා නොකළේය. මිය යන තෙක්ම තම වගකීම් හා යුතුකම් වෙනුවෙන් කැපවූ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා .52 හැවිරිදි වියේදී දිවියෙන් සමුගත්තේ හෘදයාබාධයකිනි.
ඔබට අපේ ආචාරය
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා