කුඩා කාලයේ පටන් අපට ඇසුණු ගී කිහිපයක සත්තු වත්ත වර්ණනාකොට ඇත්තේ වන උයනක් සිතට නැගෙන ආකාරයෙනි. මේ එක් උදාහරණයකි.
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන්ගේ
රඟමඬලකි මේ උයනේ
කපටිකම චිත්‍රපයේ ආ කුරුළු රෑන් රෑන් රෑන් ගීයද එවැන්නකි. එම ගීය පසුබිමෙන් වාදනය වෙද්දී චිත්‍රපටයේ පෙන්වන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ රූප පෙළකි. මේ ගී ඇසෙන කළ සතුන් කූඩු කර හෝ කුටිවල සිර කරගෙන ඉන්නා සෙයක් ශ්‍රාවකයාගේ සිතට නොනැගෙන්නට ගීත රචකයා වගබලාගෙන ඇත. කූඩු කළ සතුන් ගැන කී විට ගීයේ සෞන්දර්ය එතැනම නැති වී යයි. ගීත යනු යථාර්ථයෙන් ඔබ්බට ගිය නිර්මාණ වුවද සතුන් කූඩු කළ විට සෞන්දර්යය ගිලිහී යාමේ යථාර්ථය මේ වනවිට සත්වවේදීන් තේරුම්ගෙන තිබේ. සත්වෝද්‍යාන පිළිබඳ සම්ප්‍රදායික මත බොහෝ සෙයින් මේ වනවිට වෙනස් වෙමින් පවතින්නේ ඒ නිසාය. සිරගත කළ සතුන් ප්‍රදර්ශනය කිරීම වෙනුවට වනයේ නිදැල්ලේ සැරිසරන සතුන් ප්‍රදර්ශනය කිරීම දක්වා සත්වෝද්‍යාන සංකල්ප වෙනස් වී ඇත්තේ ඒ නිසාය. දෙහිවල සත්තු වත්ත වෙනුවට පින්නවල සත්තු වත්ත ආදේශ වන්නේ ඒ නිසාය.
සත්තු වත්ත ගැන කුඩා කාලයේ අපට කියාදුන් තවත් ගීයක් ඇත.
සත්ව උද්‍යානයේ සත්තු සිටින්නේ
අන්න බලව් නාකි රිලව්
පිණුම් ගසන්නේ..
එහි ඉන්නේ නාකි රිලව් කියන තරමට දෙහිවල සත්වෝද්‍යානය පැරණිය. 1920 ගණන්වල ඇරඹූ දෙහිවල සත්තු වත්තේ ආරම්භකයා ජෝන් හාග්න්බෙක් (John Hagenbeck)ය. යුරෝපා රටවල සත්වෝද්‍යානවලට සතුන් යැවීම සඳහා සතුන් ඒකරාශී කරන ස්ථානයක් ලෙස මෙය මුල් කාලයේ පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ. ජෝන් හාග්න්බෙක්ගේ සම්පූර්ණ නම ජෝන් හෙයින්රිච් ඕගස්ට් හාග්න්බෙක්ය. ජර්මානුවකු වූ ඔහු සත්ව වෙළෙන්දෙකි. ශ්‍රී ලංකාවේ වතු හිමියකු වූ ඔහු පොත් කිහිපයක් ද ලීවේය. 1866 පර්මනියේ හැම්බර්ග්හි උපත ලැබූ ඔහු මියගියේ 1940 කොළඹදීය. මෙරට කාන්තාවක සමඟ ඔහු විවාපත් වූයේය.
Alone in the jungle, The lord of the beast, The tigers යන චිත්‍රපට ඔහු නිෂ්පාදනය කළ ඒවාය.
දෙහිවල සත්තු වත්ත අයත් වූයේ ඔහුගේ zoological ගාර්ඩ්න්ස් කොම්පැණියටයි. 1936 එම කොම්පැණිය ඈවර කිරීමෙන් අනතුරුව එය ආණ්ඩුව අත්පත් කරගත්තේය. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වෙත්ම සත්තු වත්ත වසා දමන්නට සිදු වූයේ එය හිමිකරු වූ හාග්න්බෙක් ජර්මානුවෙකු නිසාය. (ජර්මානුවා බ්‍රිතාන්‍යයේ සතුරෙක් විය) දෙහිවල සත්වෝද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා 1939දී නිලවශයෙන් විවෘත කරන විට හාග්න්බෙක්ට අයත් සතුන්ද එහි සිටි බව වාර්තා වේ.
1969 සත්තු වත්තේ සිටි සතුන්ගෙන් අඩක්ම දේශීය සත්ව වර්ගයන්ය. ඒ වනවි ගොඩබිම වාසය කරන සියලුම පාහේ ක්ෂීරපායී වර්ග එහි උන් බව කියැවේ. 1973 වෙද්දී ක්ෂීරපායි විශේෂ 158ක්ච, කුරුළු විශේෂ 259ක්ද, උරග විශේෂ 56ක්ද, මත්‍ස්‍ය විශේෂ 7ක් එහි උන්හ. කෙසේ වුවද 1980න් පසු සත්වෝද්‍යානයේ වැඩි ප්‍රගතියක් සිදු නොවූ බව වාර්තා වේ. සත්වෝද්‍යානය පිළිබඳ සංකල්ප වෙනස්වීම් ඊට හේතු වූ බවද පෙනී යයි.
ජෝන් හාග්න්බෙක් පළමු ලෝක යුද්ධයට පෙර සතුන් පමණක් නොව (Ethonographic exposition) මානව වර්ග ප්‍රදර්ශනය කිරීමට ද දායක වෙමින් දෙහිවල සත්තු වත්ත මගින් එම කාර්ය සඳහා පිටරට යවා ඇත. සත්වෝද්‍යානයේ කොටස් කිහිපයක් අවට කලාපවලින් ඒකරාශී කරගත් ජීවී මානව වර්ග 5ක් රඳවාගැනීම සඳහා භාවිත කළ බව වාර්තා වේ.
සත්ව ගනයේ ලා සළකා මිනිසුන් ප්‍රදර්ශනය කිරීම පසුපස ඇත්තේ අතිශය කුරිරු වර්ගවාදී මතවාදයකි. සියලුම අනෙක් මානව වර්ගයන්ට වඩා කොකේසියානුවන් වූ යුරෝපා ජාතීන් බුද්ධියෙන් හා සංස්කෘතියෙන් උසස්ය යන මතවාදය අනෙක් මානව වර්ග ප්‍රදර්ශනය කිරීම පසුපස තිබේ. හිට්ලර් ප්‍රමුඛ නාසිවාදීන් ජර්මානුවන්ට දේශනා කළේ එම දර්ශනයයි. සෙසු ලෝකයා ආක්‍රමණය කරන්නට නාසිවාදීන් පෙළඹුණේ එහි මතවාද නිසාය. එම නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ජර්මානු ජාතික හාග්න්බෙක් සතුරකු සේ සළකා සත්තු වත්ත අත්පත් කර ගැනීම නිසා අප උරණ විය යුතු නොවේ.
ජෝන් හැඟෙන්බෙක් මිනිස් හා සත්ව වෙළෙඳාම කළේ ජර්මනිය සිටි තම අර්ධ සහෝදරයා වූ කාල් හාග්න්බෙක් හවුල් කරගෙනය. දැනටත් ජර්මනියේ හැම්බර්ග් සත්වෝද්‍යානයේ ඉන්නා සමහර සතුන් අයිති කාල් හාග්න්බෙක්ටය. ජෝන් හාග්න්බෙක්ගේ මානව ප්‍රදර්ශන මානව ශාස්ත්‍රය පදනම් කරගත් මානව ක්‍රියාකාරකම් ප්‍රදර්ශන බවට පසුකාලයේදී පත්වූ සෙයක් පෙනිණි. මෙරටින් ගෙනගිය නැට්ටුවන්ට හා සර්කස්කරුවන්ට වැටුප් ගෙවා පසුකාලයේ ඔවුන්ගේ රැඟුම් ප්‍රදර්ශනය කරන ලද්දේ මානව ශාස්ත්‍රයට හේත්තු වෙමිනි. මෙරටින් ගිය වැද්දන් නොවන ඇතැම් අයට ප්‍රදර්ශණයේදී වැද්දන් සේ රඟපාන්නටද සිදු වී ඇත. ඇතැමුන්ට ගෝත්‍රික ම්ලේච්ඡයන් සේ රඟපාන්නට සිදු වී ඇත.
සතුන් සිර කරගෙන සිටීමට එරෙහිව හඬනැගීමට පෙර මිනිසුන් සිරකරගෙන ප්‍රදර්ශනය කිරීමට එරෙහිව උද්ඝෝෂණය කරන්නට මිනිසාට සිදුවිය. ඔටා බෙන්ගාගේ කතාව මෙහිදී නිතැතින්ම මතකයට නැගෙන්නකි. කොංගෝවේ මිබුට් ගෝත්‍රිකයකු වූ ඔටා බෙංගාව 1904 මිසුරියේ සාන්ත ලුවීහි මිනිස් සත්වයකු ලෙස ප්‍රදර්ශනය කරනු ලැබූ අතර 1906 අප්‍රිකානු වහල් වෙළෙන්ඳෙක් විසින් මිලට ගෙන බ්‍රොන්ක්ස් (Bronx 200) සත්තුවත්තේ 1906 සිට ප්‍රදර්ශනය කරනු ලැබුවේය. සත්තු වත්තේ වානරයන් අතර ප්‍රදර්ශනය වීමෙන් අනතුරුව සත්වෝද්‍යාන භූමියේ ඇවිද යාමේ අවසරය පසුව ඔහුට ලැබිණි. කෙසේ වුවද මානව වාදීන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් ඔහුව නිදහස් කළද මානසික අවපීඩනය නිසා වයස අවුරුදු 32දී ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත්තේය.
විනෝදයට සතුන් සිරගත කිරීම අවුරුදු දහස් ගණනකට පෙර පටන්ගත්තකි. මුලින්ම බලවතුන් තමන්ගේ බලය විදිහා පාන්නට දරුණු වනසතුන් සිරගත සිටි බව පෙනී යයි. ඇතැම් විට අගමික හේතු නිසාද එසේ කර තිබිණි. සතුන් හට කරුණාව මෛත්‍රිය දැක්විය යුතුය යන මතයද ක්‍රිස්තු පූර්ව නවවැනි සියසටත් වඩා අතීතයක පටන් පැවත ආ මතයකි. ඒ යුගයේ ජෛන ආගම් වාදයත්, බෞද්ධ දර්ශනයේත් ඇතැම්විට හින්දු දර්ශනයේත් අඩංගු වූයේය.
විසිවැනි සියවසේදී නාගරීකරණය වැඩිවීමත් සමඟම දුර්ලභ සත්ව හා ශාක විශේෂයන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම සමස්ත ලෝකයාටම දැනෙන්නට ගත්තේය. පරිසරය සංරක්ෂණය කරගැනීම සඳහා ලෝක ප්‍රජාව එක්වී ඊට අදාළ නීතිරීති සකසාගත යුතුය යන මතය කරළියට ආයේය. සතුන්ගේ අයිතිවාසිකම් ගැන මිනිසාට අලුතෙන් පුළුල් ලෙස කතිකා කරන්නට සිදුවූයේය. ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික එකමුතුවේ සාකච්ඡා ගොඩ නැගෙන්නේ ඒ අනුවයි. ඒ සදහා අවශ්‍ය ප්‍රඥප්තියක් ස්ථාපිත කර ගැනීමේ අභිප්‍රායෙන් එම සාමාජිකයන් එක් වී 1963 සිට කෙටුම්පත් සකස් කරගැනීම කරන ලදී.
වොෂිංටන් සම්මුතිය හෙවත් CITIES සම්මුතිය (වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ අන්තර්ජාලිකව වෙළෙඳාම් කිරීම් අදාළ සම්මුතිය) 1973සිට සියලු ජාතීන් උදෙසා අත්සන් කිරීමට විවෘත වූයේ ඒ අනුවයි. එය 1975 ජූලි 01වැනිදා සිට ක්‍රියාත්මක විය.
ලෝපුරා සත්වෝද්‍යාන දහස් ගණනක සිරකරගෙන ඉන්නා සතුන් මිලියන ගණනකගේ දුක අවධාරණයට ලක්වූයේ ඉන්පසුවයි. සම්මුතිය අත්සන් තැබූ රටවල් සතුන්ට අදාළ වූ නීති හා සත්ව අයිතිවාසියක් පිළිබඳ කරුණු වොෂිංටන් සම්මුතියකට අනුකූලව - (CITES සම්මුතියට අනුකූලව) හැඩගස්වා ගනු ලැබුවේය.
සතුන්ට නියමිත පරිසරය සත්වෝද්‍යානයක් තුළ පවත්වාගත නොහැකි බවත් ඔවුන් පරිණාමය වනුයේ ඔවුන්ට නියමිත පරිසරය තුළ බවත් ඉන්පසු අවධානයට ලක්විය.
ලෝකයේ සත්ව උද්‍යානවල පොදුවේ පහත සඳහන් අසාධාරණකම් සතුන්ට සිදුවන බව අනාවරණය වන්නට ගත්තේය. ඒවායේ ඔවුනට ප්‍රමාණවත් ආහාර හෝ ජලය නොලැබිණි. ඒවා තුළ ඔවුන්ගේ ඒකාකාරී හැසිරීම් රටාවක් වර්ධනය වී තිබිණි. ඔවුන්ගේ ලෙඩ රෝග හා වෛද්‍ය අවශ්‍යතා සත්වෝද්‍යාන තුළදී වැඩිවිය. ජීවිත කාලයටම බලපාන ගැටලුවලින් දුක්විඳි සත්වෝද්‍යානවල දිවි ගෙවූ සත්තු අකාලයේ මියගියෝය.
අපේ දෙහිවල සත්තු වත්තද පොදුවේ ලෝකයේ සත්වෝද්‍යානවල පවතින සත්ව අසාධාරණකම්වලට වෙනස් නොවන ආකාරයෙන් පවත්වා ගැනුනකි. ජාතික විගණන කාර්යාලයෙන් පළකොට ඇති සත්වෝද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල සත්ව සුබසාධනය උදෙසා උපයෝජනය කරන්නේද යන්න ඇගයීම යන විගණන වාර්තාවේ විධායක සාරාංශය කියවීමෙන් ඒ බව අවබෝධ කර ගත හැකිවේ. (පී. ඊ. ආර්./ ඉසෙඩ් එෆ්/ 2017/ 18) පහත ඡේදය එයින් උපුටා ගත්තකි.
“සතුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයන්හිදී සතුන් සඳහා නිරෝධායන පහසුකම් නොතිබීම 2016 සහ 2017 වර්ෂ දෙක තුළදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්වෝද්‍යානවල සතුන් 328ක් රෝගාබාධ සහ වෙනත් හේතු මත මරණයට පත් වී තිබීම.”
සතුන්ට ප්‍රමාණවත් ආහාර හා ජලය නොලැබුණු බවත් දෙහිවල සත්තු වත්තේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමත් ගැන තොරතුරු එම වාර්තාවේ තව බොහෝ ඇත. ප්‍රමිතියකට නැතිව දිරාපත් වන කූඩුවල ඡායාරූප හා මදුරුවන් බෝවන ස්ථානවල ඡායාරූපද එහි ඇත.
මේ සියලු කරුණු අපට කියන්නේ සතුන් ඔවුන්ගේ ස්වභාවික පරිසරයට මුදාහැර ස්වභාවිකව වැඩෙන්නටත් පරිනාමණය වන්නටත් ඔවුන්ට ඉඩ හළ යුතු බවයි. සතුන් සියලුම නිරීක්ෂණය කිරීම හා උන්ව අධ්‍ය්‍යනය කළ හැක්කේ උන් ස්වභාවිකව ගැවසෙන නිදහස් පරිසරය තුළය. කූඩු කළ සතෙකු දැකීමෙන් ඇතිවන්නේ කුතුහලය සංසිඳවා ගැනීමකි.
ඉන් ලැබෙන්නේ හුදු විනෝදයක් පමණකි. නිසි අධ්‍යාපනය ලබාගත හැක්කේ සතාට හුරු පරිසරය තුළ ඌ නිදහසේ සිටින ආකාරය නිරීක්ෂණය කිරීමෙනි.
මිනිස් වර්ග කූඩුවල බහා ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමට 20 වැනි සියවස මුලදී මිනිසා පියවර ගත්තේය. දැන් සතුන් කූඩුවල බහා ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමට මිනිස්සු පියවර ගනිමින් සිටිති.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
- සමන් පුෂ්ප ලියනගේ