2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

රටම බලා සිටින විස්සේ තීන්දුව

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

අලුත් ආණ්ඩුවේ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමත් සමඟ එහි ජනාධිපතිවරයාට යළි අසීමිත බලතල පැවරෙන වගන්ති අතුළු රටට අහිතකර වගන්ති රුසක් ඇතැයිද, ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදනද බලවත් ලෙස උල්ලංඝනය වන්නේ යැයිද පවසමින් එය අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39ක් ගොනු කොට තිබිණි. ගැටලු සහගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම කෙටුම්පතේ 5 වැනි, 6 වැනි  9 (1) වැනි, 14 වැනි, 16 වැනි, 25 වැනි, 32, 33, 34, 35, 36 37, 38 යන වගන්ති හා 40 වැනි වගන්ති අහිතකර බව එම පෙත්සම් මගින් චෝදනා කර තිබිණි.

20 වැනි සංශෝධන කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු මතුවූ විරෝධතා හේතුවෙන්  තව දුරටත් ඒ පිළිබඳව විමසා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළේය.  එම කමිටුව 20වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අඩුපාඩු හා අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳ වාර්තාවක් සැප්තැම්බර් 15 දින අගමැතිවරයා වෙත ලබා දී තිබිණි. එහෙත් එම කරුණු පිළිබඳව අවධානයක් නොගෙන සැප්තැම්බර් 22 දින අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තා සමාජගත නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදියකු අගමැතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවක ඔහු ප්‍රකාශ කළේ එය තමාගේ දැන ගැනීම සඳහා ලබා දුන් පත්‍රිකාවක් බවත් අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කෙරෙනු ඇති බවත්ය. 

ඉදිරිපත් වූ පෙත්සම් පසුගිය සැප්තැම්බර් 29 දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ  කැඳවන ලද අතර 20 වැනි පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපති දප්පුල ලිවේරා එහිදී විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතැම් වගන්ති සංශෝධනය කිරීමටත් නව වගන්ති හඳුන්වාදීමටත් පියවර ගන්නා බව නීතිපතිවරයා වැඩි දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය. 

පෙත්සම් විභාගය සිව් දිනක් පුරා පැවති අතර එහි වාචික දේශන ඔක්තෝබර් 05 දින අවසන් විය. නීතිපති දප්පුල ද ලිවේරා මහතා එදින අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතේ අන්තර්ගත සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි. 19 වැනි සංශෝධනයෙන් අහිමි කෙරුණු ජනාධිපති සතු මුක්තිය යළි 20 වැනි සංශෝධනයට ඇතුළත් කිරීම මගින් බාධාවකින් තොරව තම විධායක බලය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට හැකිවන බවද, එමගින් අධිකරණය සතු බලතල කිසිදු ලෙසකින් අවම නොවන බවද ඔහු කියා සිටියේය. 

පාර්ලිමේන්තුව තේරී පත්ව වසරක් ගෙවි ගිය පසු එය විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීමට 20 වැනි සංශෝධනයෙන් යෝජනා වී තිබුණද  කාරක සභා අවස්ථාව් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට යෝජිත සංශෝධනය මගින් ‘වසර දෙකහමාරක් ගතවීමෙන් පසුව‘ විසුරුවා හැරීමට බලය පැවරෙන පරිදි වෙනස් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. එය වසරකින් විසුරුවා හැරීමේ බලතල ලබා දීමට යෝජනා වූයේ පාර්ලිමේන්තුව අස්ථාවරවී ඇති අවස්ථාවක මුළු රටම ව්‍යාකූලභාවයට පත්වීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස යැයි ද ඔහු කියා සිටියේය.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ඇති විරෝධතා සම්බන්ධයෙන් සඳහන් කළ නීතිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය කිසියම් පුරවැසියකුට ලබා දෙන්නේ රටට යම් සේවයක් ලබාගැනීමේ අරමුණින් විෂය භාර ඇමැතිවරයාගේ අභිමතය අනුව යැයිද එවැනි සේවයක් නොලැබෙන්නේ නම් එය අහෝසි කළ හැකි බවද එහෙයින් එම වගන්තිය ඉවත් කිරීම ගැටලුවක් නොවන බවද කියා සිටියේය. ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හා මහ මැතිවරණවලට ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම ජනතා පරාමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් නොවන බවද ද්විත්ව පුරවැසියන්ද ශ්‍රී ලාංකික පුරවැසියන් හෙයින් ඔවුන්ට වෙනස් අයුරකින් සැලකීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසීය. විසිවැනි සංශෝධන කෙටුම්පත මගින් ජාතික විගණන කමිටුව ඉවත් කිරීමට ගෙන ඇති යෝජනාව කෙලෙස බලපාන්නේ දැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විගණන කමිටුවේ නිර්නායක අනුව කටයුතු කිරීමට බැඳී සිටින හෙයින් එය ඉවත් කිරීමෙන් කිසිදු බලපෑමක් හෝ අක්‍රමිකතාවක් ඇති නොවන බවයි. පොලිස් කොමිසම ඉවත් කෙරෙන අතර එය සතුව තිබූ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරෙන හෙයින් පොලිසියේ අකටයුතුකම් පිළිබඳව එම කොමිසමට පැමිණිලි කළ හැකියැයි ද ඔහු පැවසීය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව හිමිවන බවට පෙත්සම්කරුවන් චෝදනා කර තිබිණි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අදහස් දැක්වූ නීතිපතිවරයා ආපදා, වසංගත වැනි හදිසි තත්ත්වයක් මතු වූ විටෙක මහජන යහපත උදෙසා පමණක් හදිසි කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි බව කියා සිටියේය. හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ව්‍යවස්ථාවට හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධන මෙම හදිසි ක්‍රමවේදය යටතේ ඉදිරිපත් නොකරන බවද පැවසූ නීතිපතිවරයා මෙම පනත් කෙටුම්පතේ ඇති වගන්ති කිසිවක් ජනමත විචාරණයක් තුළින් අනුමත කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද එය පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් සම්මත කරගත හැකි බවද ප්‍රකාශ කළේය.

ඒ අනුව පෙත්සම් විභාගයට අදාළ සියලු වාචික දේශන ඔක්තෝබර් 5 දින අවසන් විය. මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන තිබේනම් ඒවා ඔක්තෝබර් 6 දින සවස 3ට පෙර ගොනු කිරීමට කිරීමට නියෝග කෙරිණි.  ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීන්දුව ඉදිරි දිනකදී ජනාධිපතිවරයාට හා කතානායකවරයාට ලබා දෙන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා  විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ හා විපක්ෂව විවිධ මත ප්‍රකාශ වෙමින් තිබේ. තමන් තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කරගන්නා බවත් තමන්ට හිතවත් තවත් පක්ෂ ඒ සඳහා එක්වන බවත් රජයේ මැති ඇමතිවරු ප්‍රකාශ කරති. විපක්ෂය මෙය රටට අහිකර බලපෑම් ඇති කරන්නක් බවට චෝදනා කරයි. මේ අතර ජාතික නිදහස් පෙරමුණ අගමැතිවරයා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ 20 වැනි ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රබල මහජන විරෝධයක් ගොඩ නැඟී ඇති අවස්ථාවක එහි ඇතුළත් වැරදි නිවැරදි කළ යුතු බවත් ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම තම පක්ෂය බාර නොගන්නා බවත්ය. එම පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේ ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අන්තර්ගත නොවීම සම්බන්ධයෙන් තම කනගාටුව ප්‍රකාශ කරමින් අගමැතිවරයා වෙත යවා ඇති එම ලිපියේ. ජාතික නිදහස් පෙරමුණේ නායකයා විසින් සංශෝධනය කළ යුතු බවට වන වගන්ති තුනක් සඳහන් කර ඇති අතර ඒවා ඉතා තීරණාත්මක බවද එහි සඳහන්ය. 1. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ ලියාපදිංචි කර ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම, 2. මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම, 3. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලටද පැවරීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම රටට අහිතකර වන බැවින් එම වැරදි නිවැරදි කරන ලෙසට එම ලිපියෙන් ඉල්ලා තිබේ.

මහජන පරමාධිපත්‍යයට ගරුකරන මන්ත්‍රීවරයකුට හෘදය සාක්ෂියට එකඟව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දිය හැකිද යන්න පිළිබඳව තමාට බරපතළ ගැටලුවක් මතුව ඇතැයි  ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. 19 වැනි සංශෝධනය සඳහා මතභේදයට හෝ මහජන විරෝධයට හෝ භාජනය නොවන පරිදි සුළු සංශෝධන කළ හැකිව තිබියදී රටතුළ ආන්දෝලනයක් ඇති කරමින් ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුවේ පිරිහීමට හා පාක්ෂිකයන්ගේ අපේක්ෂා සුන්වීමට ඉඩ ඇතැයි ඔහු එහි සඳහන් කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා