2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

එළවළු - පළතුරු හොරෙන් රටට ගේනවද?

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

රටේ අත්‍යවශ්‍ය ඇතැම් ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කිරීම තහනම් කර තිබෙන අවස්ථාවක විධිමත් සහ අවිධිමත් ක්‍රම මගින් එළවළු සහ පළතුරු වර්ග මෙරටට ආනයනය කිරීම තවමත් නැවතී නැතැයි ෙචා්දනා නැෙග්. තමා නිෂ්පාදනය කරන එළවළුවලට රට තුළ සාධාරණ මිලක් නොලැබෙන වකවානුවක එළවළු පිටරටින් ෙගන්වන්නේ නම් ගොවියා තවදුරටත් අසරණවීම නොවැළැක්විය හැක්කකි. අපේ සංචාරක හෝටල් සඳහා සංචාරකයන් රචි කරන සමහර එළවළු සහ පළතුරු වර්ග ආනයනය කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එයට හේතුව ඔවුන් වැඩිපුර රුචි කරන ප්‍රමිතියෙන් යුතු එළවළු සහ පළතුරු ඔවුන්ට දේශීයව සැපයීමට හෝටල්කරුවන් අපොහොසත් වීමය. එසේ වුවද සංචාරකයන් සඳහා අවශ්‍ය වන එළවළු සහ පළතුරු වර්ග විශේෂයෙන් වගාකිරීම කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය මෙතෙක් යොමුව නැතිවීම අවාසනාවකි.

මෙරටට ආනයනය කරන එළවළු සහ පළතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන අංශය මගින් පරීක්ෂා කර සහතික කළ යුතුය. එහිදී ඒවා පිළිබඳ නිසි පරීක්ෂණ කර සහතික කර ගැනීම අවශ්‍ය වන්නේ ඒ මගින් රෝගකාරක ජීවීන් හෝ වෙනත් විෂ පැළෑටි වර්ග ආදිය රට තුළට නොපැමිණීම සහතික කිරීම සඳහාය. එසේ වුවද පසුගිය කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විධිමත්ව ආනයනය කිරීමට අමතරව ඇතැම් කුප්‍රකට ව්‍යාපාරිකයන් විසින් විවිධ ක්‍රම මගින් එළවළු සහ පළතුරු වර්ග රට තුළට ගෙන ඒමට කටයුතු කළ බව වාර්තා විය. මෙම අවිධිමත් ක්‍රියා පිටුපස යම් ප්‍රබල ව්‍යාපාරික පිරිස් සහ ඔවුන් මෙහෙයවන යම් දේශපාලක කණ්ඩායම් ඇති බවට සැක පහළ වී ඇත. මේ නිසා අපේ කෘෂිභෝග සඳහා විවිධ පලිබෝධ හා රෝග පැතිරීමට ඉඩ ඇති අතර, අපේ ගොවියාගේ ආදායම් මාර්ගවලටද අහිතකරව බලපාන බව පෙනෙන්නට තිබේ. අපේ නිෂ්පාදන සඳහා ද ගොවියාට රට තුළ නිසි වෙළෙඳපොළක් නොමැතිව තිබියදී ආනයනය කරන එළවළු සහ පළතුරු රටට පැමිණියහොත් ගොවියා තවත් අසරණභාවයට පත්වෙනවා ඇත. රටේ නිෂ්පාදන නිසි පරිදි කළමනාකරණය කර බෙදාහැරීමට හැකි නම් මෙවැනි ගැටලු පැනනගින්නේ නැත.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව පෙනී යන්නේ 2018 වසරට සාපේක්ෂව 2019 දී එළවළු වගාවේ වර්ධනය සියයට 2.5කින් පහළ වැටී ඇති බවය. 2018 දී සියයට 4.00ක්ව පැවැති වර්ධනය 2019 දී සියයට 1.5 දක්වා පහත වැටී ඇති බව වාර්තා වී ඇත. නිෂ්පාදන ප්‍රමාණය ගැන සලකා බලන විට 2018 දී මෙට්‍රික් ටොන් 1,698,698ක්වූ අතර 2019 වන විට මෙට්‍රික් ටොන් 1,497,733 දක්වා සියයට 11.8කින් පහත වැටී තිබේ. එසේම 2019 වසරේදී එළවළු සහ කුළුබඩු ආනයනය සියයට 2.2කින් වර්ධනය වී ඇති බව පැවසේ. ඒ අනුව අපට පෙනී යන්නේ ආනයන කොතරම් පහළ දැමීමට උත්සාහ කළද මෙරට තුළ පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි එළවළු සහ කුළුබඩු ආනයනය අඩුවීම වෙනුවට වැඩි වී ඇති බවය.

මෙම වාතාවරණය තුළ මෙම ද්‍රව්‍ය රට තුළට ආනයනය කිරීම අඩුකිරීමට වගකිවයුත්තන් ක්‍රියා කළ යුතු බව කිව යුතුය. පසුගිය දිනවල සිදුවූ අනාවරණයන් අනුව විධිමත් ආකාරයෙන් මෙන්ම අවිධිමත් ලෙස අපේ රටට මේවා පැමිණෙන බව සොයාගෙන තිබේ. ඇතැම් අවස්ථාවල ප්‍රති අපනයනයට මුවා වීද විදේශවලින් ආනයනය කිරීමට පෙළඹී ඇති බව කිව යුතුය. මේ නිසා විදේශ විනිමය නාස්තිවීම හැර දේශීය නිෂ්පාදකයාගේ ආදායම් මාර්ගද ඇහිරෙන බව කිව යුතුය.
එළවළු වගාවට නිසි ඉලක්කයක් ඕනෑ

බුද්ධි මාරඹේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

අපේ රටේ දැනටමත් විවිධ අවස්ථාවල එළවළු ආනයනය කරනවා. එය තවම නවත්වලා නැහැ. විශේෂයෙන් සංචාරක හෝටල් සඳහා විවිධ එළවළු වර්ග ආනයනය කරනවා. එසේම සුවිශේෂ උත්සව සඳහා ද එළවළු සහ එළවළු ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සිදුවෙනවා. ඒ හැර සෙසු අවශ්‍යතා සඳහා එළවළු මෙරටට ගෙන්විය යුතු නැහැ. මෙරටට ආනයනය කරන එළවළු ආනයනය කෙරෙනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති ශාක නිරෝධායන අංශයේ සුපරීක්ෂාව ඔස්සේයි. එසේ කරන්නේ එළවළු සමඟ විෂබීජ වර්ග සහ රෝගකාරක මෙරටට ඒම වැළැක්වීමටයි. එසේම එලෙස ගෙන්වන එළවළුවල ප්‍රමිතිය ගැන ද බලනවා.

කෙසේ වුවත් පිටරටින් ගෙන්වන එළවළු නවත්වන්න නම් එම තත්ත්වයේ එළවළු අපේ රටේ වගා කරලා නැවුම් ලෙස සංචාරකයන්ට ලබාදිය යුතුයි. එහෙත් එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබඳ දැනුවත් වී නැහැ. අපේ වගා රටාවේ අඩුලුහුඬුකම් පවතිනවා. එළවළු ලැබෙන්නේ විවිධ අවස්ථාවලයි. එළවළු අවශ්‍ය වූ කාලවල දැඩි හිඟ ඇතිවෙනවා. ඒ පිළිබඳ සැලසුමක් නැහැ. වසරේ මුළු කාලයේම අඛණ්ඩව වගා කළ හැකි දේ තියෙනවා. විශේෂයෙන් පලා වර්ග වැනි දේවල් ඕනෑම කාලයක වගා කළ හැකියි. ජලය රඳන්නේ නැති භූමිවලද වගා කරන්න පුළුවන්. ඒ නිසා කිසිදු කන්නයක් පිළිබඳ නොසලකා මුළු වසර තුළම හදන්න හැකියි. කොළ එළවළු අධික ලෙස පාරිභෝගික ඉල්ලුම තියෙන බෝගයක්. මෙවැනි කොළ එළවළුවලට සංචාරකයන් කැමැතියි. ඒවා නිසි ලෙස වගා කරලා සංචාරක හෝටල්වලට සැපයිය හැකි නම් ඔවුන් සඳහා වුවත් ආනයනය කළ යුතු නැහැ. සංචාරක හෝටල්වලට ඉල්ලන භෝග වර්ග වගාකර සැපයීමේ ක්‍රියාමාර්ගයක් තිබිය යුතු වෙනවා.

රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් ආනයනය නොකරන්න. එසේ නම් එම තීරණය එළවළුවලටද වලංගු විය යුතු වෙනවා. එසේ වුවත් අත්‍යවශ්‍යම අවස්ථාවලදී පමණක් සංචාරක හෝටල්වලට එළවළු ආනයනය කර සැපයීමේ වරදක් මා දකින්නේ නැහැ. එයට හේතුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් නිසා. අපට නිසි ප්‍රමිතියට ඉල්ලුම දීමට නොහැකි නම් සුවිශේෂ අවස්ථාවක් ලෙස සලකලා නැවුම් බවින් යුතු එළවළු ආනයනය කර සපයන්න සිදුවෙනවා. විජලනය කළ එළවළු වර්ග ආනයනය කරනවා.

කෙසේ වුවද එළවළු හොර පාරෙන් මෙරටට එනවා කියලා නිශ්චිතව කියන්නට සාක්ෂි ලැබී නැහැ. එහෙත් එලෙස ගෙන එන බවට විවිධ අවස්ථාවල ආරංචි තිබෙනවා. අප විශේෂයෙන් සලකා බැලිය යුත්තේ රටේ නිපදවන එළවළු රට තුළ විධිමත්ව බෙදාහැරීමේ ක්‍රමයක් පිළිබඳවයි. එයද හරි හැටි සිදුනොවන අවස්ථාවක සංචාරකයන්ට අවශ්‍ය එළවළු සපයන්නේ කෙසේද? රටේ ඒ කොනේ සිට මේ කොනට එළවළු එන්නේ නැහැ. එළවළු නිෂ්පාදනය අධික කාලවල ඒ ප්‍රදේශවල කුණුකොල්ලයට ගියත් රටේ අනිත් පළාත්වල පාරිභෝගිකයාට මිලට ගන්න සිදුවී ඇත්තේ ඉහළ මිලටයි. පසුගිය දිනවල වට්ටක්කාවලට අත්වූ ඉරණම මෙයට හොඳ උදාහරණයක්. නිසි කළමනාකරණයක් නැතිකමින් අස්වැන්න අපතේ යනවා. නාස්ති වෙනවා. මිල ඉහළ යනවා. ලාභ ලබන්නේ අතරුමැදියායි. මෙම තත්ත්වය වෙනස් කළ යුතු වෙනවා.

එසේම මෙරටට එන විදේශ සංචාරකයන් ඉල්ලන්නේ මොන එළවළු වර්ගද කියා සොයා බලලා ඒවා නිෂ්පාදනය කර සංචාරක හෝටලවලට සපයනවා නම් ආනයනය කළ යුතු වන්නේ නැහැ. වගකිවයුතු අය ඒ පිළිබඳ ගවේෂණයක යෙදිය යුතුයි. නිදැල්ලේ වගා නොකර යම් විධිමත් ඉලක්කයක් තුළ සියල්ල ගොනුකළ හැකි නම් යහපත් ප්‍රතිඵල ලැබේවි.

තරු හෝටල් වලට පිටරටින් ගේනවා

මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ

මේ රටේ ගොවියා තමා එළවළු නිෂ්පාදකයා වෙන්නේ. රටේ නිපදවන එළවළු හරි හැටියට පාරිභෝගිකයාට ලැබෙනවා නම් එයින් ගොවියාට සාධාරණ ආදායමක් ලබාගත හැකි අතර අපේ පාරිභෝගිකයාටද සාධාරණ මිලකට එළවළු ලබාගන්න පුළුවන් වෙනවා. එළවළු ගොවියා නිෂ්පාදනය කළාට ඒවා වෙළෙඳපොළට ප්‍රවාහනයට සහ පාරිභෝගිකයා වෙත නිසියාකාරව යාම සඳහා යම් විධිමත් ක්‍රියාමාර්ගයක් රජය මගින් ගත යුතුයි. එහෙම අදාළ යුතුකම් සහ වගකීම් ඉටුනොකර එළවළු හිඟයක් ගැන ප්‍රචාරය කරලා ආනයනය කිරීම අනුමත කළ නොහැකියි. අපට ද මේ පිළිබඳ යම් යම් ආරංචි තිබෙන නමුත් හරියටම නිශ්චිතව තවම ප්‍රකාශ කරන්න බැහැ.

රජය ආනයනය බොහෝ දුරට සීමාකිරීමට කටයුතු කරන පරිසරයක එළවළු වගේ මෙරට ස්වයංපෝෂිත කළ හැකි ආහාර ද්‍රව්‍ය නිසි පාරෙන් හෝ හොර පාරෙන් රට තුළට එනවා නම් එය රජයේ ප්‍රතිපත්තියට පටහැනියි. සාමාන්‍යයෙන් සංචාරක තරු හෝටල්වලට එළවළු පිටරටින් ගේන බව අප දන්නවා. එහෙත් ඒ හැරුණුවිට රටට එළවළු ආනයනය කරලා වෙළෙඳපොළට නිකුත් කිරීමක් ගැන අපට කියන්නට බැහැ.

කොහොම නමුත් අප ගොවියා ආරක්ෂා කළ යුතුයි. වසරේ වැඩි කාලයක් එළවළු ගොවියාට නිසි ආදායමක් ලැබෙන්නේ නැහැ. අලෙවි කරන්න සිදුවෙලා තියෙන්නේ තුට්ටු දෙකටයි. එවැනි තත්ත්වයක් තුළ හදිසියේ වගේ කලාතුරකින් තමා වැඩි මිලට විකුණන්න අවස්ථාව ලැබෙන්නේ. ඔවුන් වැඩි කාලයක් කුණුකොල්ලයට විකිණූ අලාභය පියවාගන්න තිබෙන්නේ මේ කෙටි කාලයේදී යම් ලාභයක් ලැබීමෙන්. ඒ නිසා ලොකුවට ලාභ ගන්නවා යැයි කියලා හෝ හිඟයක් ඇතැයි චෝදනා කරලා ගොවියා මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා නම් එය අනුමත කළ නොහැකියි. මේ පිළිබඳ අවදියෙන් සිට සියල්ලන්ම ඉදිරි පියවර ගත යුතු වෙනවා.

කිසිම රජයක් එළවළු ගොවියගේ ප්‍රශ්න විසදුවේ නෑ

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

&ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව රුපියල් මිලියන 19,300ක් වටිනා එළවළු මුල් කාර්තුවට විදේශවලින් ගෙනා බව සඳහන් වෙලා තියෙනවා. රටේ එළවළු අතිරික්තයක් තිබියදී මෙලෙස ආනයනය කිරීම නිසා ගැටලු රුසක් ඇතිවෙනවා. දේශීය කර්මාන්ත නගාසිටුවීමට කටයුතු කරන බව කියන ආණ්ඩුව දේශීය ගොවියා වළපල්ලට යැවීමට කටයුතු කරන බවයි පෙනෙන්නේ. අපේ රටේ එළවළු කල්තබා ගන්න ක්‍රම නැහැ. ශීතාගාර පහසුකම් නැහැ. විජලන ක්‍රම නැහැ. ලැබෙන අස්වැන්න සතියකින් දෙකකින් කාලා ඉවර කරන්න බැහැ. එහෙම පාරිභෝජනය නැතිවූ විට ඉතිරිව වළපල්ලට යවන්න වෙනවා. මේ නිසා තමයි එක කාලයකට එළවළු කුණුකොල්ලයට ගිහිල්ලා සතියක් දෙකකින් ගිනි ගණන් යන්නේ.

උදාහරණයක් වශයෙන් කිවහොත් පසුගිය කාලයේ වට්ටක්කා කීයටවත් අලෙවි කරන්න බැරුව කැලෑවට හලලා යන්න ගොවියන්ට සිදුවුණා. ඊළඟට සති දෙකක් යන විට වට්ටක්කා කිලෝව රුපියල් 150ට මිල ඉහළ ගියා. අනිත් එළවළුවලටත් සිදුවන්නේ මේ ඉරණම තමයි. මෙහිදී ගොවියා වගේම පාරිභෝගිකයා අපහසුතාවට පත්වෙනවා. මෙම තත්ත්වය නැති කරන්න කිසිදු ආණ්ඩුවක් කටයුතු කරලා නැහැ. ඒ වෙලාවට මොනවා හෝ කියනවා පමණයි. හැමටම ගැටලුව එහෙමමයි. ගොවියන් කෑගහන්න පටන් ගත්තාම සමහර අය ඇවිත් එළවළු බෙදාහරිනවා කියලා ලොරි කිහිපයකින් කොළඹට ප්‍රවාහනය කරනවා. ඒවා මාධ්‍ය මගින්ද ප්‍රචාරය වෙනවා. ගැටලුව එහෙමමයි. මෙයට ස්ථිරසාර වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. වඳුරන් ගෙවල් හදනවා වගේ ඒ වෙලාවට යමක් කියලා කරලා වැඩක් නැහැ. පැළැස්තර විතරයි.

අස්වැන්න කල්තබා ගන්න නම් ඒවා නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි. අද සිද්ධවෙන්නේ ගොවියාට හිතෙන හිතෙන විදියට වගා කිරීමයි. ඔහු මෙහෙයවන්න, ඔහුට උපදෙස් දෙන්න කවුරුවත් නැහැ. එක් ගොවියෙක් වැටකොළු වගා කරන විට අනිත් සැම දෙනාම වැටකොළු වගාවට බසිනවා. කරවිල වගා කරන්න කවුරුවත් හිතන්නේ නැහැ. එතකොට වෙන්නේ වැටකොළු මිල බසින අතර කරවිල මිල ඉහළ යෑමයි. ගොවියා නියාමනය කරන කෙනෙක් නැහැ. මේ තත්ත්වය මෙසේ තිබියදී හොර පාරෙන් එළවළු පිටරටවලින් මෙරටට එනවා. මේවා සඟවලා ගෙනෙන්න බැහැ. මත්කුඩු ගේනවා වගේ රහසේ ගෙනෙන්න බැහැ. විශාල ප්‍රමාණ වශයෙන් එළිපිටයි ගේන්නේ. බොහෝ විට බෝට්ටු හෝ ඔරු මගින් මුහුදෙන් ගෙනෙනවා ඇති. මේවා සාමාන්‍ය කෙනකුට කළ හැකි දේ නොවෙයි. යම් දේශපාලනඥයෙක් මෙයට සම්බන්ධ විය යුතුයි. 

 යසවර්ධන රුද්රිගු