රුපියල් ලක්ෂ දහයක්, නැත්නම් මිලියනයක් කියන්නේ සුළුපටු නොවන ධනස්කන්ධයකි. ජාවාරම්කරුවන් මෙන් නොව රුපියලක් හොයන්න වෙහෙසෙන මිනිස්සු එම සල්ලිවල වටිනාකම හොඳින්ම දනිති. මේ මුදලටත් වැඩියෙන් හොර මුදල් නෝට්ටු රටේ සංසරණය වෙනවා නම් එය නීතිවිරෝධී හා බරපතළ ගැටලුවකි. මේ කියන මුදල් ජාවාරම රුපියල් 5000 සහ රුපියල් 1000 නෝට්ටුවලින් සංසරණය වන බව හඳුනාගෙන තිබේ. එබැවින් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසය.
මැදි වයසේ මනුස්සයෙක් ඇවිත් රුපියල් 5000 හරි 1000 නෝට්ටු දීලා බඩු ගන්නවා. බඩුවල වටිනාකමට වඩා වෙළෙන්ඳෝ එයාට ඉතුරු සල්ලි දෙනවා. මෙයා මාස ගාණක ඉඳන්ම යනවා එනවා. ටිකක් හොයලා බැලුවම වයසක මිනිස්සු ඉන්න කඩවලටයි රූට බිස්නස් කරන තැන්වලටයි ඇවිත් මෙයා ගනුදෙනු කරනවා. ජාවාරම්කාරයෙක් කියලා හිතෙනවා. ටිකක් හොයලා බැලුව නම් හොඳයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයකු මෙසේ තොරතුරු දන්වමින් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත දුරකතන ඇමැතුමක් ලබා දී තිබුණේ දින කිහිපයකට පෙරය. ඔත්තුකරු වැඩිදුරටත් පවසා තිබුණේ සැකකරු යතුරුපැදියකින් පැමිණෙන බවත් ඔහු කළුවරේ ව්‍යාපාර කරන ස්ථානවලට ගොස් බහුලව ගනුදෙනු කරන බවත්ය.
තොරතුර අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය පරිශ්‍රයේ අවධානයෙන් රැඳී සිට ඇත. එහිදී සැකසහිත පුද්ගලයා යන බව කියන යතුරුපැදියේ අංකය හඳුනා ගැනීමට සමත්ව තිබිණි. එම අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී මාළු කඩයක් හිමි අයකු විසින් කලකට ඉහතදී විකුණන ලද යතුරුපැදියක තොරතුරු හෙළි විය. එය මිලට ගෙන තිබුණේ ගරාජයක හිමිකරුවෙකි. ඔහු එහි අඩුපාඩු සකසා වෙනත් පාර්ශ්වයකට විකුණා තිබුණි.
එම යතුරුපැදියේ පැමිණි පුද්ගලයා බොහෝ අවස්ථාවල මුදල් මාරු කරගෙන ගොස් සිටි අතර භාණ්ඩ මිලට ගත් අවස්ථා අඩුය. ඉතාමත් කලබලයෙන් පැමිණෙන පුද්ගලයා භාණ්ඩයක් මිලට ගෙන හෝ මුදල් මාරුකළ වහාම හදිසියේ පිටව ගොස් තිබිණ. සැකකරු නිශ්චිතව හඳුනා ගැනීමත් සමඟ ඔහු හා තවත් අයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. මොවුන් දෙදෙනා පිය පුතු දෙපළක් වන කඩවත වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින මේ අයගෙන් පියා බව කියන පුද්ගලයා පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 5000 නෝට්ටු 7ක් සහ රුපියල් 1000 නෝට්ටු 6ක් ඇතුළුව රුපියල් 41,000ක් වටිනා නෝට්ටු සන්තකයේ තබාගෙන සිට ඇත. මෙම ව්‍යාජ නෝට්ටු අතර 5000 නෝට්ටුව R-46860391 අංකය යටතේ S-196007309 අංකය යටතේ රුපියල් 1000 නෝට්ටු මුද්‍රණය කොට ඇති බව හඳුනාගෙන තිබේ.
සැකකරුවන් ව්‍යාජ මුදල් නෝට්ටු රුගෙන කුඩා වෙළෙඳසල්වලට සහ පාරිභෝගිකයන් බහුලව ගැවසෙන වෙළෙඳසල්වලට මෙන්ම තරමක් වයස්ගත පිරිස් විසින් පවත්වාගෙන යන වෙළෙඳසල් වෙත ගොස් රුපියල් 500ක හෝ අඩු ප්‍රමාණයක භාණ්ඩ මිලට ගෙන ව්‍යාජ මුදල් මාරු කරන බව හෙළි කර ඇත. වසරකට ආසන්න කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් තිබෙන ජාවාරම හරහා රුපියල් ලක්ෂ 10-11 අතර ප්‍රමාණයක ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයට යොමුකර ඇතැයි හෙළිකර තිබේ. මේ අනුව පොලීසිය පවසන්නේ බස්නාහිර පළාත ඇතුළුව බොහෝ ප්‍රදේශවල මෙකී ව්‍යාජ නෝට්ටු භාවිතයේ පවතින බවය.
මෙම සැකකාර කොන්දොස්තරවරයා දැඩි ලෙස හෙරොයින් ඇබ්බැහියට යොමුවූවකු වන අතර ඒ සඳහා මුදල් සොයාගැනීමේ අදහසින් ව්‍යාජ නෝට්ටු ජාවාරම සිදුකර ඇත. ඒ සඳහා හිතවතකු මාර්ගයෙන් නෝට්ටු මුද්‍රණය සිදුකරගෙන මොහු විසින් ඒවා සංසරණයට යොදාගෙන තිබිණි. මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට දායක වූ පුද්ගලයා වරෙක බූරුපොළක රැඳී සිටියදී මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ වන විටත් සැකකරු ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරමින් සිට ඇතත් පොලීසියට ඒ බව අනාවරණය වී නැත. ඒ අනුව ඔහු සන්තකයේ තිබූ නෝට්ටු සැකකරු විසින් මාරුකර ඇතැයි පැවසේ. මෙකී ජාවාරමට සහාය දැක්වූ තවත් පුද්ගලයන් දෙදෙනකු හඳුනා ගැනීමට ද පොලීසිය සමත්ව සිටී.
ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට සැකසහිත නෝට්ටුවක් ඔබ අතට පත්වූයේ නම් සැබෑ නෝට්ටුවක් හා සැසඳීම ආරක්ෂණ සලකුණු විමසීම කළ යුතුය. එම නෝට්ටු රුගෙන ආ අයගේ බාහිර පෙනුම, වාහන හෝ අවසන් වරට දුටු ස්ථානයක් පිළිබඳ මතක තබාගැනීම එම නෝට්ටුවේ වටිනාකම හා අක්‍රමික අංක මතක තබාගැනීම ඉතා වැදගත්ය. මේ සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පෑලියගොඩ මූලස්ථාන පොලීසියේ 011-2911222 හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011-2326670 දුරකථන අංකයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දිය හැකිය.
ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි. කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කැලණිය කොට්ඨාස (1) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත, උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි, පොලිස් සැරයන් (19364) බණ්ඩාර සමඟ (68475) කොස්තාපල් කුමාර යන අය වැටලීමට දායක වූහ.
සමන්ත විල්තෙර