2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

කොරෝනා මැද පැවැත්වෙන උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්වය

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය යටතේ වුවද මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් නොදමා නියමිත දිනයන්හි පැවැත්වීම රජය ගත් තීරණයකි. ඒ අනුව ඔක්තෝබර් 11 වැනිදා ඉරිදා (අද) පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයත්, ඔක්තෝබර් 12 වැනිදා, එනම් හෙට සිට නොවැම්බර් හය වැනි දින තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගයත් පැවැත්වීමටත් නියමිතව ඇත.

මෙවර පහ ශ්‍රේණියේ විභාගය සඳහා විභාග අපේක්ෂකයෝ 331,694ක් ඉදිරිපත් වී සිටිති. විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක එය පැවැත්වේ.

එමෙන්ම මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 362,824ක් පෙනී සිටින අතර එය විභාග මධ්‍යස්ථාන 2648ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් යටතේ දිවයින පුරා පැවැත්වේ.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් නියමිත වෙලාවට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසු සිසුවියන්ට දැනුම් දෙයි. කිසි විටෙකත් විභාග මධ්‍යස්ථාන තුළට මව්පියන්ට හෝ බාහිර පාර්ශ්වයකට ඇතුළු විය නොහැකි අතර විවේක කාලයේදී වුවද විභාග මධ්‍යස්ථානවලට ඔවුන්ට ඇතුළු විය නොහැකි බවද ප්‍රකාශ කර තිබේ.

“දැනටමත් මෙම විභාග දෙවතාවක් කල් දමා තිබෙනවා. එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව එකසිය හැටක් පමණයි. ඒ නිසා සියලු සාධක බොහොම පරිස්සමින් සලකා බලා මෙම විභාග නියමිත පරිදි පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව දරුවන්ගේ සහ විභාග කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. මීට අමතරව මෙම කර්තව්‍ය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, යුද හමුදාව, පොලීසිය මෙන්ම සෞඛ්‍ය අංශයෙන් ද උපරිම සහයෝගයක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වැඩි අවධානයක් ගම්පහ දිස්ත්‍රික්කය වෙත යොමු කරලීමට රජය තීරණය කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කය තුළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට නිසි සනීපාරක්ෂක ක්‍රම උපයෝගී කර ගනිමින් විභාගය පවත්වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කවලින් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත විභාගයට පෙනී සිටීම සඳහා ගමන් කරන විභාග අපේක්ෂකයන් වෙනුවෙන් අමතර බස්රථ සේවාවක් ලබාදෙන බවත් වෙනත් දිස්ත්‍රික්කවල සිට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පැමිණෙන විභාග අපේක්ෂකයන් සඳහා ගමනාගමන මණ්ඩලයේ සහයෝගය ඇතිව අවශ්‍ය පහසුකම් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායනයට ලක්වී සිටින විභාග අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන පිළියෙල කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙවන් අදහසක් පළ කළේය.

“විභාග පැවැත්වීමේදී එයට මුහුණදෙන දරුවන්ගේ මානසිකත්වය සලකමින් ඔවුන්ට නිදහසේ විභාගය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීමට අපි කැමැත්ත පළ කළා.”

සෑම විභාග මධ්‍යස්ථානයකම පිහිටුවා ඇති පාසල්වල විදුහල්පතිවරුන් මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අතිරේක සාමාන්‍යාධිකාරීවරයකු වශයෙන් පත්කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
සෑම විභාග මධ්‍යස්ථානයකම විෂබීජහරණය, දුරස්ථභාවය මෙන්ම මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02