2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

බදුයුදීන්ලාගෙන් ඇවිස්සුණු දේශපාලන දෙබරය

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

රිෂාඩ් බදියුදීන් යනු මෑත කාලීන දේශපාලන සුළි කුණාටු රැසක අපිකේන්ද්‍රය වූ දේශපාලකයාය. පසුගියදා රිෂාඩ්ගේ සහෝදරයා සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශයක් සහ බදියුදීන් මහතා සහභාගී වූ රාජ්‍ය උත්සවයක් නිසාවෙන් මෙවර දේශපාලන සුළි කුණාටුව ඇරඹිණි. අනතුරැව මාධ්‍ය, ආගමික  නායකයන්, දේශපාලකයන් ප්‍රමුඛව ආරක්ෂක ලේකම් සහ ජනාධිපතිවරයා පවා මෙම දේශපාලන සුළි කුණාටුවට මැදිවූහ.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ඔක්තෝබර් 01 වැනිදා පැවැත්විණි. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට ද ඇරුයුම් ලැබී තිබුණි. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්  ද සහභාගී වූහ.

ඒ අනුව මෙම අවස්ථාවට රිෂාඩ් බදියුදීන් එක්ව සිටීම සුවිශේෂ දේශපාලන කාරණවක් කොට මාධ්‍ය වාර්තා කර තිබුණි. රාජ්‍ය  උත්සවය අවසානයේ බදියුදීන් හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කී කතාවක් ද මෙම වාර්තා අතර විය. එහිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දීම සම්බන්ධයෙන් සලකා බලන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් එම සංශෝධනයේ ඇතැම් කරුණුවලට එකඟ විය හැකි වුවද බහුතර කරුණුවලට එකඟ විය නොහැකි බවද ඔහු එහිදී  සඳහන් කළේය.

බදියුදීන් රාජ්‍ය උත්සවයකට සහභාගි වීම, එයට චමල් රාජපක්ෂ මහතා ද සහභාගී වීම සහ ඒ අතර සිදුවූ මෙම ප්‍රකාශ එදිනම යම් දේශපාලන කතිකාවක් නිර්මාණය කළේය. නමුත් එය මෙම දේශපාලන කුණාටුවේ ඇරුඹුම වූවා මිස අවසානය නොවිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඔක්තෝබර් 2 වැනිදා මාධ්‍ය හමුවේදී තවත් විශේෂිත ප්‍රකාශයක් කළේය. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව නිදහස් කළ බව ඔහු කීවේය. 

දිනක් දෙකක් තුළ සිදුවූ මෙම සිදුවීම් දෙක ආණ්ඩුව කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපෑම් කරන්නට විය. ඔක්තෝබර් 03 වැනිදා කාදිනල්තුමා කැඳවූ මාධ්‍ය හමුව මෙම සිදුවීම් දාමයේ තීරණාත්මක සංධිස්ථානයක් විය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් සිදුකරන විමර්ශන හා පරීක්ෂණ සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සැක මතු කර සිටියහ. මෙය දේශපාලන ඩීල් එකක් ද යන සැකය ද මෙහි දී මතුවිය. මෙහිදී කාදිනල්තුමන් විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවාගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රියාද් බදියුදීන් හිටිහැටියේ නිදහස් කර ඇති ආකාරය පිළිබඳ  බලවත් සේ සැක කරන බව පෙනෙන්නට විය. 

මෙතැන් පටන් හමා යන්නට ගත් දේශපාලන සුළි කුණාටුව ඉතා බරපතළ විය. විපක්ෂය පැහැදිලිවම මෙම සිදුවීම් පෙළ දඩමීමා කරගෙන ආණ්ඩුවට දැඩි ප්‍රහායරක් දියත් කළේය. මෙම සිදුවීම් පෙළ ඇරුඹීමට මත්තෙන් විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම පිළිබඳ  කතිකාවක් නිර්මාණය වී තිබුණෙන් තත්ත්වය තවත් බරපතළ විය. ජනාධිපතිවරයා කාදිනල්තුමන් අමතා කරුණු පැහැදිලි කළේය. තමන් කිසිවිටෙක දේශපාලන ඩීල්වලට ඉඩ නොතබන බවද හෙතෙම පැවසීය. තත්ත්වය එන්න එන්නම දරුණු වන විට ජනපති ඔක්තෝබර් 4 වැනිදා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ද මුදා හැරියේය.

“අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසු වීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුඳු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියා කරන බැව් ජනතාවට සහතික කරමි." 

ජනාධිපතිගේ මෙම ප්‍රකාශය මෙවර ඇතිවූ කුණාටුව මැඩපවත්වන්නට සමත් වූයේ නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය පිළිබඳව ඔක්තෝබර් 5 වැනිදා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කරුණු පැහැදිලි කිරීමක් ද සිදුවිණි. කෙසේ නමුත් ඒ අතර කාදිනල් හිමියන් පාර්ලිමේන්තුවේ සියලු කතෝලික මැති ඇමැතිවරුන් අගරදගුරු මැඳුරට කැඳවා  ඔවුන්ගේ මතය විමසා බැලීමට කටයුතු කළ බවද කියැවුණි. 

මෙම දේශපාලන කුණාටුවත් සමඟ දැඩිව පීඩාවට පත්වූවෝ දෙදෙනෙක් වූහ. ඒ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාය. වවුනියාව උත්සවයේදී කමල් ගුණරත්න මහතා සිදු කළා යැයි කියැවෙන ප්‍රකාශයක් එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් ප්‍රචාරය කර තිබුණි. මෙය කමල් ගුණරත්න විසින් රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වැයීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධව විවේචන  පළවන්නට වූ අතර තත්ත්වය තවත් බරපතළ විය. 

ඒ අනුව ඔක්තෝබර් 5 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා එක්විය. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ගැන ගුණ ගැයීමට තමාට  කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඒ මහතා පැවසීය. වවුනියාවේ දී පැවති උත්සවයක දී තමා කළ කථාවක් සමහරු සංස්කරණය කර ප්‍රචාරයක් ලබා දී වැරදි චිත්‍රයක් මවා ඇති බව කමල් ගුණරත්න සඳහන් කළේය. පසුව මේ පිළිබඳව නීති උපදෙස් ලබාගෙන අවශ්‍ය පියවර ගන්නා බවද ගුණරත්න මහතා පවසා තිබුණි. 
බැසිල් රාජපක්ෂ මෙම දේශපාලන කුණාටුවට හසුවූයේ මෙම සිදුවීම් පෙළ සම්බන්ධ පක්ෂ විපක්ෂ මැති ඇමැති මත දැක්වීම් හරහාය. ඒ සමඟම රිෂාඩ් බදියුදීන් ආණ්ඩුවට එක්කර ගැනීමේ සැලසුම බැසිල් රාජපක්ෂගේ බව කියැවීමෙන් තත්ත්වය දරුණු විය. 20 වැනි සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය ලබාගැනීමේ අරමුණින් මෙම කටයුත්ත සිදුවන බවත් ඊට හිලව්වක් ලෙස බදියුදීන් සහෝදරයාට නිදහස ලැබුණු බවටත් වූ කතාවක් පැතිර ගියේය. 

ආණ්ඩුව තුළ යම් මතවාදී බෙදීමක් දක්වා අවසානයේ මෙම ගැටලුව දුරදිග යන්නට විය. 20 වැනි සංශෝධනය නිසාවෙන් ඇරුඹි විමල් වීරවංශ අභ්‍යන්තර විරෝධයට මෙම සිදුවීම් පෙළ හේතු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආණ්ඩුවට එක්කර ගැනීමට තරම් මෝඩයකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය. එසේම “අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එළවනවා” යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

මෙම දේශපාලන සුළි කුණාටුවේ තීව්‍රතාව ඉහළ නැංවීමට ජාතික සංවිධාන සහ භික්ෂූන් වහන්සේලාගේ බලපෑම ද හේතු විය. ඇල්ලේ ගුණවංශ හිමියෝ ආණ්ඩුව කිරි කළේට ගොම දමාගැනීමට සූදානම් වන බව පැවසූහ. එසේම බොහෝ සංවිධාන සහ ක්‍රියාකාරීහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය සම්බන්ධව ගැටලු මතු කළහ. ඊට හේතුව වූයේ බදියුදීන් සොහොයුරා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලිස්  මාධ්‍ය ප්‍රකාශක කී කතාවය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය සුදුසු නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද ඔක්තෝබර් 6 වැනිදා පාර්ලිමේන්තුවේදී කීවේය.

2020 අප්‍රේල් 14 වැනිදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාද් බදියුදීන් එක් බෝම්බකරුවකු සමඟ ඍජු සබඳතා පවත්වා තිබූ බව කියා තිබුණේ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. එක් බෝම්බකරුවකු සමඟ රියාද්  බෝම්බ පිපිරීමට ආසන්න කාලයේ දී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට සිට සාකච්ඡා කර ඇති බවත්, එහිදී පොලිස් මාධ්‍ය අංශය පැවසීය. එසේම විශේෂ සුභසාධන සමිති සමාගම් ඇතිකර බෝම්බකරුවන් සමඟ ඒ සමාගම්වල එකට නිලතල දරමින් කටයුතු කර ඇති බවටත්, එම සමාගම්වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර ඇති බවටත් රියාද් බදියුදීන්ට එරෙහිව චෝදනා එල්ල වන බවද ඔහු රටට කීවේය. 

එලෙස ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය අංශයම ඔක්තෝබර් 2 වැනිදා කීවේ සැබැවින්ම වෙනම කතාවකි. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව නිදහස් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. වර්තමාන අතීත ප්‍රකාශයන්ගේ පරස්පරතාව බොහෝ දෙනා ප්‍රශ්නය කරන්නට වූයේ මේ අනුවය. කෙසේ වෙතත් අවසානයේ සාක්ෂි නොමැති නිසා බදියුදීන් සහෝදරයා නිදහස් කිරීම මෙම චෝදනාවේ වරද පොලීසිය පිට,ත් ප්‍රකාශයේ වරද මාධ්‍ය ප්‍රකාශක පිටත් තැබීමට ඇතැමුන් උත්සුක වනු දක්නට ලැබුණි. එසේ නමුත් විය යුත්ත නම් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර සත්‍ය ජනතාව හමුවේ තැබීමය. 

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02