2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ලංකාවට අහිමිවන ගිනිගත් නැවේ ඩොලර් කෝටි 70 වන්දිය!

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවී ගියද එහි උණුසුම නම් තවමත් අපේ රටේ හොල්මන් කරයි. මැද පෙරදිග සිට ඉන්දියාව දක්වා බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් පැවති නෞකාව සැප්තැම්බර් 3දා ගිනි ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ සංගමන්කන්ද තුඩුවට කි.මී. 60ක් එපිටින් ශ්‍රී ලංකාවට අයිති මුහුදු තීරයේදී ය.

දින කිහිපයක විශාල පරිශ්‍රමයකින් පසු නැවේ ගින්න නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. ඒ සඳහා ගුවන් හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේද සහාය ලැබුණි. මෙම බේරාගැනීමේ මෙහෙයුම නිසා ඩොලර් මිලියන ගණනක් වටිනා තෙල් තොගයත්, එහි නාවිකයන් සහ යාත්‍රාවත් බේරැණු අතර ගින්නට හසුව මියගියේ එක් නාවිකයකු පමණි.

නැව හිමි ග්‍රීක සමාගමට ඒ නිසා විශාල අලාභයක් වළක්වා ගැනීමට අවස්ථාව ලැබුණි. එමෙන්ම නැව විනාශ වූවා නම් සිදුවිය හැකිව තිබූ විශාල සාගරික පරිසර හානියටද තිත තැබුණි.

කෙසේ වුවත් නැවේ ඉන්ධන කාන්දුව නිසා මුහුදු ජලයට යම් තෙල් තට්ටුවක් නිකුත් වී ඇති අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් එම සාම්පල ලබාගෙන තිබේ. ඒ අතර මුහුදේ පාවෙන තෙල් තට්ටුව ගිනිගැනීමට ලක්වූ නැවෙන් කාන්දු වූ තෙල් බවට සනාථ කර ගැනීමට අවශ්‍ය විමර්ශනද සිදු කෙරිණි.

මේ අතර ගින්න නිවාදැමීමට ශ්‍රී ලංකාවට වැය වූ මුදල වූ රුපියල් කෝටි 34ක මුදල ගෙවන ලෙස නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකාර සමාගම වන එම්.එස්. හටර් ඉන්තොරස් ෂිපිං කෝපරේෂන් සමාගමට නීතිපතිවරයා විසින් මුලින්ම දැනුම් දෙනු ලැබිණි. ඒ එම නෞකාවේ රක්ෂණ නියෝජිත ආයතන වන පී.එන්.අයි. වෙස්ට් ඔන් ඉන්ග්ලන්ඩ් ෂිප් ඕනර්ස් ඉන්ෂුවරන්ස් ඇෂෝසියේටඩ් සමාගම හරහාය. නැව් සමාගම එම මුදල ගෙවීමට එකඟ වූ අතර ඊට පසු සම්පූර්ණ හානි පූර්ණය සඳහා තවත් කෝටි 10ක මුදලක් ගෙවන ලෙස නෞකාවේ හිමිකරුවන්ට නීතිපතිවරයා දැනුම් දී ඇත. නෞකාවේ ගින්න නිවීඹට දායක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන විසින් නීතිපතිවරයාට ලබාදුන් ඇස්තමේන්තු අනුව මේ වියදම සකස්කර තිබුණි.

මේ වනවිට නැවේ තෙල් යම් ප්‍රමාණයක් පිටවීම නිසා නැගෙනහිර මුහුදේ පරිසර හානියක්ද සිදුව තිබේ. සාගරික පරිසර හානියට ලැබිය යුතු වන්දියද විශාලය. ඒ සඳහා ජාත්‍යන්ත ප්‍රඥප්ති කිහිපයක්ම බලපායි.

නැව් මගින් සිදුවන දූෂණ වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය (MARPCL), තෙල් ඉහිරුම් සූදානම ගැන සහයෝගයෙන් කටයුතු කිරීම (OPRC), නැව්වල හානිකර දූෂණ පාලන අන්තර්ජාතික සම්මුතිය ඒ අතර වේ.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, “පරිසර දූෂණ වාර්තාවක් නීතිපතිට ලබාදුන්නා. ඒවා භාවිත කරමින් අපගේ සාගර කලාපයේ පරිසර දූෂණයක් සිදුව ඇති බව ඔප්පු කළ යුතුයි. ඒ හැම දෙයක්ම සියුම්ව හරියාකාරව කළ යුතු වෙනවා. එවිට පරිසර දූෂණ හානියට වන දඩය අයකර ගත හැකියි. හැබැයි පරිසර හානියට වන වන්දිය ලබාගැනීම ඉතා සංකීර්ණයි.”

මෙයට පෙර වර්ෂ 2017දී එම්.එස්.සී. ඩැනියෙලා නමින් රසායනික ද්‍රව්‍ය සහිත නැවක් කොළඹ වරායේදී ගිනි ගත්තේය. එහි ගින්න වැඩි වී රසායන ද්‍රව්‍ය සාගරයට පිටවී පරිසර දූෂණයක් සිදුවිය. එහිදී සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 24/25 වගන්තිවලට අනුව කටයුතු කළ යුතුව තිබුණත් එම නැවෙන් කිසිම වන්දියක් ලබාගත හැකි නොවූ බව පැවසේ. ඔවුනට නඩු පැවරීමක්ද සිදු නොවීය.

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ අඩුපාඩුකම් රාශියක් පවතින බව නාවික නීති විශාරදයෝ පවසති. වර්ෂ 2008න් පසු පනත සංශෝධනය කර නැත. අද ලෝකයේ නාවික නීතිය, සාගරික දූෂණය වැනි කරුණු බොහෝදුරට යාවත්කාලීන වී තිබේ. තාක්ෂණය විශාල වශයෙන් වර්ධනය වී තිබේ. මේ නැව නිසා අපේ සාගරයට හානි වූ බව ඔප්පු කළොත් විශාල වන්දියක් ලබාගැනීමේ හැකියාවක් පවතී. තෙල්වලින් සිදුවන සාගර දූෂණය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියට අපි 1983දී අත්සන් කර තිබෙන නිසා ඩොලර් මිලියන 700 දක්වා (ඩොලර් කෝටි 70ක්) වන්දියක් ලබාගැනීමේ අවස්ථාවක් පවතී.

මේ අතර නාවික නීති විශේෂඥයන් සඳහන් කරන්නේ මුලින් කළ යුතුව තිබුණේ ගින්න නිවූ නැවේ ගලවා ගැනීමේ කටයුතු සිංගප්පූරු සමාගමකට බාරදීම වෙනුවට ශ්‍රී ලංකාවේ අධීක්ෂණය යටතේ කටයුතු කිරීමට සිංගප්පූරු සමාගමට අවස්ථාව ලබාදිය හැකිව තිබූ බවයි. 

මේ පිළිබඳව සාගරික නීතිඥ, ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ, ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මෙසේ අපට කීවේය.

“එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී දේශීය සමුද්‍රීය ආරක්ෂණ නීතිවල අඩුපාඩු බලපෑවා වුවත් අපේ බලධාරීන් වඩාත් දැනුවත්ව සිටියේ නම් ලොකු වන්දියක් ගත හැකිව තිබුණා. දැනට අපට ලබාදීමට එකඟව තිබෙන්නේ ගලවා ගැනීමට ගිය වියදම පමණයි. එයින් කොටසක් අපි ඉන්දියාවටත් ලබාදිය යුතුයි.

මගේ දැනුමේ හැටියට ග්‍රීක හිමිකරුවන් නැව ගලවා ගැනීමට පත්කළ බොස්කලීස් ස්මිත් සිංගප්පූරු සමාගම අපේ අධීක්ෂණය යටතේ තබාගත යුතුව තිබුණා. නැව තිබෙන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ නිසා. නැව බේරාගැනීම නිසා එහි හිමිකරුවන්ගෙන් විශාල ප්‍රදානයක් (Reward) අපට ලැබෙන්න ඉඩ තිබුණා. දැන්නම් එය අපට ලැබේදැයි සැකසහිතයි.

මේ වගේ සිද්ධියකදී විශේෂඥ කමිටුවක් පත්කර ඒ යටතේ තමයි කටයුතු කළයුතු වන්නේ. නමුත් ලංකාවේ එහෙම කළේ නෑ. දැනට අවුරුදු තුනකට පමණ පෙර අපේ සමුද්‍ර දූෂණ පනතට සංශෝධන කමිටුවට මමත් සහභාගී වුණා. ඒකට අලුතින් සංශෝධන යෝජනා අපි ගෙන ආවා. නමුත් ඒවාට මොනවා වුණාද දන්නේ නැහැ.”

මේ අතර ගිනිගත් නැවේ කපිතාන්ට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් 28දා නියෝගයක් නිකුත් කළේය. ග්‍රීක ජාතික කපිතාන් නිරෝස් ඉල්යාස් නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් අධිකරණයට දැනුම් නොදී ඉවත් නොවන ලෙසටද නියම කළේය.

නෞකාවෙන් කාන්දු වූ තෙල් අඟල් දෙකක ඝනකමකින් නාවික සැතපුම් දෙකක දුර ප්‍රමාණයක පැතිර තිබෙන බවත් එය ධීවර කර්මාන්තයේ යෙදෙන අයට විශාල හානියක් බවත් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේය.
මේ අතර ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය නැවේ තෙල් තට්ටුව නිසා එම සාගර කලාපයේ වෙසෙන කැස්බෑවන් මතුපිටට පැමිණීමක් නිරීක්ෂණය කර ඇත. මෙසේ ජලය මතුපිටට පැමිණීමට හේතුවන්නට ඇත්තේ මුහුද මත තෙල් තට්ටුවක් තැන්පත් වීම නිසා උන්ට ජීවත්වීමට අපහසු තත්ත්වයක් මතුවීම බවට සැක කෙරේ. නැව ආශ්‍රිත මුහුදේ ශාක සහ සත්ව ප්ලවාංගවල සිටින පැලනොයිස් නම් විශේෂය ඉන්ධන සහිත පරිසර තත්ත්වවලදී ප්‍රතිදීප්තියක් දක්වන බවත් ඒ පිළිබඳ නිරීක්ෂණද ආරම්භ කර ඇති බවත් ජලජ සම්පත් පර්ෙය්ෂණ සහ සංවර්ධන නියෝජිතායතනය සඳහන් කරයි. එයට අමතරව මත්ස්‍යයන්ගේ කරමල්, ආමාශ කොටස් ආදියද පරීක්ෂාකර ඉන්ධනවල බලපෑමක් සිදුව ඇත්දැයි පිරික්සා බැලේ.
නැවේ තෙල් කාන්දුව නිසා සිදුවූ පරිසර දූෂණ හානිය අයකර ගැනීමටද බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතුව ඇත. 2005 දී නැවකට සිදුවූ මෙවැනි අනතුරක් අවස්ථාවේ කපිතාන් අත්අඩංගුවට ගෙන දඩයක්ද නියම කර තිබේ.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02