2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

තාක්ෂණය වෙනුවෙන් දරුවන්ට ගෙවන්න සිදුවන මිල

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

නැවත වතාවක් රට තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබේ. කොවිඩ්-19 වයිරස අවදානමක් ඇත. බ‍්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත සමූහයට අයත් කර්මාන්තශාලාවක කොවිඩ් පොකුර රට කළඹන සිද්ධියකි. අවදානම ගිලිහීම සමඟ වයිරසය ක‍්‍රියාත්මක වී ඇත. 

වසර මුල පළමු කොවිඩ් වැළඳුණු රෝගියා වාර්තා වීමෙන් පසු පැවැති වාතාවරණය අමතක කළ යුතු නැත. රට පුරා පොලිස් ඇඳිරිනීතිය පනවන ලද අතර අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පමණක් කාර්යාල විවෘත වී තිබුණි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවලින් සෑහෙන කොටසක් නිවෙසේ සිට කරගෙන යන ස්වභාවයකට පරිවර්තනය විය. විශ්වවිද්‍යාල, පාසල් සහ අතිරේක පන්ති නතර කර දමන ලද අතර විකල්පයක් වශයෙන් අන්තර්ජාලයෙන් ඉගැන්වීමේ කටයුතු කරන ලද බව මතක් කර දිය යුතුය. එහි අඩුලුහුඬු තැන් හා සමාන අවස්ථා නොතිබීම අනෙක් ප‍්‍රශ්නයයි. කොවිඩ් දෙවැනි රුල්ල කෙසේවෙතත් තාක්ෂණික සමාජයක් ගොඩනැගීමට මෙම පසුබිම හේතුවක් කරගත යුතුය.

නිසොල්මන් නොවන තාක්ෂණික සමාජයක්

වයිරසය තවදුරටත් පැතිරීම වළක්වනු සඳහා පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබ තිබේ. වසරේ මුල් භාගයේ ද රට නිසොල්මන් විය. රජයේ සහ පෞද්ගලික අංශයේ කටයුතු ඇණහිටින ලද අතර එය විශාල අවාසියකි. පැතිර යන අවදානම හමුවේ රජයේ කාර්යාල ගණනාවක් මහජනතාවට විවෘත නැති බව නිවේදනය කර තිබේ. ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව, ගමන් බලපත‍්‍ර දෙපාර්තමේන්තුව, මෝටර් රථ වාහන ලියාපදිංචි අංශය හා විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලය ඇතුළු තැන් ගණනාවකි. මේවාට ජනතාව පැමිණීම අධෛර්යය කරන බව පෙනේ. ජාතික රෝහලේ ඇස් හා දන්ත වෛද්‍ය අංශ ද රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම නතර කර ඇති වග නිවේදනය කර ඇත. අවදානම අභිමුවෙහි මෙවැනි තීරණ වාසිදායක විය හැකිය. ජනජීවිත ආරක්ෂා කර ගැනීම පළමු වගකීමය. එහෙත් සේවා ජාලය අඩාල නොවන පරිදි කටයුතු කරගෙන යන්නට නොහැකියාවක් නැත. තාක්ෂණය බහුලව භාවිතයට ගැනෙමින් තිබෙන කාල වකවානුවකි. පස්වැනි පරම්පරාවට අයත් රැහැන් රහිත සන්නිවේදනය අද භාවිතයට ගැනෙමින් තිබේ. මනුෂ්‍ය මෙහෙයවීමක් නැතිව යන්ත‍්‍ර මගින් කාර්යය ඉටු කරන කාල වකවානුවකි. රටට එම අංශ සඳහා ආයෝජනය කළ හැකිය. රට නිසොල්මන්, නොඑසේ නම් ලොක්ඩවුන් කර පුරවැසියන් නිවෙසට කොටු කරන අතර එදිනෙදා අවශ්‍යතා අන්තර්ජාලයෙන් කරගත හැකිවන සේ දියුණු කිරීමට සුදුසුම අවස්ථාවකි.

කොවිඩ් වයිරසයේ පළමු රැල්ල පැමිණි කාල වකවානුවේදී නිවෙසට වී රාජකාරි කරන පසුබිමක් සඳහා වෑයමක් තිබුණි. රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීහු අන්තර්ජාලය ඔස්සේ රාජකාරි කළහ. ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ හා වැඩමුළු වෙබ් අවකාශය ඔස්සේ කරන බව අදටත් වාර්තා වන කරුණකි. අවදානම ලිහිල් වන විට නැවතත් පුරුදු රාමුවට වැටිණි. එය සුදුසු නැත. සම්පූර්ණයෙන්ම අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය වැදගත්ය. පාසල්වල ඉගෙනීමේ කටයුතුවලට පවා අන්තර්ජාලය දොරටු විවෘත කළේය. අතිරේක පන්ති නිවෙසටම පැමිණි අතර  ගෙවීම් කෙළින්ම ගිණුමට බැර කරන විද්‍යුත් මුදල් හුවමාරුව පවා ප‍්‍රයෝජනයට ගැනිණ. වයිරසය පාලනය වී ඇති බව උපකල්පනය කර පාරට පැමිණි ජනතාව සහ පාලකයන් එම වාසි අත්හැර පරණ සම්මත යුගයට එළැඹි අතර එහි අවාසිය අද නැවතත් ඔප්පු වී තිබේ.

ජනතාව තාක්ෂණයට යොමු නොවන කාරණා හඳුනා ගැනීම

බස් රථයකට නැග එහි තදබදයෙන් මිරිකී කාර්යාලයකට පැමිණ වැඩක් කර ගැනීම ගැන තවමත් පුරවැසියන්ට හුරුපුරුදු බවක් ඇත. අන්තර්ජාලයෙන් අවස්ථා තිබුණත් ඒවායේ පලක් නැති බවට අදහසක් තිබේ. දත්තවලට වියදම් කර ප‍්‍රතිචාරයක් නැති බව උපකල්පනය කරති. අන්තර්ජාලයට ගෙවන මිල අනෙක් වැදගත්ම සාධකයක් වී තිබේ. අන්තර්ජාල ගාස්තු දැරිය හැකි මටට්මක පවතින බව සමහර විද්‍යාර්ථීන්ගේ මතයකි. එහෙත් ඇත්ත එය නොවේ. සමාගම් සිය ගනුදෙනුකරුවන්ගෙන් අසීමිතව මුදල් අයකරමින් සිටී. ආණ්ඩුවට ද එය ප‍්‍රශ්නයක් නොවේ. පැහැදිලි බදු ආදායම් මාර්ගයක් වී ඇත. වාසිය එයයි.

රජයට බහුතර කොටස් හිමි ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එයට හොඳ උදාහරණයකි. එහි පළමු කාර්තුවේ මෙහෙයුම් ලාභය රු. බිලියන 3.2 තෙක් සියයට විසි අටකින් ඉහළ නැග ඇත. දෙවැනි කාර්තුවේ මෙහෙයුම් ලාභය රු. බිලියන 3.7 කි. එය පසුගිය 2019 වසරේ දෙවැනි කාර්තුවේ මෙහෙයුම් ලාභය 1.9 සමඟ සසඳන විට දෙගුණයකට ආසන්නය. පසුගිය කොවිඩ් කාලයේ නිවෙසට වී සිටි ජනයා දත්ත හා දුරකතන ඇමතුම්වලට ගෙවා තිබේ. පෞද්ගලික අංශයේ සමාගම්වල ආදායම හා ලාභය මෙයට නොදෙවැනිය. නිවෙසට වී සිටින රටවැසියන්ට අන්තර්ජාලයෙන් එදිනෙදා කටයුතු කර ගැනීමට පහසුව අවශ්‍යය. රට තුළ සේවා සපයන සන්නිවේදන සමාගම් හඳුන්වා දෙන පැකේජවල ගාස්තු ඉතා ඉහළය. කාර්යබහුල හා කාර්යබහුල නොවන වශයෙන් වෙන් කර ඇත. ජනතාවට අවශ්‍ය දත්ත ගැනීමට පහසුව ඇති නොකරන්නේ ඇයි? රාත‍්‍රී කාලය වෙනුවෙන් මුදල් ගෙවා ලබාගන්නා දත්ත භාවිත නොකර අවලංගු වෙන බව නොදන්නෝ නොවෙති. නියාමන අධිකාරිය එවැනි බලපෑම් වළක්වන තීරණ ගෙන ඇති නමුත් කි‍්‍රයාවට නැගී නැත. 

පොදු ජනතාව දුරකතන භාවිත කරන අතර ස්මාට් දුරකතනවල සමාජ මාධ්‍ය භාවිතාවෙහි බහුලව නිරත වන බව පෙනේ. දිනපතා තම දුරකතනයට මුදල් ගෙවන පිරිස විශාලය. දෛනික ආදායමෙන් දුරකතන හා දත්ත වෙනුවෙන් කරන වියදම අඩුම තරමින් ජීවන වියදම් අංකයට හෝ සලකා බලන බවක් නොපෙනේ. ජනතාව සන්නිවේදනය වෙනුවෙන් දරන වැය සලකා බලන පර් ෙය්ෂණයක් අවශ්‍යය. එම පිරිවැය පාලනය කරන පියවර හඳුන්වා දී ජනතා සේවාවක් සිදුවන සේ සන්නිවේදන අවශ්‍යතා වෙත නැඹුරැ කරවීම සුදුසුය.

අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දත්තවලට ගෙවන වියදම බරකි

වාසිසහගත තත්ත්වයක සිටින ටෙලිකොම් සමාගම දරුවන්ට අඩු වියදමකින් ලබා දුන් අන්තර්ජාල පහසුව අත්හිටුවා තිබේ. එය බරපතළ ප‍්‍රශ්නයකි. දෙමාපියන්ගේ ලිපියක් පාසලෙන් නිර්දේශ කළ විට ඉතා සුළු දත්ත බණ්ඩලයක් රු. තුන්සිය අනූවකට ලබාගත හැකි විය. එය සාමාන්‍ය ජනතාවට වාසියක් වී තිබුණි. දැන් එය නතර කර තිබේ. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් පැකේජයක් ඉතාම අඩු වියදමකින් දෙන බව සඳහන් කළ යුතුය. එම පැකේජය සඳහා මූලික වෙනත් පැකේජයක පහසුකම් අවශ්‍යය. ටෙලිකොම් සමාගම මල්ටිෆයිබර් සම්බන්ධතා ලබා දෙන වග නිවේදනය කර ඇති අතර එහි සඳහන් වන පරිදි එම සබඳතාව රු. දොළොස් දහසකි. අඩුම පැකේජය රු. එක්දහස් හාර සියයක් බව දැක්වෙයි. මාසයකට සිසුන්ගේ ටියුෂන් වියදම දරාගත නොහැකිව සිටින පසුබිමක දත්ත වෙනුවෙන් මෙවැනි අධික ගාස්තු සුදුසුද? 

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය මෑතකදී දක්වන ලද පරිදි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් සියයට පහළොවකගේ පමණ තමන් වෙසෙන ප‍්‍රදේශවල අන්තර්ජාල පහසුකම් නැත. සියයට දහ අටක පමණ පිරිසකට පෞද්ගලික පරිගණකයක් නැති බව දක්වයි. සෑහෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් නවාතැන්, ආහාර, ඇඳුම් හා ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් සුළු රැකියාවල යෙදෙති. එය ප‍්‍රශ්නයක් නොවේ. වැඩක් කර උපයන අතරතුර පූර්ණකාලීන අධ්‍යාපනය ලෝකයේ සුලබ අදහසකි. එහෙත් කොළඹ වැනි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන දරුවන්ට තාක්ෂණය භාවිත කරන්නට පවතින බාධා තිබියදී දුරස්ථ අධ්‍යාපනය කරගෙන යන්නට රටට පුළුවන්කමක් නැත. අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් ගෙවන පිරිවැය දරාගත නොහැකි එකකි. 

රටට අවශ්‍ය භාවිත නොකරන සන්නිවේදන තාක්ෂණයක් නොවේ. ඉහළම භාවිතයකින් හොඳම ප‍්‍රතිඵල අත්පත් කර ගන්නා වාතාවරණයකි. අන්තර්ජාලයේ ගාස්තු සම්බන්ධ ප‍්‍රශ්නවලට මැති ඇමැතිවරුන් විසඳුම් දිය යුතු නැත. නියාමන අධිකාරියක් තිබේ. ඒවා පොදු මහජන සුබසෙත වෙනුවෙන් තීරණ ගැනීම අවශ්‍යය. නිසි තරගකාරීත්වය ඇතිකළ යුතු අතර හදිසි අවස්ථාවක දී ලාභයෙන් කොටසක් නැවත ප‍්‍රජාව වෙත පිරිනමන්නට හැකිවන පරිදි රාමුවක් සකස් කළ යුතුව තිබේ.

කටයුතු වේගවත් කරන්නට තොරතුරු තාක්ෂණයේ සහාය

එදිනෙදා ජනතාවට අවශ්‍ය සේවය ඉක්මනින් කර දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවේ. කාර්යාලයකට නොගොස් ඊ තැපෑලෙන් යවන ලිපියකින් රාජකාරි කරගත හැකි නම් මෙවැනි වයිරස තත්ත්වයක දී පවා රට සම්පූර්ණයෙන් වහන්නට අවශ්‍ය වන්නේ නැත. රට තුළ මතුපිටින් නිහඬ නමුත් එදිනෙදා වැඩ රාජකාරි කරගෙන යන්නට පුළුවන්කමක් තිබේ. එවැනි ආයෝජනයක් හා මෙහෙයුමක් අපට අවශ්‍යය. එක වතාවකින් රට ආපස්සට ගිය අතර දෙවැනි වතාවට ගම්පහ දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගෙන මුළු රටම අවදානමකය. මෙවැනි වාතාවරණයක් හමුවේ අනාගතය සැලසුම් කිරීම සුදුසුය. කොවිඩ් වයිරසය පරාජය කර ලෝකය ජයග‍්‍රාහී වන දිනයක් ගැන තවම ඉඟියක් නැත. නොයෙක් එන්නත් ගැන ප‍්‍රකාශ වන නමුත් අඩුම තරමින් වසර පහක පමණ කාලයක් ඒවා සාමාන්‍ය භාවිතයට එන්නට ගත විය හැකි බව විශේෂඥ වාර්තා දක්වයි. රට තුළ ඩිජිටල්කරණය හා දත්ත පරිහරණයේ දී අවම මිල ගැන සලකා බැලීම වැදගත්ය. 

රජයට අයත් අන්තර් ආයතන සම්බන්ධීකරණයක් ඇතිකරන අදහසක් මෙම වාර්තාවේ කියා ඇති අතර එය කරගත හැකි නම් බලය බෙදන වැඩපිළිවෙළ රටට අවශ්‍ය නැත. එනම් ගමන් බලපත‍්‍රයක් ඉල්ලන පුරවැසියකු කඩදාසි පිටපත් කරගෙන ඒවා සහතික කර ඉදිරිපත් කළ යුතු නැති අතර අදාළ නිලධාරියාට යතුරු පුවරුව මෙහෙයවා අනෙක් දෙපාර්තමේන්තුවකට ගොස් මෙකී අයැදුම්කරු ප‍්‍රකාශ කරන කාරණා නිවැරදිදැයි සොයාගත හැකිය. අද සිදුවන ආකාරයට ගමන් බිමන් අනවශ්‍යය. කාර්ය පහසු වෙයි. එය එක උදාහරණයක් පමණකි. ණයක් ගැනීමට, නිවාස ලේඛනයක් අනුමත කර ගැනීමට යනාදී වශයෙන් දහසකුත් දේ වෙනුවෙන් ගත කරන කාලය හා ශ‍්‍රමය සීමා කරගත හැකිවෙයි. අවදානම ඉදිරියේ රට වසා දමන සේ යෝජනා කරන ඇතැම් නිලධාරීන් මෙම අවකාශය අභියෝගයක් සේ සලකා තොරතුරැ තාක්ෂණයෙන් ප‍්‍රයෝජන ගැනීමට නොසිතන්නේ මන්ද? 

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02