2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

මවාපාන ප්‍රමාදවලට ඩොලර් මිටි ගණන් ගෙවන තෙල් සංස්ථාව

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් හතළිස් අටකෝටි අසූ ලක්ෂයක් ඉකුත් වසර පහ තුළදී ඛනිජ තෙල් සංස්ථාව ගෙවා ඇති බව පසුගියදා හෙළිදරව් විය. තෙල් නැව්වලින් මෙරටට තෙල් ගොඩබෑමේදී සිදුවන ප්‍රමාදයන් වෙනුවෙන් නැව් සමාගම්වලට මෙලෙස ප්‍රමාද ගාස්තුව ගෙවීමට සිදුවී ඇති බව අනාවරණය වූයේ විගණන වාර්තාවක් පදනම් කරගනිමිනි. ඒ අනුව තෙල් සංස්ථාවේ මෙම පාඩු පිළිබඳ විමසීමට අපි තීරණය කළෙමු.

වෘත්තීය සමිති සහ සංස්ථාවේ පාර්ශ්ව කිහිපයක් ඇසුරින් ප්‍රමාද ගාස්තු ගෙවීමේදී සිදුවූ පාඩුව සම්බන්ධව තොරතුරු අනාවරණ වූයේය. කෙසේ වෙතත් අනාවරණය වූ තොරතුරු අනුව 2007 වසරට පෙර මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවීමක් සිදුවී නැත. පසුකාලීනව ඉන්ධන නැව් ඇනවුම් කිරීමේ සහ ඉන්ධන ගොඩබෑමේ ක්‍රියාවලිය දේශපාලකයන්ගේ සහ දූෂිත නිලධාරීන්ගේ යටතට පත්වීම මූලික කොටගෙන ප්‍රමාද ගාස්තු අර්බුදය ඇතිවී ඇති බව කියැවේ.

විගණකාධිපති හෙළිදරව්වට අනුව මෙට්‍රික් ටොන් හතළිස් දහසක ධාරිතාවකින් යුත් ඛනිජ තෙල් නැවකින් තෙල් ගොඩබෑම සඳහා එම නැව් සමාගම එකඟවන කාලය පැය 96ක් වුවත් පවතින දුර්වලතා මත එම කාල සීමාව පැය 120ත් 168ත් පමණ ගත වේ. නළ පද්ධතියේ පවත්නා අවහිරතා මෙන්ම ගබඩා පද්ධතියේ පවත්නා දුර්වලතා ද මෙම තත්ත්වයට හේතු වී තිබේ. එසේම කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත පිරිපහදු ඉන්ධන ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන්නේ එක් නළ මාර්ගයක් යැයිද එම නළ මාර්ගයේ බිඳ වැටීමක් සිදු වුවහොත් බරපතළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

වෘත්තීය සමිති නායකයන්ට අනුව වසර හතළිහකට වඩා පැරුණි මෙම නළ පද්ධතිය භාවිතයෙන් සිදුවන පාඩුව සේම අවදානමද සුළුපටු නොවේ. මුතුරාජවෙල පර්යන්තයේ නළ පද්ධතිය හරහා කිසිදු ප්‍රමාදයකින් තොරව තෙල් ගොඩබෑමේ හැකියාවක් ඇති බව ඔවුහු පෙන්වා දෙති. මුතුරාජවෙලට ගොඩබෑම සිදුවන්නේ නම් එහිදී මෙට්‍රික් ටොන් එකකට ගෙවනු ලබන ගොඩබෑමේ ගාස්තුවද අවමය. එම නිසා බ්ලූමැන්ඩල් හරහා දිරාගිය නළ පද්ධතියකින් අඩු පීඩනයකින් යුතුව ඉන්ධන ලබාගැනීම පැහැදිලි ගැටලුවකි.

විගණන වාර්තාව හරහාද මීට අදාළ තොරතුරු පැහැදිලි කරගත හැකිය. ඊට අනුව ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම යටතේ පාලනය වන ඉන්ධන නළ මාර්ග පද්ධතියට අයත් නළ මාර්ග පහෙන් දෙකක් අක්‍රීය වී ඇත. දැනට භාවිතයේ පවතින නළද නිතර කාන්දුවීම්වලට ලක්වන බව කියැවේ. ඒ අනුව නළ මාර්ගයේ බිඳ වැටීමක් සිදු වුවහොත් බරපතළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක්ද වෙයි.

ඉන්ධන ඇනවුම් කිරීමේදී සිදුවන අවිධිමත් ක්‍රියාවලියක් සම්බන්ධවද අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබුණි. ඊට අනුව කියැවෙන්නේ අලෙවි ප්‍රමාණය සැලකිල්ලට නොගෙන දිගින් දිගටම ඉන්ධන නැව් ඇනවුම් කර ඇති බවයි. එම නිසාවෙන් විටෙක ඩීසල් නැව ඉවත් කොට පැට්‍රල් නැව ගොඩබෑමට සිදුවන බවත් තවත් විටෙක ගුවන් යානා ඉන්ධන නැවක් ගොඩබාන බවත් කියැවෙයි. මෙවන් අවස්ථාවක නැව් තුනම නැවතත් වරායේ නැවැත්වීමට සිදුවේ. මෙවන් විටෙක වරාය ගාස්තු මෙන්ම ප්‍රමාද ගාස්තුද අප රටට දැරීමට සිදුවෙයි.

මේ අතර වෘත්තීය සමිති තවත් චෝදනාවක් එල්ල කරයි. ඔවුන්ට අනුව නව රජය කොලොම්බියාවේ නව ඉන්ධන ටැංකි තුනක් ඉදිකිරීමට ගෙන ඇති තීරණය භයානකය. කොලොම්බියාවේ ඉන්ධන ටැංකි ඉදිකිරීම හරහා ඉන්ධන ලීටරයකට ගෙවන මුදල තව ඉහළ යනු ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රමාද ගාස්තු අර්බුදයට හොඳම විසඳුම මුතුරාජවෙල බවයි. එහෙත් බලධාරීහු මුතුරාජවෙල භාවිත නොකිරීමට හේතු පැහැදිලි කරමින් සිටිති.

කෙසේ නමුත් ඉන්ධන යනු මාෆියාවක් බව නම් පැහැදිලිය. ඒ හරහා අසීමාන්තික වැටුප් සැප සම්පත් සහිතව ජීවත්වීමට පිරිසකට හැකිවී තිබේ. ඔවුන්ගේ සැප සම්පත් වෙනුවෙනුත් වංචා සහ දූෂණ වෙනුවෙනුත් ජනතාව ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවමින් සිටිති. ප්‍රමාද ගාස්තු ඛනිජ තෙල් සංස්ථාව ගෙවන බව කීවද සැබෑ ලෙසම ඒවා ගෙවනුයේ මෙරට මහජනතාව බව කිවයුතුමය.

චමිඳු නිසල් ද සිල්වා 

මේ කොමිස් මාෆියාවේ හැමෝම ඉන්නවා
ජාතික සේවය සංගමයේ සංවිධායක බලශක්ති වෘත්තීය සමිති කැඳවුම්කරු - ආනන්ද පාලිත

මුතුරාජවෙල ඉතා නවීන පර්යන්තයක්. කොලොන්නාවට වඩා ඉන්ධන ගබඩාකිරීමේ හැකියාව, බෙදාහැරීමේ හැකියාව සහ සියලු පහසුකම් තිබෙනවා. දිගින් දිගටම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා මම මේ දේ කිව්වා. තනිකරම කොමිස් මාෆියාවක්. දූෂිත නිලධාරීන් සහ දේශපාලන හස්තයන් එකතුවෙලා කරපු දෙයක්.

ප්‍රමාද ගාස්තු වරාය ගාස්තු මේ සියල්ල ඉන්ධන ලීටරයක මිල තීරණය වෙන්න බලපෑවා. මහින්ද රාජපක්ෂ යුගයේ මුනුලි කියන රටවල් හැට හයක් ප්‍රතික්ෂේප කරලා තිබුණ නළ දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව පරිදි ලබාගත්තා. වගකීම් කාලය ඉවත්වෙන්න ඉස්සෙල්ලා ඒ නළ පිපිරැවා. ඒ වෙලාවේ අධික ප්‍රමාද ගාස්තු නැව්වලට ගෙවන සිද්ධ වුණා. එදා කිව්වා ගෙව්වේ නෑ, ගෙව්වේ නෑ කියලා. ඒ වුණාට ගෙවන්න සිද්ධවෙනවා. ඒවා තම ඔය සිද්ධවෙන්නේ.

ජනාධිපතිතුමා කොමිසම් දාලා දූෂිත නිලධාරීන් හොයනවා. තොග පිටින් මෙහේ නිලධාරින් ඉන්නේ. ඛනිජ තෙල් තොග සංස්ථාවේ සියයට හැටහයක අයිතිය තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවට. සියයට තිස් තුනක අයිතිය තියෙන්නෙ ඉන්දීය ලංකා ඔයිල් සමාගමට. ඛනිජ තෙල් තොග සමාගම හරහා තමයි ඛනිජ තෙල් ගොඩබාන්නේ. නියමිත ස්ථානවල බෙදා හරින්නේ. ඛනිජ තෙල් සංස්ථාවේ ඇනවුම්වලට අනුව තමා බෙදන්නේ. ඉතා පැහැදිලි කොමිස් මාෆියාව නිසා තමා මෙහම වුණේ.