දේශීය නිෂ්පාදන වෙනුවට විදෙස් රටවලින් ආනයනය කළ බොහෝ නිෂ්පාදනවලට මුල්තැනක් ලබාදෙමින්, පාරිභෝගිකයන් ඒ කරා යොමුකරන වෙළෙඳපොළක් හැදූ යුගයක ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා නව ඇමැති ධුරයක් නම් කළේය. ඒ ග්‍රාමීය නිෂ්පාදනය නගා සිටුවීම උදෙසා වේවැල්, මැටි, පිත්තල, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත වෙනුවෙන් ඇමැතිවරයෙකු පත් කිරීමය. එම නව ඇමැති ධුරය ලැබුවේ ප්‍රසන්න රණවීර මහතාය.
එකල සෑම ගමකම පාහේ කෑම පිසින ලද්දේ මැටි බඳුන්වලය. මැටි නෑඹිලියෙන් ගරාගත් සහල් බත් ලෙසින් පිසින ලද්දේ මැටි මුට්ටියේය. හාල් පොළන ලද්දේ වේවැල් කුල්ලකය. නමුත් වර්තමානයේ නාගරික මුළුතැන්ගෙයි එලෙස වේවැල් කුල්ලක් නැත. හාල් ගැරීමට මැටි නෑඹිලියක් නැත. බත පිසින්නට මැටි බඳුනක් නැත. ඒ සියල්ල නවීකරණය වෙමින් වෙනත් නිෂ්පාදන මුළුතැන්ගෙට එකතු වී ඇත. විශේෂයෙන් වර්තමානයේදී බොහෝ නිවැසියන් ආහාර පිසින්නේද ඇලුමිනියම් බඳුන්වලය. මැටි බඳුනක පිසූ ආහාරයක ඇති රසය එවැනි ඇලුමිනියම් බඳුනේ නැත.
මැටි නිෂ්පාදනවලට පමණක් නොව වේවැල්, පිත්තල, ලී බඩු වැනි ග්‍රාමීය නිෂ්පාදන සියල්ලටම පසුගිය කාලවලදී සිදුවූයේ කුඩම්මාගේ සැලකිලිය. එවැනි ග්‍රාමීය නිෂ්පාදන සියල්ලටම අඩු සැලකිලි ලැබෙද්දී බොහෝ නිෂ්පාදකයෝ ඒවායින් ඈත් වූහ. ඇතැමුන් පාරම්පරිකව එවැනි නිෂ්පාදන ක්‍රියාවලියෙන් තම ජීවනෝපාය කරගෙන ගියද නිෂ්පාදනවලට අඩු වටිනාකමක් සමාජය තුළින් ලැබෙද්දී තරුණ පරපුර තම පරම්පරා රැකියාවෙන් ඈත් වූහ.
එකල සෑම නිවසකම මැටි කැටයක් තිබුණි. වැඩිහිටියන්ගෙන් ලැබූ කාසි මැටි කැටයට දමන කුඩා දරුවෝ සිංහල අලුත් අවුරුද්දේ කැටය බිඳ දමා එම කාසිවලින් අලුත් අවුරුද්දේ කැට ගැසීමේ නිරත වූහ. දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ද එකල මැටි කැටයේ කාසි එකතු කරන පුරුද්දක් තිබුණි. නමුත් කාලයත් සමඟම එම මැටි කැටය අභාවයට ගොස් චීනයෙන් ගෙන්වූ “ප්ලාස්ටික් කැටය” නිවාස තුළ එකතු විය.
වත්මන් ජනපති ග්‍රාමීය නිෂ්පාදනය වෙනුවෙන් වැඩි සැලකිල්ලක් ගැනීමෙන් අද ග්‍රාමීය නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන නැවතත් නිදහසේ කරලීමට හැකියාව ලැබී ඇත. නමුත් ඒ වෙනුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට යාමේදී විවිධ ගැටලුවලට මුහුණදෙන බවත් බැංකු ආයතන මගින් ණය ලබාගැනීමට යාමේදී විවිධ ලියකියැවිලි ඉල්ලා සිටින බවත් එම නිපැයුම්කරුවෝ චෝදනා කරති.
“ලෝක ළමා දිනය” වෙනුවෙන් පසුගියදා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් “මැටි කැට” බෙදාදීමක් සිදුවුණි. ඒ සඳහා මහජන බැංකුව අනුග්‍රහය ලබාදි තිබිණි. පසුගිය කාලවකවානුවේදී කුඩා දරුවන් වෙනුවෙන් බැංකු ආයතන කිහිපයක් ප්ලාස්ටික් කැට තෑගී ලෙස ලබාදුන්නද ප්‍රසන්න රණවීර ඇමැතිවරයාගේ නව සංකල්පයක් සමඟ එම බැංකු ආයතනද මැටි කැට තම ගනුදෙනුකරුවන් සඳහා ලබාදීමට කැමැත්ත පළකර තිබුණි. ඒ අනුව මේ වනවිට බොහෝ මැටි නිෂ්පාදකයන් විවිධ හැඩැති මැටි කැට නිෂ්පාදනය කරමින් සිටිති.
මැටි කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් දියුණු කිරීම සඳහා මැටි භාණ්ඩ නිෂ්පාදනයේදී නූතන තාක්ෂණික දැනුම එක් කිරීම අවශ්‍යය. ඒ සඳහා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සී.ඒ.එන්. ප්‍රනාන්දු මහතා මුණගැසී අවශ්‍ය තාක්ෂණික දැනුම අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සියලු නිෂ්පාදන සඳහා උපයෝගී කරගැනීමටද කටයුතු සූදානම් වෙමින් පවතී.
මැටි කර්මාන්තකරුවන් මෙන්ම වේවැල් කර්මාන්තකරුවෝද අද ප්‍රබෝධමත් අයුරින් තම නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙමින් සිටිති. මේ වනවිටත් ඔවුහු අලුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීමට උත්සාහ ගනිමින් සිටිති. චීනයෙන් ආනයනය කරන විදුලි ලන්තෑරුම් වෙනුවට මෙරට සාදන වේවැල් විදුලි ලංතෑරුම් සැබැවින්ම ඉතා දැකුම්කළුය. සංචාරක හෝටල් කිහිපයක්ම මෙවැනි වේවැල් ලන්තෑරුම් සඳහා ඇණවුම් මේ වනවිටත් ලබාදී ඇත.
මොරටුව ලී වලට ප්‍රසිද්ධ නගරයයි. කාලයාගේ ඇවෑමෙන් මොරටු පුරවරයේද වර්තමානයේදී චීනයෙන් ආනයනය කළ ප්ලාස්ටික් පුටු ප්‍රදර්ශනාගාර කිහිපයක්ද දැකගත හැකි විය. පාරම්පරික වඩු කර්මාන්තයේ නියැලුණු කර්මාන්තකරුවන් තම කර්මාන්තයෙන් ඈත්වූ යුගයක, දැකුම්කළු හාන්සි පුටුව වෙනුවට ප්ලාස්ටික් හාන්සි පුටු ආලින්දයට ආ යුගයක, වර්තමානයේදී ලී නව නිර්මාණ, අපූරු කැටයම් යෙදා ලී බඩු නිෂ්පාදනය කරලීමට ග්‍රාමීය කර්මාන්තකරුවන්ට අවස්ථාව උදා වී ඇත.
තල් කොළයට හැඩ දැමූ අපූරු නිර්මාණයන්ට අද තැනක් ලැබී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බොහෝ කාන්තාවෝ ස්වයං රුකියාවක් ලෙසින් තල් කොළයේ රටා මැවූහ. නමුත් ඔවුන්ගේ නිර්මාණවලට තැනක් නොලැබුණි. නමුත් නව සංකල්පයට අනුව වර්තමානයේදී තල්කොළයෙන් නිර්මාණ වුණු මනරම් අත්කම් නිර්මාණ රැසකට වෙළඳපොළක් කොළඹ, ත්‍රිකුණාමල මාර්ගයේ පසුගියදා ඉදිවුණි. එයින් තල් කොළයෙන් නිර්මාණය වුණු බොහෝ අත්කම් රැසක් මිලදී ගත හැකිය.
තල් කොළයට, වේවැලට පමණක් නොව පිත්තල භාණ්ඩයටද වර්තමානයේදී වෙළඳ පොළක් හිමි වී තිබේ. අභාවයට යමින් පැවැති ග්‍රාමීය නිර්මාණකරුවන්ට අද නව පණක් ලැබී ඇත. දේශීය දේ අගයන පාරිභෝගිකයින්ට නව නිර්මාණ මිලදී ගන්නට හොඳ වෙළෙඳපොළක් ඇත. චීනයෙන් ගෙන්වන දේ වෙනුවට අපේකමට අද වටිනාකමක් ලැබෙමින් තිබේ. එහෙයින් දේශීය නිර්මාණකරුවන්ට සුබවාදී අනාගතයක් ලැබේ යැයි විශ්වාස කරන්නෙමු.
දිශානි ජයමාලි කරුණාරත්න