පසුගිය සෙනසුරාදා ඊසාන දිග පැරීසියේ නොයිසි -ලෙ-සෙක් හි සිදු වූ ඝාතන කිහිපයක් හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි කම්පාවට පත්ව සිටිති. පසුගිය සෙනසුරාදා එම ප්‍රදේශයේ නිවෙසකට එල්ල කෙරුණු ප්‍රහාරයකින් දරුවන් සිව් දෙනකු ඇතුළු පස් දෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය. එකී වාර්තාවලට අනුව මෙම වින්දිතයන් එකම පවුලේ සාමාජිකයන් යැයි සැලකෙන අතර ඔවුන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන් වියහැකි යැයි පොලිසිය අනුමාන කරයි. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ එක් කාන්තාවක හා දරුවන් සිව්දෙනෙකි. මියගිය හා තුවාල ලද දරුවන් අවුරුදු 2ත් 14 ත් අතර වයස් සීමාවල පසුවන්නන්ය.
ප්‍රංශයේ ‘ලෙ ඩෆින්‘ පුවත්පත වාර්තා කරන අයුරින් මෙම ඝාතනවලට හේතුව පවුල් ආරවුලක් දුරදිග යෑම යැයි ප්‍රංශ පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඊසාන දිග පැරිසියේ නොයිසි -ලෙ- සෙක් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ සිදුව ඇති මෙම ප්‍රහාරය හා ඝාතන සිදු කර ඇත්තේ පවුලේ ළඟම ඥාතියකු යැයි ප්‍රංශයේ බීඑෆ්එම් රූපවාහිනී සේවය වාර්තා කර තිබිණි.
ප්‍රහාරයෙන් තදබල ලෙස තුවාල ලබා දැඩි ලෙස රුධිරය වහනය වෙමින් තිබියදී එම ස්ථානයෙන් පලා ආ තරුණයකු අසල පිහිටි අවන්හලක් කරා දිවගොස් “අපේ මාමා පිස්සු වැටිලා අපේ පවුලේ ඔක්කෝටම පිහියකින් හා මිටියකින් පහර දුන්නා” යැයි කෑගසා තිබේ. අවන්හල් හිමියා විසින් වහා පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු උදෑසන 11ට පමණ එහි පැමිණි පොලිස් නිලධාරීන් නිවෙසේ දොර කඩා එහි ඇතුළු වී ඇති අතර දොරටුව අසල වැටී තිබූ මළ සිරුරු දෙකක් ඔවුනට හමු වී තිබේ. එහි තවත් සිහිසුන් හා බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් අට දෙනකු සිටි අතර ඔවුන් වහා රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගත්තේය. රෝහල් ගත කරන අවස්ථාවේ ඔවුන්ගෙන් තිදෙනකු මරණයට පත්ව තිබේ. සෙසු තුවාලකරුවන් පස් දෙනා අතුරින් වැඩිහිටියන් තිදෙනෙකුගේ තත්වය බරපතළ වන අතර දරු දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද පැවසේ.
ඝාතකයාද සිහිසුන් තත්ත්වයෙන් එම ස්ථානයේ වැටී සිටි අතර මේ වන විට ඔහු ක්ලීචිහි බියුජොන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු වැටී සිටි ස්ථානයේ තිබී ඝාතනයට යොදාගත් බව පැවසෙන පිහිය සහ මිටියද පොලිසියට හමු විය. මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට හේතු වූ සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ප්‍රංශ පොලිසිය මගින් ආරම්භ කර තිබේ.
“ඔවුන් ඉතා යහපත් ආදර්ශවත් පවුලක්. ඔවුන් කිසි දිනෙක ප්රචණ්ඩ ක්‍රියාවකට සම්බන්ධ වූවන් නොවෙයි. මෙම සිදුවීම මට දැඩි වේදනාවක් ඇති කළා යැයි” කලකට ඉහත එම දරුවන්ගේ ගුරුවරයකු වූ ප්‍රාදේශීය නගරාධිපති ඔලිවියර් සරබයිරූස් මාධ්‍යයට කියා තිබිණි.
“එම දර්ශනය ඉතා බිහිසුණුයි. එය දුටු අප සියලු දෙනා දැඩි කම්පාවට පත් වුණා යැයි පොලිස් නිලධාරියකු බීඑෆ්එම් වාර්තාකරුවකුට පවසා තිබේ.
මෙම සිදුවීම මාධ්‍ය විසින් හඳුන්වා තිබුණේ “පැරිස් බ්ලඩ්බාත්” ලෙසිනි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා