2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

මැතිසබයේ කරණම් කතා

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන් සම්බන්ධයෙන් රටේ මහජනතාවට ඇත්තේ අසතුටකි. කිසිදු අයකු ලේසියට හොඳ කියන්නේ නැත. බොහෝ දෙනකු හැම මොහොතකම දේශපාලනඥයන්ගේ පතුරු යවන අතර තවත් පිරිසක් අපෝ ඔය ගැන කතා කරන්න එපා* යැයි කියමින් මගහරිති. ඒ තරම් රටේ දේශපාලනයත්, දේශපාලනඥයන් ගැනත් මහජනතාවට ඇත්තේ අප්‍රසන්න හැඟීමකි.

කෙසේ වෙතත් වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වයත් සමඟ බහුතරයක් පසුවන්නේ දේශපාලනඥයන් කෙරෙහි ගෞරවයකින් නොවේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේම පක්ෂ මාරු කිරීමය. මෙකී මාරුකිරීම් පිළිබඳව ජනතාව අතරත්, පක්ෂ අතරත් විවිධ අර්ථකථන ඇත. බොහෝ දෙනකු පවසන්නේ මුදල්, තනතුරු, තාන්න මාන්න හේතුවෙන් මෙම පක්ෂ මාරු කරන බවය. තවත් අය පවසන්නේ නඩුහබවලින් බේරෙන්නට පක්ෂ මාරු කරන බවය. සමහරුන් තාන්න මාන්න ලබාගැනීමේ අරමුණින් පක්ෂ මාරු කරන බව තවත් අය කියති. එහෙත් මේවා එහෙන් මෙහෙන් ඇහෙන කතා මිස සත්‍ය වශයෙන්ම ඇහෙන කතා නොවේ. නමුත් පනින පැනිලි අනුව මේ කතා එක් පැත්තකින් බොරු යැයි කීමට ද අපහසුය. එහෙත් ඇත්ත දන්නේ ඔවුන්ම පමණි.

මෑත ඉතිහාසයේ ලංකා දේශපාලනයේ වැඩිපුර කතාබහට ලක්‌වන මාතෘකාවක්‌ වන්නේ පිල් මාරු කිරීමය. මේ පිල් මාරුකිරීම නිසා සිදුවූ බොහෝ දේ සාමාන්‍ය ඡන්දදායකයාට මැජික්‌ විය. එමෙන්ම ඇතැම් රජයන් බිඳවැටෙන්නටද %පිල් මාරුව^ හේතු වී ඇති බව මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි කරගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ මන්ත්‍රීවරුන් පක්‍ෂ මාරුකිරීම ඉතා දුර්ලභ ප්‍රවණතාවකි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද්විපාක්‍ෂික ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ සදාචාරාත්මක පිළිවෙත් අනුගමනය කිරීම යැයි විශ්වාස කළ හැකිය. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස හැඳින්වෙන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ මැතිවරණ ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත වූයේ ක්‍රමක්‍රමයෙනි. මීට වසර 60කට පමණ පෙර ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන්හි පක්‍ෂ මාරුකිරීම බහුල ලෙස දැකිය හැකි විය.

බොහෝ රටවල මන්ත්‍රීවරුන්ට හිතට එකඟව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පක්‍ෂවලට ඡන්දය දීමට අවස්‌ථාව ලැබෙයි. එසේ නොලැබෙන්නේ මුදල් පනත්වලදී පමණි. සාමාන්‍ය පනතකින් රජය පරාජය වුවහොත් පනත හකුලාගන්නවා හැර රජයට ඉල්ලා අස්‌වීමට සිදු නොවේ. එහෙත් මුදල් පනතක්‌ පාර්ලිමේන්තුවේදී පරාජය වුවහොත් එකී රජය ඉල්ලා අස්‌විය යුතු වේ. අපේ රටේ පාර්ලිමේන්තුවේ පනත් සම්මත වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් පිල් මාරු කරගෙන ඇති බව පෙනෙන්නට ඇත.
ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු මන්ත්‍රීධූර 145ට අමතරව ආණ්ඩුවට සහාය දෙන පක්ෂවල මන්ත්‍රීවරුන්ද එක්වූ විට ආණ්ඩුවට මන්ත්‍රීධූර 150ක් හිමි විය. එහෙත් මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පත්වීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 149ක් බවට පත් විය. යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 කින් සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයට විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ සහාය අවශ්‍ය වනු ඇත. කෙසේවෙතත් මෙරට ජාතික දේශපාලනයේ ආරංචිමාර්ගවලට අනුව නුදුරේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්ඩු පක්ෂයේ අසුන්ගැනීමට නියමිත බව පැවසේ.

ජාතික දේශපාලනය තුළ පැතිරී යන මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා දේශයේ අපි පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළෙමු.

දමිළ මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වෙන්නෙ නෑ

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිධාර්ථන්

වත්මන් ආණ්ඩුව ගෙන එන මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි කිසිසේත්ම සහාය දක්වන්නේ නැහැ. ඇත්තටම මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය මගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමක් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි 19 වැනි ව්‍යවස්ථාවේ තිබුණු සාධනීය කරුණු රුසක් මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමි කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාසයෙන් කියනවා අපි කවුරුත් මේ ආණ්ඩුවට සහාය දෙන්නෙත් නැහැ මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඒ වගේම කිසිම දමිළ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්වන්නෙත් නැහැ.

අපි දැඩිව විරුද්ධයි

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

&19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබුණු කරුණු රාශියක් අහෝසි කරලා ආණ්ඩුව ගෙන එන මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි දැඩි ලෙස විරුද්ධ වෙනවා. අපි විපක්ෂය ලෙස කිසිවිටෙකත් එයට සහාය දක්වන්නේ නැහැ. රට ඒකාධිපති පාලනයකට යන එක තමයි මේ මගින් වෙන්නේ. ඒ වගේම ජනතාවට කිසිම සෙතක් වෙන්නේ නැහැ. දැන් සමහර මාධ්‍යවල මෙන්ම හැමදෙනාම කතා වෙනවා විපක්ෂයේ සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය දෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනයට. නමුත් මම කියන්න කැමැතියි කිසිවිටෙකත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය එවැනි දෙයක් සිදු කරන්නේ නැහැ.

සුළු පක්ෂ සහායක් නෑ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම්

විපක්ෂයේ සිටින සුළු පක්ෂ කිසිවක් මෙම ආණ්ඩුව ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වෙන්නේ නැහැ වගේම සහාය දක්වන්නේ නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව තමන්ගේ හිතුමතයට තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන්නේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ විශාල වෙනසක් ඇතිවුණා. නමුත් දැන් රට නැවත ආපස්සට හැරවීමක් තමයි සිදු කරන්නේ මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත්. ආණ්ඩුව මේ නව ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන්න කලින් පක්ෂයක් ලෙස අපගේ මතය විමසීමක් සිදු කළෙත් නැහැ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කිසිවෙක් මේ ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්න ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නැහැ. ඒ වගේම සහාය ලබා දෙන්නෙත් නැහැ.

විපක්ෂයේ කිහිප දෙනෙක් යන කතාව බොරු

සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා

ආණ්ඩුවට මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න 2/3ක් ගන්න බැහැ කියලා අපි මුල ඉඳන්ම කිව්වා. දැන් ඒක පේන්න තියෙනවා අපේ ඇස් ඉදිරිපිටම. ඒ වගේම මේ ආණ්ඩුව දැන් ගෙන යන මතය තමයි විපක්ෂයෙන් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ආණ්ඩුවට සහාය දක්වන්න යනවා කියලා. ඒක පදනම් විරහිත ප්‍රකාශයක් කියලා අපි කියන්න ඕන. මොකද අපේ විපක්ෂය නියෝජනය කරන කිසිම කෙනෙක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දක්වන්නේ නැහැ. අපි මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙන යන මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. විපක්ෂයෙන් ආණ්ඩුවට එන අය කෙසේවෙතත් මේ ආණ්ඩුව ගැන කලකිරුණු බොහෝ දෙනෙක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඒක පැහැදිලියි.

එන්නේ නෑ කියන අය ඡන්දය දවසට බලාගන්න පුළුවන්

තේනුක විදානගමගේ -  ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබුණු කාලයේ රටට මොකද වුණේ කියලා කවුරුත් දන්නවා. රටේ ත්‍රස්තවාදී බිය නැතිවෙලා අවුරුදු 10ක්. මේ රටේ මිනිස්සු නිදහසේ ඉද්දි හිතුවෙවත් නැති මොහොතක බෝම්බ පත්තුවෙලා නැවත මේ රටට ත්‍රස්ත බියක් දැනුණේ ඔය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණු කාලයේ. අපි මේ රට බාරගන්නකොටම කිව්වේ මේ විකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කියලා. අපිට දැන් ඒකට ආණ්ඩු බලය ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකුත් අපිට සහාය දක්වනවා. ඔය කවුරු එන්නේ නැහැ කිව්වත් ඡන්දය තියෙන දවසට පාර්ලිමේන්තුවේ බලාගන්න පුළුවන්.

සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02