2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

බස් එකේ කෝච්චියේ පරෙස්සම

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

කොවිඩ් 19න් වසංගතය හේතු‍ෙවන් ලෝකයේ බලවත් රටවල් රැසක්ම මේ වනවිටත් බැටකමින් සිටිති. ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය, වැනි රටවල්ද කොරෝනා ඉදිරියේ මේ වනවිටත් පරාජය වී ඇත. මේ කොරෝනා වසංගතය නොසලකා හැරි බලවත් රාජ්‍යයන්වල රාජ්‍ය නායකයෝද අවසානයේ කොරෝනාවෙන් බැටකෑහ. ඒ අනුව ගත් කළ පෙනී යන්නේ ලෝකයේ බොහෝමයක් බලවත්, ධනවත් රටවල් පවා ඇත්තේ කොරෝනාවට පහළිනි.

ශ්‍රී ලංකා‍වේ ‍‍‍කො‍රෝනා මර්දන ව්‍යාපාරය පැසසුම් කළ යුතු තැ‍‍‍නෙක ඇතැයි ‍‍‍ලෝක‍යේ විවිධ ආයතන ‍වෙතින් වාර්තා වී ති‍බේ. ‍ලෝක ‍සෞඛ්‍ය සංවිධානයද වරින්වර ඒ බව සිහිපත් කර ති‍බේ. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහන් සැලසුම් වූයේ විශේෂඥයන්ගේ මඟ පෙන්වීම්වලට අනුවය. ඇඳිරි නීතිය පැනවීම, ඇතැම් ප්‍රදේශ හුදෙකලා කිරීම, අවදානම් කලාප හඳුනාගැනීම හා නිරෝධායන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන සියලු ක්‍රියාකාරකම් සැලසුම් වූයේ එකිනෙක ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ උපදේශනවලට අනුවය. රජයේ වෛද්‍ය සංගමය මේ බව කිහිප අවස්ථාවකදීම පෙන්වා දී තිබේ.

කොරෝනා වසංගතය මුළුමනින්ම පරාජය කර ඇතැයි රජය කිසිවිටෙක ප්‍රකාශ කර නැත. එහෙත් එය මැනැවින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත්තේය. රජය හැමවිටම පෙන්වා දීමට උත්සාහ ගත්තේ කොවිඩ් - 19 වයිරසයේ අවදානම දිගටම පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අකුරටම පිළිපදිමින් ජනජීවිතය යථා තත්ත්වයට ගැනීම සිදුවිය යුතු බවය. එම උපදේශනය අකුරටම පිළිපැදීමට ඇතැම් සමාජ කණ්ඩායම් උත්සුක වී නැත.

එහි ප්‍රතිඵලයක් සනාථ කරමින් ගම්පහ දිවුලපිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක පසුගියදා හමුවිය. ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අතර, උණට ප්‍රතිකාර ගැනීම සඳහා ගම්පහ රෝහලට ගොස් තිබේ. ආසාදිත කාන්තාව සමාජ කණ්ඩායම් කිහිපයක් ඇසුරුකර ඇති බව වාර්තා වෙයි. මේ වනවිට ඇය ඇසුරු කළ සියලුදෙනා නිරෝධායනයට ලක්කර සිටිති. රෝගී කාන්තාවගේ දියණියටද වයිරසය ඇතුළු වී ඇති බව තහවුරු වී ඇත. එම දියණියගේ සම්බන්ධතා ජාලය ද දැන් විමසුමට ලක් වී තිබේ. මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ ඇතුළු තවත් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. ගම්පහ දිස්ත්‍රික්කය පුරා යළිත් කොවිඩ් වසංගත භීතිකාව පැතිර යමින් පවතී.

මේ සිද්ධියත් සමඟ මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ඉහත කාන්තාව ආසාදිතයකු වූයේ කෙසේද යන්නය. පොදු සමාජයෙන් කොවිඩ් රෝගියකු හමුවන්නේ සැලකිය යුතු කාලයකට පසුය. එහි අනතුරු හැඟවීමක්ද තිබේ. අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ විදේශගත වී සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් ගැනය. එලෙස එන සියලුදෙනා නිරෝධායනයට හා අදාළ පරීක්ෂණවලට යොමුකරන බැවින් ඒ කෙරෙහි සැකයක් ඇති කර ගැනීමට හේතු සාධක නැත. එසේ නම් ඉහත කාන්තාව ආසාදිතයකු බවට පත්වූයේ කෙසේද? මෙතෙක් ඊට අදාළ හේතුවක් තහවුරු වී නැත. එහෙත් හඳුනාගත යුත්තේද එම හේතු සාධකය බව මතක් කළ යුතුය.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් මතුවන්නේ නම් එය නොසැලකිල්ල හා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ඇති විය හැක්කක් බව අපගේ පිළිගැනීමය. අප එසේ අවධාරණය කරන්නේ වසංගතය මර්දනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම රජය ගෙන ඇති බැවින්ය. රාජ්‍ය නිලධාරීන් සේම පොදු ජනතාවද සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදිමින් ක්‍රියා කරන්නේ නම්, රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් නැත. කොරෝනා වසංගතය මර්දනය කොට ජනජීවිතය යථා තත්ත්වයට ගත් සෑම රජයක්ම සෞඛ්‍ය පිළිවෙත් අකුරටම අනුගමනය කර තිබේ; දැනටද අනුගමනය කරමින් සිටී. කොරෝනා වසංගතය සමඟ ජීවත්වීම යනු එම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමය.

ආපසු හැරී බලන විට අපේ ජනතාවගේ වැඩ කොටස පිළිබඳ ගැටලු ගණනාවක් මතු වී ඇත. කොවිඩ් 19 පිළිබඳ අවදානමක් ශ්‍රී ලංකාව තුළ නැතැ’යි යන හැඟීමෙන් බොහෝ දෙනෙක් ක්‍රියා කරති. ප්‍රසිද්ධ ස්ථානවලද මුඛවාඩම නැතිව හැසිරෙන අය බහුලය. මීටරයේ දුරස්ථභාවය වෙළෙඳ දැන්වීම්වලට පමණක් සීමා වී ඇත. සෞඛ්‍ය පිළිවෙත් හා උපදේශන එකින් එක සමාජය වෙතින් ගිලිහී යන්න පටන්ගෙන තිබේ.

ආසාධිත කාන්තාව හඳුනාගත් දිනයේදීම රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ අත්‍යවශ්‍ය කාරණයකට හැර සිය නිවෙස්වලින් පිටතට නොයනා ලෙසය. නමුත් එය හුදෙක් ඉල්ලීමක් පමණක් වී ඇත. මෙම සිදුවීම වාර්තාවිමත් සමගම බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙන යන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටි නමුත් බොහෝමයක් බස් රථවල තවමත් පොල් පැටෙව්වාටත් වඩා මගීන්ය. මීටරයක පරතරය තබා සෙන්ටිමීටරයක පරතරයවත් බස් රථ තුළ නැත. බොහෝ දෙනාගේ නිකටේ තිබූ මුඛවාඩම් නැවතත් එසවී ඇතත් ඒ එසවී ඇත්තේ මේ වසංගතයේ නැවත වාර්තාවීම සමඟිනි. එසේ නොමැති නම් මුඛවාඩම් තවමත් තිබෙන්නේ බොහෝ දෙනාගේ නිකටේය. තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයා ගත යුතුය යන පරමාර්ථය පසුගිය දිනවල සමාජයෙන් අපට දක්නට ලැබුණේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පෙන්වා දෙන්නේ කන්දකාඩු කොවිඩ් පොකුරට වඩා දිවුලපිටියෙන් හඳුනාගත් කොවිඩ් පොකුර ඉතා භයානක වීමට ඉඩ ඇති බවය.

“කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ගේ මූලාශ්‍ර සොයා ගැනීමට හැකියාව ලැබුණත් දිවුලපිටියෙන් ආසාධිත වූ කන්තාවගේ මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම ඇය ළඟින් ඇසුරු කරපු අයගෙන් මෙය රටපුරා ව්‍යාප්ත වී තිබෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිරතුරැවම පිළිපදින ලෙසයි. ඒ වගේම තමන්ගේ ආරක්ෂාව ගැන තමන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියන කාරණාව. මොකද තමන් ආරක්ෂා වුණොත් තමයි අනෙක් අයත් ආරක්ෂාවෙලා සමාජයත් ආරක්ෂා වෙන්නේ.”

අපේ රට හැඳින්වෙන්නේ කොරෝනා වසංගතය සාර්ථකව මර්දනය කරමින් සිටින රාජ්‍යයක් හැටියටය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එය පිළිගනී. විශේෂයෙන් වසංගතය කළමනාකරණයට රජය ගත් ක්‍රියාමාර්ග බොහෝදෙනකුගේ පැසසුමට ලක් විය. කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුවහොත් යළිත් අපට මුලට යන්නට සිදුවේ. මුල සිට නැඟී සිටින්නට සිදු වේ. මේ තත්ත්වය මඟහැර යා හැක්කේ රජය මෙන්ම ජනතාවද තම වගකීම් හා යුතුකම් කෙරෙහි නැවත නැවත සලකා බැලීමෙන් පමණි.

 හසිත් අංජන

අපි නීතිරීති ගැන බස්රථ සේවකයන් දැනුවත් කළා
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

කොවිඩ් 19 වසංගතය මේ වනවිට නැවත වතාවක් රට තුළ පැතිරී යන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේ වනවිට අපි සියලු බස් රථ රියැදුරු මහත්වරුන්ට හා කොන්දොස්තර මහත්වරුන්ට දැනුම් දීලා තියෙනවා කිසිම මගියකු මුඛ ආවරණයක් නොමැතිව බස් රථ තුළට ගන්න එපා කියලා. ඒ වගේම රියදුරු හා කොන්දොස්තර මහත්වරැන්ට අනිවාර්යයෙන් මුඛ ආවර්ණ පළඳින්න කියලා අපි දැනුවත් කරලා තියෙනවා. ආසන ගණනට පමණක් මගින් රැගෙන යන ලෙසටත් අපි ඔවුන්ව දැනුවත් කරලා තියෙනවා. එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අපි මගීන් නග්ගවා ගැනීම සහ බැස්වීම යන දෙකම අත්හිටුවා තියෙනවා

දුම්රිය මැදිරියකට ඇතුළු කරන්නේ සීමිත මගීන් පිරිසක්
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු

කොවිඩ් වසංගතය රට තුළ නැවත වරක් පැතිර යාම නිසා මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගනු ලබනවා. ඒ වගේම දුම්රිය මැදිරි තුළ ආසන ප්‍රමාණයට මගීන් ඇතුළු කිරීම වෙනුවට එක් දුම්රිය මැදිරියකට ඇතුළු කරන පුද්ගලයන් සීමා කරන්නත් දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. ඒ වගේම මුව ආවරණ නොමැතිව එන මගීන් අපි දුම්රිය ස්ථාන වෙත ඇතුළු කර ගන්නේ නැහැ. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය ස්ථාන සඳහා මේ වනවිට පොලිස් නිළධාරීන් ආරක්ෂාව ලබා දී තිබෙනවා.