2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

එංගලන්තයේ පන්සලක් වූ පල්ලිය

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 367

එංගලන්තයේ නිව්කාසල්හි, හෙබන් නගරයේ ඇති පිහිටා ඇති තායි ධම්මකාය බෞද්ධ භාවනා මධ්‍යස්ථානය එරට වෙසෙන භාවනායෝගීන්ගේ මනසික සුවය පිණිස පිහිටුවා ඇති ආයතනයකි. “ඕනෑම ජාතියකට, වයස් කාණ්ඩයකටම හා ඇදහිල්ලකට අයත් පුද්ගලයන් අභ්‍යන්තර සාමය සහ සතුට සොයා යෑම පොදු දෙයක්  වන නමුදු ඔවුන්ගෙන් වැඩි පිරිසකට සැබෑ සතුට සොයාගත නොහැකි බැවින් මෙනෙහි කිරීමෙන් අභ්‍යන්තර සතුට හා මනසේ සාමය සොයා ගැනීමට මඟ පෙන්වීම තම භාවනා මධ්‍යස්ථානයේ අරමුණ යැ”යි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. 

මෙම භාවනා මධ්‍යස්ථානයේ සුවිශේෂීත්වයක් ඇත. ඒ එය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කලකට ඉහත ප්‍රෙස්බිටේරියානු දේවස්ථානයක් ලෙස පැවතීමය. එංගලන්තයේ හෙබර්න් නගරයේ වසර 150කට අධික කාලයක් සාන්ත ඇන්ඩෘ දේවස්ථානය ලෙස ප්‍රෙස්බිටීරියානු කිතුනුවන්ගේ වැඳුම් පිදුම්වලට පාත්‍ර වූ එම ස්ථානය මින් වසර කිහිපයකට ඉහත තායිලන්ත භික්ෂූන් විසින් මිලට ගෙන පවුම් 500,000ක් වැය කොට අලුත්වැඩියා කොට භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ. එම දේවස්ථාන ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 1872 වසරේ හෙවත් වික්ටෝරියානු යුගයේය. හෙබර්න් හි වාසය කළ ප්‍රෙස්බිටේරියානු ස්කොට්ලන්ත ජාතිකයන්ට හට වැඳුම් පිදුම් කිරීම  සඳහා ලන්ඩනයේ “හොතෝන් ලෙස්ලි” නැව් තටාකාංගනයේ හිමිකරු වූ ඇන්ඩ_ ලෙස්ලි නමැති ධනවතා විසින් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ගොතික් ශෛලියේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව මෙය ඉදිකරවා තිබේ. එහෙයින් එම දෙව්මැඳුර ඔහුගේ නාම සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා සාන්ත ඇන්ඩ_ දෙව්මැඳුර ලෙස නම් කෙරිණි. 

මෙම දෙව්මැඳුරේ ගෘහනිර්මාණ ශිල්පියා වූයේ ආර්. ජේ. ජොන්සන් නමැති ගෘහ නිර්මාණ ශිල්පියෙකි. හෙබර්න් ගං ඉවුර ආසන්නයේ පිහිටි දේවස්ථානය සහ  පාසල් ගොඩනැගිල්ල මෑතක් වන තුරැම දකුණු ටයිනසයිඩ් කවුන්සිලයට අයත් විය. පරිපාලනය පිරිහීම හේතුවෙන් කලකට ඉහත දෙව්මැඳුර වසා දැමිණි. කලක් භාවිතයට නොගැනීම මත අභාවයට යමින් තිබූ ගොඩනැගිල්ල පසුව වෙන්දේසි කෙරිණි. එහිදී දෙව්මැඳුර පවුම් 150,000 කටද, පාසල් ශාලාව පවුම් 100,000 කටද අලෙවි විය. තායි ධම්මකාය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට එහි අයිතිය හිමි විය. 

මෙම දෙව්මැඳුරේ ඉදිරිපස ඔරලෝසු කණුව සහිත කොටස අඩි 190 ක පමණ උසකින් යුතුවේ. භාවනා මධ්‍යස්ථානයේ පාලක හිමිනම වන සැන්දර් ඛේමාධම්මෝ හිමියන් සඳහන් කරන පරිදි මෙම ගොඩනැගිල්ලේ පෞරාණික භාවය සුරැකෙන අයුරින් එහි අලුත්වැඩියා කටයුතු සිදු කර තිබේ. දෙව්මැඳුරට ආලෝකය ලැබෙන ලෙස තනා ඇති කුඩා කවුළුවල ඇති කිතුණු ලක්ෂණ සහිත වීදුරු (stained glass) වෙනුවට බුද්ධ චරිතයේ විකාශය දැක්වෙන වීදුරු යොදා තිබේ. 

ජාති, ආගම් භේදයකින් තොරව බොහෝ පිරිස් භාවනා කිරීමට සහ වෙනත් විවිධ බෞද්ධ වැඩසටහන් සඳහා මෙම බෞද්ධ මධ්‍යස්ථානය කරා පැමිණෙති. මෙම භාවනා මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එංගලන්තයේ වාසය කරන තායි ප්‍රජාව ඇදී එන අතර එය පවත්වාගෙන යාම සඳහා විශාල වශයෙන් උපකාර කරනුයේද ඔවුන්ය. එම ප්‍රදේශයේ වෙසෙන බොහෝ සුදු ජාතිකයන්ද මානසික සුවය පතා එහි පැමිණෙන බැව් සැන්දර් ඛේමාධම්මෝ හිමියෝ සඳහන් කරති. විශේෂයෙන් තරැණ පිරිස මෙම ස්ථානයට පැමිණ භාවනා කිරීමට හා බුදු දහම අධ්‍යයනය කිරීමට පෙළඹී සිටිති. දිනපතා උදෑසන හා සවස්යාමයේ භාවනා පන්ති සහ බෞද්ධ පින්කම් පැවැත්වෙන අතර දසක ගණනක් පුරා ක්‍රිස්තියානි ගීතිකා ඇසුණු මෙම ස්ථානයෙන් දැන් ඇසෙන්නේ පිරිත් සජ්ඣායනා හඬය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා