සාර්ථක 9 වැනි වසරටත් පොහොසත්ම ඉන්දියානුවන් අතර මුල් තැනට පත්ව ඇත්තේ මුකේෂ් අම්බානිය. ඒ රටේ පොහොසතුන්ව පෙළගස්වා ඇති IIFL Wealth Hurun India Rich List 2020 අනුව මුල්තැන ගන්නා අම්බානිගේ පොහොසත්කම නැති කරන්නට ලෝකෙටම ලෙඩ දැමූ කොවිඩ් වසංගතයටවත් හැකිව නැත. මාර්තු මාසයේ සිට ඇරඹුණු කොවිඩ් පළහිලව්ව කාගේ කාගේත් බිස්නස් අන්තිම අඩියට පත් කළත් අම්බානිගේ ව්‍යාපාර තාමත් හොඳ හැටි ලාබ ලබන්නේය. කොටින්ම මේ අසීරු කාලයේදීත් ඔහු පැයකට ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 90ක් සෑම පැයකදීම උපයා තිබේ.
අම්බානිගේ මේ නොසිඳෙන සල්ලි මල්ලේ තරම කෙතෙක්ද යත් ඔහුට පසු සිටින මුල් පෙළේ ඉන්දියානු සල්ලිකාරයන් 5 දෙනාම සතු මුදලේ එකතුවට ඔහුගේ තනි ආදායම සමානය. වාර්තාගත අන්දමට එය ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 6,58,400 කි. මුලින් තෙල් විකුණන්න ආවත් දැන් ඉන්දියාවේ විශාලතම සන්නිවේදන ජාලයේ හිමිකරුවා ද මුකේෂ් අම්බානිය.
ඉන්දියාවේ සුප්‍රකට රිලයන්ස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායකයා වූ ඔහු ඉකුත් 2019 වන විට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වූ අතර ලොව ධනවත්ම පුද්ගලයන් අතරින් 13 වැනි ස්ථානය හිමිකරගෙන සිටියේය. 2010 දී මුකේෂ් විසින් ලොව විශාලතම බිම් මට්ටමේ ඛනිජ තෙල් පිරිපහදුව ඉන්දියාවේ ජම්නගර්හි නිර්මාණය කරන ලද අතර එමගින් වසරකට ටොන් මිලියන 33ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. මුකේෂ් ඉන්දියානු ප්‍රිමියර් ලීග් ෆ්රුන්චයිස් මුම්බායි ඉන්දියන්ස් හිමිකරු වන අතර ඉන්දියානු සුපර් ලීග්හි ආරම්භකයා ද වේ.
මේ තරම් සල්ලි තිබුණත් අම්බානි සරල සාමකාමී වැඩි විච්චූරණ නැති සාමාන්‍ය නිවුණු ඉන්දියානුවෙකි. හොඳ තාත්තෙකි. සහෝදරකම් සලකන්නෙකි. ඒ වගේම මාධ්‍ය ඉදිරියට එන්නට වැඩි කැමැත්තක් නොදක්වන ලජ්ජාකාරයෙකි.
1957 අප්‍රේල් 19 උපන් මුකේෂ් අම්බානිගේ පියා ඉන්දියාවෙන් යේමනයට ලිපිකරු රාජකාරි සඳහා ගිය දිරුබායි අම්බානිය. ඔහු යේමනයේ සිටි කාලයේම රෙදිපිළි වෙළෙඳාම ඇරඹුවේය. ඔහු රිලයන්ස් නමින් ඒ රෙදිපිළි වෙළෙඳාම ඉන්දියාවට ද ව්‍යාප්ත කළේය. ඒ අතර බලශක්තිය පැත්තටත් අම්බානිගේ පියා පය තබා තිබුණි. මුකේෂ් අම්බානි මේ සමූහයට එක්වූයේ 1979 දී පමණය. එවකට රසායන ඉංජිනේරුවරයකු වූ මුකේෂ් අම්බානි, පියාගේ පොලියෙස්ටර් රෙදි නිපදවීමේ කර්මාන්තශාලා ඉදිකිරීම් මෙහෙය වූයේය. සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස 2002 දී දීරුබායි අම්බානි පරලොව ගිය අතර පියාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් යම් සීතල යුද තත්ත්වයක් අනිල් සහ මුකේෂ් පුතුන් දෙදෙනා අතර ඇති විය. පසුව මුකේෂ් අම්බානිගේ ව්‍යාපාරවල පෙට්‍රෝලියම් නිෂ්පාදන කොටස භාරගෙන එය අද පවතින මට්ටමට වේගයෙන් වැඩිදියුණු කළේය.
දැන් ඉන්දියාවේ ජාතික ආදායමින් 5෴කට වග කියන්නේ අම්බානිය. ඔහුගේ ව්‍යාපාරික ජාලය පිළිබඳව ඉන්දියනු රජය පවා සිටින්නේ මහත් සැලකිල්ලෙනි. අම්බානිගේ ව්‍යාපාර තවත් ව්‍යාපාරිකයන් රුසකට ශක්තියක් වෙනවා වගේම ඉන්දියාව පුරා ලක්ෂ ගණනක් සේවකයන් අම්බානිගේ ව්‍යාපාර ආශ්‍රිතව ඍජු සහ වක්‍ර රුකියාවල නිරතව සිටිති. ඔහු සතු ගුජරාටි ජාම්නගර්හි ඇති ඛනිජ තෙල් පිරිපහදුව ලොව ඇති සුවිශාලතම තෙල් පිරිපහදුවකි. ඒ පිරිපහදුව හරහා පමණක් දිනකට බැරල් 660,000ක් පෙට්‍රෝලියම් ද්‍රව්‍ය නිපදවිය හැකිය. අම්බානිගේ මූලිකම ව්‍යාපාරය පෙට්‍රෝලියම් නිෂ්පාදන වුවද මෑතකාලීනව ඔහු විදුලිය, බලශක්තිය, විදුලි සංදේශ, මහාමාර්ග, ආහාරපාන වැනි විවිධ ක්ෂේත්‍ර රුසකට සිය ආයෝජන විහිදුවා හමාරය.
මුකේෂ් අම්බානිට නිවුන් දරුවන් දෙදෙනකුත් තව බාල පිරිමි දරුවකුත් සිටිති. ඔහුගේ බිරිය නීටා අම්බානිය. ඇය නර්තන ශිල්පිනියකි. ඇය ඔහුගේ මවගේ තේරීමකි.
මේ වන විටත් ඔහු තමන්ට අවශ්‍ය පමණ තබාගෙන ඉතිරිය පවුලේ අයට බෙදා දී හමාරය. ඒ අනුව මුකේෂ්ගේ සමාගමේ කොටස් බිරිය, නිවුන් දරුවන් සහ පුතා අතර ආසන්නව සම සමව බෙදා දී තිබේ.
මේ කියන අන්දමට අම්බානි බිලියනපතියෙක් වුණාට ලෝබයෙක් නොවේ. මුට්ටිකාසිකාරයෙක් ද නොවේ. අවශ්‍ය විට අත දිගහැර වියදම් දරන්නෙකි. ඔහුගේ බිරියට ඔහු එක් උපන්දිනයකට තෑගි වශයෙන් දුන්නේ ගුවන් යානයකි. මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායම දුවන්නේ අම්බානිගේ සල්ලිවලිනි. එය ඔහුගේ ඇඹේණියගේ දේපළකි. ඒ සඳහා අම්බානි ඩොලර් මිලියන 400ක් පමණ වියදම් කරයි. ඉන්දියාවේ දේශපාලනය සමඟත් කිට්ටු සම්බන්ධතාවයක් තිබෙන අම්බානි, තමුන්ගේ පවුලේ උත්සව ආදියටත් ඉන්දීය සිනමා සහ ක්‍රිකට් තරු ගෙන්වා ගනී. ඔහුගේ දියණිය ඊෂා අම්බානිගේ මංගල්ලය ලොව පුරා මාධ්‍ය අවධානය දිනාගත් රජ මඟුලකි. එයට අමෙරිකාවෙන් පවා අම්බානි ගායක ගායිකාවන් ගෙන්වා ගත්තේය.
එදා දුවට තෑගි දුන් අම්බානිගේ අමුතු නිවස ඉන්දියාවේ මාධ්‍යවල යස පුවත් මැවූ මහා මන්දිරයකි. එය තට්ටු 21කි. හෙලිකොප්ටර අංගණ 3ක් සහිතය. එහි සම්පූර්ණ වපසරිය වර්ග අඩි ලක්ෂ හතරකි. මාධ්‍ය කියන්නේ අම්බානිගේ මේ මැඳුර හදන්න ගිය සල්ලිවලින් 2001 දී බිඳවැටුණු ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන 7ක් ඉදිකරන්නට හැකි බවයි.
අම්බානි හොඳ සිනමා රසිකයෙකි. ඔහුගේ තත්පරයක් වුණත් බොහෝ වටිනා බව සැබෑ වුවත් ඔහු සතියකට දින දෙක තුනක් චිත්‍රපට බලන්නට වෙන්කර තිබේ. ඒ අනුව ඔහු ජීවිතය විඳින්නෙකි. මේ වගේ ඇතැම් දේවලට යම් වියදම්කාරයෙක් වුණත් අම්බානි ඇඳුම් පැළඳුම් ආදියේදී හොඳම අලුත්ම බ්‍රෑන්ඩ් පසුපස හඹා යන අයෙක් නොවේ. විශේෂ ව්‍යාපාරික උත්සව ආදියට යුරෝපීය ඇඳුමින් සැරසෙන අම්බානි, සාමාන්‍ය අවස්ථාවලදී සාමාන්‍ය සරල කලිසම සහ කමිසයෙන් සැරසී පෙනී ඉන්නට කැමැති අයෙකි.
අම්බානි කියන්නේ තදබල ලෙසම අමද්‍යප පුද්ගලයෙකි. ඒ වගේම අම්බානි එළවළු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයෙකි. මස් මාංශ, විස්කි ධනවතුන් අතර මේසවල නිතරම කැරකෙද්දි ආසියාවේ මුල් පෙළේ ධනවතෙක් වන ඔහු ඒවායෙන් මුළුමනින්ම වෙන්ව සිටී.
අම්බානිගේ බිරිය නීටා කියන විදිහට මේ තරම් සල්ලි ඇති මුකේෂ් අම්බානි කොපමණ සුඛෝපභෝගී කෑම බීම ආදිය තිබුණත් තාමත් පරණ විදිහට මුම්බායිහි පුංචි කඩවලින් චපාති, බත්, පරිප්පු ව්‍යාංජන ආදිය කන්න කැමතියිලු. ඒ වගේම මුකේෂ් අම්බානි හොඳ ව්‍යාපාරිකයෙක් වුවත් ඔහු මහජන ඇමතීම්, මහජනයා අතර ගැවසීම් ආදියේදී යම් ලජ්ජාශීලී බවක් දක්වන බව ප්‍රසිද්ධය. සැබෑවටම ඔහු තමන් පාඩුවේ නිස්කාංසුවේ ජීවත් වන්නට කැමැති නියම ඉන්දියානු මහත්මයෙකි.
සුගත් පී. කුලතුංග ආරච්චි