2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

කොරෝනා පිටට මී උණ මරේ

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

අප රටට මේ ගෙවී යන්නේ එතරම් සුබදායක කාල පරාසයක් නොවේ. මාර්තු මාසයේදී කොවිඩ්-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ ජන ජීවිතය අඩාල වුණි. මාස කිහිපයක් කොවිඩ් වෛරසයෙන් බැට කෑ ජනතාවට මඳ අස්වැසිල්ලක් ලැබුණා පමණි. නැවතත් ඩෙංගු වෛරසය හිස එසවීය. මාස දෙකක් කොවිඩ් වෛරසය වැළඳුණු රෝගියකු ලංකාව තුළින් වාර්තා නොවූ කාලයක මී උණ රෝගය මිනිස් ජීවිතවලට පීඩාවක් එල්ල කරමින් තිබේ. නැවතත් කොවිඩ් වෛරසය ද ඉතා ප්‍රබල අන්දමින් හිස ඔසවයි.

කොවිඩ්, ඩෙංගු මෙන්ම මී උණ රෝගය පිළිබඳව ද සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. මී උණ හෙවත් ලෙප්ටොස්පිරෝසිස් (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් මෙන්ම ගවයන්ගෙන්, මී ගවයන්ගෙන් බෝවන උණ රෝගයකි.

මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරටින් මී උණ රෝගීන් 6,118ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මේ අතරින් වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. මීට අමතරව කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත්‍රික්කවලින්ද මී උණ රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම වසරේදී වාර්තා වී ඇත. මේ වසරට සාපේක්ෂව ගිය වසරේදී මී උණ රෝගීන් 6,021ක් වාර්තා වී ඇත.

මී උණ රෝගයට බොහෝවිට ගොදුරු වන්නේ වී ගොවිතැනේ නිරතවූවෝ වෙති. මෙම මී උණ රෝගය &වෙල් උණ, මඩ උණ, පතල් උණ* ලෙස ද සමහරු හඳුන්වති. වර්ෂාව පවතින කාලවලදී රට පුරාම මෙම උණ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මී උණ හෙවත් ලෙප්ටොස්පිරෝසිස් රෝගය හටගනු ලබන්නේ ලොප්ටොස්පිරා ඉන්ට්‍රෝගන්ස් නම් බැක්ටීරියාවෙනි. මෙම බැක්ටීරියාව සත්වයාගේ මුත්‍රා හරහා පොළොවට එකතු වේ. කෙනකු මෙම ආසාදිත වූ පොළොව හා ස්පර්ශ වීමෙන් මෙම බැක්ටීරියාව මිනිසාගේ ශරීරයට ඇතුළු වන බවට සොයාගෙන ඇත. විශේෂයෙන් ශරීරයේ ඇතිවන තුවාල මෙන්ම සියුම් සීරීම් මගින් මෙය ශරීරගත වේ. මේ නිසාම විශේෂයෙන් මෙම රෝගය වැඩි වශයෙන් ඇතිවන්නේ ගොවිතැන් කටයුතුවල නිරතවූවන්ට වුවද පොළොව ආශ්‍රිතව කටයුතු කරන අයට ද මෙම රෝ ගය වැළඳීමේ අවදානමක් පවතී.

රෝගය ශරීරගත වී සති දෙකක් ඇතුළත මෙම රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් ඇතැම් රෝගීන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර එක්වරම රෝගය උත්සන්න වන අවස්ථා ද ඇතිවිය හැක.

මී උණ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ අධික ලෙස උණ හටගැනීමය. ඊට අමතරව තද හිසරදය, වමනය, පාචනය, සමේ කැසීම, සම සහ ඇස් කහ පැහැ ගැන්වීම මෙන්ම මාංශපේෂිවල අධික කැක්කුම ද හටගනී. ඇතැමුන්ට රෝගය උත්සන්න වීමේදී මුත්‍රා කහ පැහැවීම මෙන්ම මුත්‍රා සමඟ රුධිරය පිටවීමද දක්නට ලැබේ. ඇතැමුන් මෙහි මූලික රෝග ලක්ෂණ ඇතිවෙද්දී එය ඩෙංගු හෝ ඉන්ෆ්ලුවන්සා රෝග යැයි නිගමනය කරති.

බැක්ටීරියාවකින් වැළඳෙන මී උණ සඳහා වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබාදෙන අතර නිසි ප්‍රතිකාර නොලැබී යාමෙන් මෙම රෝගය මාරාන්තික විය හැකිය. විශේෂයෙන් මේ සඳහා නිසි ප්‍රතිකාර නොකිරීමෙන් හෘදය, වකුගඩු, අක්මාව මෙන්ම මොළය වැනි අවයව සඳහා ද බලපෑම් ඇතිවිය හැකිය. එම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කළ වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ.

මේ දිනවල රට තුළින් කොවිඩ්-19 ආසාදිතයන් දිනෙන් දින වාර්තා වීමත් සමඟ මෙලෙස මී උණ රෝගය ද පැතිර යාම කනගාටුදායක සිදුවීමකි. විශේෂයෙන් කොවිඩ් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වන උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ මී උණ රෝගයේ රෝග ලක්ෂණවලට සමාන වීම හේතුවෙන් රෝගීන් රෝහල්ගත කිරීමේදීත්, ප්‍රතිකාර ලබාදීමේදීත් අපහසුතා මෙන්ම ගැටලු ඇතිවිය හැක.

එබැවින් වඩාත් වැදගත් වනුයේ රට තුළ මේ වන විට පවතින තත්ත්වය හමුවේ මෙවැනි අතුරු රෝගාබාධවලට ලක්නොවීමට වගබලා ගැනීමය. මී උණ රෝගය ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ වගාබිම් ආශ්‍රිතවය. එබැවින් නිසි පරිදි කුඹුරුවල නියර සකස් කොට පිරිසුදුව තබාගැනීම වැදගත් වේ. වගාබිම් සැකසීමේදී අත් ආවරණ හා පා ආවරණ පැළඳීම අනිවාර්ය වේ. විශේෂයෙන් පාදවල තුවාල, සීරීම් ඇතිවිටදී, කුඹුරුවල වැඩ කිරීමේදී සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. පා ආවරණ දණහිස තෙක් පළඳින්නට (බූට්) වගබලා ගත යුතුය. තුවාල, සීරීම් ඇතිවිටදී හැකියාවක් ඇත්නම්, ජලයට, මඩට නොබැස සිටිය යුතුය. නෑමට, බීමට ගන්නා ළිං ජලය සතුන්ගෙන් ආවරණය වී ඇත්දැයි සැලකිලිමත් වීමත් විශේෂයෙන් මීයන්ගේ සහ අනෙකුත් සතුන්ගේ මුත්‍රා සහ මළද්‍රව්‍ය එක්නොවීම සඳහා ආරක්ෂිත ළිං බැම්මක් මෙන්ම දැලක් ද සවිකිරීමත් ඉතා වැදගත් වේ.

කුඹුරේ, වගාබිමේ, ඇළ ආශ්‍රිත පමණක් නොව ගෙවත්තේත් නිවෙසේත් මීයන්ගෙන් තොර වටපිටාවක් සකස් කරගත යුතුය. වර්ෂාවත් සමඟ ඇතිවන ගංවතුර තත්ත්වයත් සමඟ මෙලෙස මී උණ පැතිරයාමේ ප්‍රවණතාවය වැඩිය. එබැවින් ඒ කාලවලදී මේ පිළිබඳව අවධානය වැඩි වශයෙන් යොමුකිරීම වැදගත් වේ. ජලය රුඳුණු ස්ථානවල ජලය බැස යාමට සැලැස්විය යුතු අතර පුරන් වූ කුඹුරකට බැසීමේදී වඩාත් සැලකිලිමත් වීම අනිවාර්ය වේ. එවැනි තැන්වලින් මෙම රෝගය ඇතිවිය හැකි අවදානම වැඩිය. නමුත් රෝගියකුගෙන් තවත් කෙනකුට මෙම මී උණ රෝගය බෝ නොවේ.

බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මී උණ රෝගය සඳහා ප්‍රතිජීවක ඖෂධ ඇති අතර නිසි කලට නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැක. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර මෙම රෝගය සඳහා ලබා නොගතහොත් වකුගඩු, හෘදය, මොළය, අක්මාව වැනි අවයවවලට විවිධ බලපෑම් ඇතිකරන අතර රෝගය උත්සන්න වීමෙන් මරණය පවා සිදුවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 දිශානි ජයමාලි කරුණාරත්න