2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ රෙදි ගැලවුණු බදු මගඩිය

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

ලෝකයම දෙදරවමින් සිය අහංකාර පුරාජේරු ට්‍රම්පටය හඬවමින් සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුගිය සතියේ වැදුණේ සිය මමංකාරය දෙදරා යන තරමේ මරුපහරකි. මෙවර ජනාධිපතිවරණය හොඳින් හෝ නරකින් ජයගැනීමේ අන්තිම සටනකට එළැඹ සිටින ට්‍රම්ප් සිය මංගල විවාදයේදිම රටේ සහ ලෝකයේ අප්‍රසාදය දිනාගත්තේය. එයට දින කිහිපයකට පෙර ට්‍රම්ප්ගේ ආඩම්බර සල්ලිකාරයා නමැති ඌජාරු ප්‍රතිරෑපයට බරපතළ ප්‍රහාරයක් එල්ල වී තිබුණි. ඒ අමෙරිකාවේ සුප්‍රකට මාධ්‍ය ආයතනයක් මගින් පළ කළ පුවතක් නිසාය. ඉකුත් ඉරිදා (25) නිව් යෝක් ටයිම්ස් පුවත්පත මෙතෙක් ට්‍රම්ප් පුම්බා මතුකර තිබූ වගාඩම්බරකාර පෞරුෂයට ඉඳිකටු තුඩකින් ඇන්නේය. ජනාධිපති ට්‍රම්ප් ජනතා මුදල් වංචා කළ බදු හොරෙක් ලෙස හංවඩු ගැසීමෙනි. මේ වැදුණු අනපේක්ෂිත ප්‍රහාරය හේතුවෙන් ට්‍රම්ප් දැන් දහඅතේ ණය වී ලෝකාපවාදයට ලක්වී පිස්සු වැටුණු කළුකඩ මුදලාලි කෙනෙකුගේ තත්ත්වයට හෑල්ලු වී හමාරය.

නිව් යෝක් ටයිම්ස් ගණන් හිලව් සහිතව වාර්තා කර තිබුණේ පසුගිය 15 වසරක කාලය තුළ අඩු තරමේ වසර 11ක කාලයක් ට්‍රම්ප් ආදායම් බදු සතයක්වත් නොගෙවා කර-හැර ඇති බවය. ට්‍රම්ප් මේ ගැන අඬහැර පෑවේ තමා මිලියන ගණන් මුදල් පොදි වසරක් පාසා බදු ලෙස ගෙවා ඇති බව කියමිනි. ඔහු නිව් යෝක් ටයිම්ස් පුවත අතේ රෝලක් යැයි කියා තිබුණි. නමුත් තමන් බදු ගෙවූ බව ඔප්පු කරන්නට ලියැකියැවිලි සාක්කි කිසිවක් ඉදිරිපත් කරන්නට කටයුතු කළේ නැත. මේ නිසා දැන් අමෙරිකානු ආණ්ඩුව තුළ සිය සගයන් අතරත් ලෝකය පුරාමත් ට්‍රම්ප් බැංකුවලට පොලු තියන කළුකඩකාරයෙක්ගේ තත්ත්වයට පත්ව හමාරය.

නිව් යෝක් ටයිම්ස් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් 2016 සහ 2017 වසරවල යාන්තම් නාමික බදු මුදලක් හැටියට ඩොලර් 750 බැගින් ගෙවා ඇති බවයි. 2000 සිට 2015 දක්වා වූ කාලයේ ඔහු සතයක්වත් බදු ගෙවා නැත. සාමාන්‍යයෙන් අමෙරිකාවේ මධ්‍යම පාන්තිකයෙක් මේ වගේ තුන් ගුණයක බදු මුදලක් ගෙවන බව එය පෙන්වා දෙයි. කොටින්ම, ට්‍රම්ප්ගේ ප්‍රමුඛ ව්‍යාපාරය වන ට්‍රම්ප් ටවර්හි එළිපත්තේ සපත්තු මදින තැනැත්තාත් ට්‍රම්ප්ට වඩා බදු ගෙවන බව එක් මාධ්‍ය වාර්තාවක් උපහාසාත්මකව කියයි. ටයිම්ස් වාර්තාව පෙන්වා දෙන්නේ තමන්ගේ අධ්‍යයනයට ලක්වූ වසර 18ක කාලය තුළ වසර 11ක්ම ට්‍රම්ප් බදු ලෙස ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 95ක් පමණක් බවය. ඒ අතර ඔහු විවිධ මගඩි යොදමින් ඔහු ඩොලර් මිලියන 72.9ක් වූ බදු මුදල් නැවත යටිමඩි ගසාගෙන ඇත. තමන් ප්‍රකෝටිපතියෙකු සහ සාර්ථක ව්‍යාපාරිකයෙකු යැයි ද එනිසා අමෙරිකානු රාජ්‍යය නමැති සංස්ථාව ණය නොවී පරිපාලනය කිරීමට තමන්ට වඩා වෙන සුදුස්සෙකු නැතැයි ද නිතර පම්පෝරි ගසන ට්‍රම්ප් දැන් පත්ව ඇත්තේ නිරුවතින් මහජනතාව ඉදිරියට පැමිණියාක් බඳු තත්ත්වයකටය.

ට්‍රම්ප් හිතුමතයේ සල්ලි හොයන සල්ලි මලු ගණන් ඉවක් බවක් නැතිව ආයෝජනය කරන පම්පෝරිකාර පිස්සු මුදලාලි කෙනෙක් බව කාලයක සිටම ඔප්පු කර හමාරය. මේ නිව් යෝක් ටයිම්ස් කණේ පහරත් සමඟ එළියට විසිවුණු ට්‍රම්ප්ගේ පැටිකිරිය හදාරන්නෙකුට ඔහු ඉවක් බවක් නැති අන්ධ ආයෝජකයෙකු බව සනාථ වෙයි.

ට්‍රම්ප් තමන් උපන්-සල්ලිකාරයෙක් යැයි නිතර අඬබෙර ගසයි. නමුත් ඇත්ත කතාව නම් නියම සල්ලිකාරයා ද බිස්නස්කාරයා ද වූයේ ඔහුගේ පියා ෆ්‍රෙඩ් ට්‍රම්ප් බවය. ඉඩම් ගොඩනැගිලි සහ ව්‍යාපාර හිමිකරුවෙක් වූ ඔහුගේ සල්ලි පොදියට ඩොනල්ට් ට්‍රම්ප් කිට්ටු කළේ හෙමි හෙමිහිටය. විවිධ මගඩි යොදමින් බදු මුදල් පිල්ලි යවමින් සීරුමාරුවේ ලාබ පෙන්වමින් පියාගේ හිත දිනාගත් ට්‍රම්ප් ඔහුගේ මරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ ට්‍රම්ප්ගේ ව්‍යාපාර අධිරාජ්‍යය අතට ගත්තේය. නමුත් වැඩි කලක් නොයවාම ට්‍රම්ප් පුතා තාත්තාගේ වසර ගණනාවක කොඳු කැඩෙන දහිරියේ ප්‍රතිඵලය වූ ව්‍යාපාරික ජාලය ඩොලර් මිලියන 200ක්වූ තුට්ටු දෙකකට අලෙවි කර දැමීය. එලෙස එළියට පැමිණ තිබුණේ ට්‍රම්ප්ගේ සැබෑ ව්‍යාපාරික ප්‍රතිරෑපයයි. මේ වන විට ට්‍රම්ප් ඒ ක්‍රමවේදය අනුව යමින් නහය ළඟටම ණය ගොහොරුවේ එරී සිටින්නෙකු බවට වූ ඇත්ත ප්‍රතිරෑපය නිව්යෝර්ක් ටයිම්ස් එළිදරව්වත් සමඟ දැන් ලෝකය හමුවේ එළියට පැමිණ හමාරය. වාර්තාගත අන්දමට 2024 වනවිට ට්‍රම්ප් ඩොලර් මිලියන 300ක ණය මුදල් බැංකුවට පියවිය යුතුව තිබේ.

ට්‍රම්ප්ට ව්‍යාපාරිකයෙක් හැටියට කවදාකවත් සාර්ථකත්වයක් ලබන්නට නොහැකි වූ බවට සාධක අපමණය. ඔහුට හරිගියා නම් හරිගියේ රඟපෑම පමණි. ඔහුගේ රූපවාහිනී වැඩසටහන වූ The Apprentice සල්ලි තොග පිටින් ලබාදුන් ලාබදායී වැඩසටහනකි. එය මෑත කාලයේ ඔහුට සෞභාග්‍යය ළඟා කළ එකම අවස්ථාවයි. හැබැයි 2000 මැද කාලයේ එසේ සල්ලි යහමින් අතපත ගෑ සමයේ පවා ට්‍රම්ප් ගෙවන්නට ඕනෑ තරම් හැකියාව තිබුණත් බදු මුදල් ගෙවා තිබුණේ නැත. ඒ කාලයේ ඩොලර් මිලියන 70ක බදු පොල්ලක් ඔහු තබා ඇති බවට 2000 මැද කාර්තුවේ වාර්තා පෙන්වා දෙයි. ජනකාන්ත රෑපවාහිනී වැඩසටහන සල්ලි මවන උල්පතක්ව තිබූ මේ සමයේ ඔහු එම මුදල් සල්ලි නසන ව්‍යාපාර ගණනාවකටම ආයෝජනය කර තිබුණි. ඒ අන්දමින් තමන්ට බදු ගෙවාගන්නටවත් සතේ අතේ නැති බව කියමින් සහන ලබාගත්තේය. ඒ කාලයේ ඔහු මියාමිවල ගොල්ෆ් නිකේතනයක් මිලට ගත් අතර අන්තිමේ වසරක් ගතවන්නටත් පෙර එය ඩොලර් මිලියන 65.5ක් තරම් කුණුකොල්ලයට විකුණා දැම්මේය. මේ අව්අස්සේ තමන් කලින් ගෙවූ බදු මුදලින් සහන මුදලක් ලෙස ඩොලර් මිලියන 72ක් ප්‍රයෝගකාරී ලෙස නැවත ලබාගන්නට 2010 දී ඔහු ක්‍රියා කර තිබුණි. මේ බදු මගඩිය සිදුවූ ආකාරය ගැන දැන් විගණන පරීක්ෂණ ඇරුඹී තිබේ. මේ මදිවාට ඔහු සිය ව්‍යාපාරික වත්කම් ඇපයට තබා බරපතළ ලෙස ණය ලබාගෙන තිබේ. සුප්‍රසිද්ධ ට්‍රම්ප් ටවර් උගසට තබා ඩොලර් මිලියන 100ක් ලබාගෙන ඇති ට්‍රම්ප් 2022 වන විට එය ගෙවා නිම නොකළහොත් ඒ ව්‍යාපාරය ද ඔහුට අහිමිව යන ලකුණු දැන් පහළව හමාරය. මේ නිසා ණය බරින් පිස්සු වැටුණු මුදලාලි කෙනෙකු බවට පත්ව සිටින ට්‍රම්ප්ට ඇති එකම ගැලවිජ්ජාව 2020 නැවත ජනාධිපති පුටුවට ගොස් එහි මුක්තියට මුවා වී භුක්තිය නැවත සරිකර ගැනීමය.

නිව් යෝක් ටයිම්ස් බෝම්බය නිසා ට්‍රම්ප්ගේ තවත් මගඩි නාටක රැසක් එළියට පැන්නේය. අමෙරිකාවේ බැංකු ට්‍රම්ප්ට තවත් ණය දෙන්නට බෑ කියද්දි ඔහු අතේ තිබූ හැම සතයක්ම යොදවා ස්කොට්ලන්තය ප්‍රමුඛ රටවල් කිහිපයකම ගොල්ෆ් පිටි මිලයට ගත්තේය. ඒ ගොල්ෆ් කෙරුවාවද ඔහු වළපල්ලටම ඇද දැමූවකි. මේ සඳහා කළ ව්‍යාපාරික වියදම් ලෙස ඔහු සිය දරුවන්ගේ ජෙට් ප්‍රවාහන ගාස්තු ද හිසකෙස් සැකසීම සඳහා ගිය ඩොලර් 70,000ක්, මෙන්ම ඉවන්කාට බෙහෙත් ගන්නට ගිය ඩොලර් 747,622 වැනි තවත් විවිධ පෞද්ගලික වියදම් ද එකතු කර තිබුණි. ඔහු තමන් බුන්වත්කම් සහිත ව්‍යාපාරිකයෙක් බව බැංකුවලට මවාපෙන්නා බදු සහන සහ තව තවත් ණය ලබාගන්නට අවශ්‍ය ප්‍රතිරූූපය ගොඩනගාගන තිබුණේ එසේය. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වාක් සේ ට්‍රම්ප් ලෝකය ඉදිරියේ සාර්ථක කෝටිපතියා චරිතය රඟපාන අතර බැංකු ණය සහ ආදායම් බදු කටයුතුවලදී ගරුකටයුතු රාජකීය හිඟන්නා චරිතය රඟපා තිබේ. නමුත් තවදුරටත් මේ ජෙකිල් සහ හයිඩි දෙබිඩි චරිත රංගනය ඔහුට සිදුකරන්නට නොහැකිය. නහය ළඟටම වතුර ආ පසු දැන් ඔහුට එල්ලෙන්නට ඇති එකම පිදුරු ගස ජනාධිපති ධූරය හොඳින් හෝ නරකින් ඩැහැගැනීමය. ට්‍රම්ප් සියලු උප්පරවැට්ටි යොදා පිටපොට ගැසුවේ ඒ සඳහාය. සාර්ථක, සූර ව්‍යාපාරිකයාගේ පිරුවටයට මුවා වීය. නමුත් නිව් යෝක් ටයිම්ස් ඔහුගේ ඒ වහන්තරාව ද ප්‍රසිද්ධියේම ගලවා දැම්මේය. 

නිව් යෝක් ටයිම්ස් එළිදරව්ව ප්‍රශ්න කර සිටින්නේ ට්‍රම්ප් ටවරයේ එළිපත්ත අසල සපත්තු මදින හාදයා ට්‍රම්ප්ට වඩා බදු මුදලක් ආණ්ඩුවට ගෙවද්දී ට්‍රම්ප් සිය සුදු කරපටි රස්සාවට මුවාවී බදු මුදල් වංචා කිරීම කෙතරම් සාධාරණ ද කියාය. මේ ප්‍රශ්න කිරීම මගින් ට්‍රම්ප්ට එල්ලෙන්නට තිබූ ජනාධිපති ධූරය නමැති අන්තිම පිදුරු ගහත් ජනතා අප්‍රසාදය ජාත්‍යන්තර අපකීර්තිය නමැති ගංවතුරේ ගිල්වා දමා හමාරය.

 සුගත් පී. කුලතුංගආරච්චි