2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

මාකඳුරේ මධූෂ්ගෙන් තුඩුපඩුරු ගත් ලොක්කෝ

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

පාතාලය හා සමීප සබඳතා පැවැත්වූ බන්ධනාගාර ලොක්කන් ගැන කතා ඇසෙන්නේ අද ඊයෙක නොවේ. දැන් ඒ කතා දිගහැරෙන්නේද අධිකරණය හමුවේය. බන්ධනාගාර කොමසාරිස්වරයෙක් ඩුබායි ගිහින් මාකඳුරේ මධූෂ්ගෙන් සන්තෝසම් අරන්. මේ ගාලු අධිකරණයෙන් ඇසුණු කතාවය. 

සන්තෝෂම් ගන්නා ලොක්කන් පිළිබඳ කතා හෙළිවූයේ කවදා කොතැනකද යන්න කෙසේ වෙතත් ඒවා නිවැරදි කරන්නට අනෙක් ලොක්කන් කඩිමුඩියේ කටයුතු කළ සැටිද අපූරුය. ඒත් සත්‍යය කිසිවිටෙකත් වසන් කළ නොහැකි බවද කිව යුතුය.

බන්ධනාගාර පුවත් පිළිබඳ දැනුම් දීමට ඇරඹූ වෙබ් අඩවියේ ගාලු අධිකරණයේ සිද්ධිය අනාවරණය නොවූයේ ඇයිදැයි යන්නට අටුවා ටීකාද අවශ්‍ය නැත. රුපියල් ලක්ෂ ගණනින් අත දිග හැර වියදම් කර උපන් දින සාද, ප්‍රිය සම්භාෂණ පවත්වන්නට, මාස ගණන් පිටරට සවාරි ගහන්නට, මධුසමය ගතකරන්නට, විදේශයන්හි ක්‍රීඩා තරග සංවිධානය කරන්නට පමණක් නොව සමහර ලොක්කන්ට අසීමිත දේපල සම්භාරයක් හිමිකර දෙන්නට ආනුභාව සම්පන්න බලයක් ලැබුණේ කෙසේදැයි බොහෝ දෙනකු නොදන්නවාද නොවේ.

එදා ඒ පාතාලය පෝෂණය කළවුන්ට අද ඒ පාතාලයෙන්ම අභියෝග එල්ල වීම පුදුමයට කරුණක් නොවන්නේ බූස්ස බන්ධනාගාරයේදී එහිම ලොක්කන් පිරිසකට එල්ල වූ බව කියන තර්ජන ගැන ඇසෙන විටය.

පාතාලයේ ගෝඩ් ෆාදර්ලා බිහිවූයේ බන්ධනාගාර තුළින් බවට කතාද එමටය. තමන් කිසිවෙකුත් බූස්ස බන්ධනාගාරයේදී උසස් නිලධාරීන්ට මරණ තර්ජන නොකළ බවට පොඩි ලැසී හා කොස්ගොඩ තාරක ප්‍රකාශයක් කර ඇතැයි ගාලු අධිකරණය ඉදිරියේ හෙළි කළේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාය.

කුඩු ජාවාරමේ ගිය නාකොටික්ලා අද අගුණකොළපැලැස්ස හිරගෙදරය. පාතාලය හා අවි ජාවාරම් කළ සීඅයිඩී ලොක්කන් සිරකුටිවලය. කන්ටේනර් ගණන් කහ පැන්නූ රේගු ලොක්කන් කිහිපදෙනකුගේ දෑතට මාංචුය. අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ ගිය සුරාබදු ලොක්කෙක්ද කූඩුවේය.
මාකඳුරේ මධූෂ් ඩුබායි සිටියදී බන්ධනාගාර කොමසාරිස්වරයෙක් එහි ගොස් තුටු පඬුරු ගත් බවට කොස්ගොඩ තාරක කියන කතාවක් හෙළිකරන්නේද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාය. පාතාල හා කුඩු ජාවාරමුන්ට මීගමුවේ හිටපු ලොක්කා පහසුකම් සැලසූ බවට චෝදනා නැගුණේ රටම කළඹමිනි. වැඩ තහනමට ලක්ව සිටින මීගමු ලොක්කාගේ කතාවක් සමඟම කුරුවිට අධිකරණයෙන් ඇසෙන්නේ තවත් පාතාල කතාවකි.

&කුරුවිට බන්ධනාගාර ලොක්කා මරන්න ඇතුළෙන්ම කොන්ත්‍රාත්තුවක්. ප්ලෑන සැරයන්වරයෙකුගෙන්* මේ රටම භීතියට පත්කළ පාතාල කතාවක සංක්ෂිප්තයකි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලයකුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට කුරුවිට බන්ධනාගාර ලොක්කා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 18දාය. කුරුවිට බන්ධනාගාර අධිකාරී චම්පික දසනායක මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට තමාට චෝදනා එල්ල කරමින් කුරුවිට පොලීසිය පක්ෂග්‍රාහීව විමර්ශනයක් සිදුකරන බවට එම සැරයන්වරයා රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් කළේද ඉන් පසුවය. මෙම අධිකාරීවරයා සිරකරුවන්ට අයුතු වාසි සලසන බවට චෝදනා කරමින් මාධ්‍යවේදියකු විසින් පසුගිය 12 වැනිදා අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවකින් පසු අධිකාරීවරයා තමන්ට එරෙහිව පොලීසියට පැමිණිලි කර ඇතැයිද එම සැරයන්වරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.

විරුද්ධවාදී පාතාල කල්ලි, කණ්ඩායම් අතර බන්ධනාගාර තුළ සිදුවන ගැටුම් හේතුවෙන් ඔවුන් වෙන් වෙන්ම රුඳවීම සාමාන්‍ය සිරිතකි. බස්නාහිර පළාත තුළ පමණක් ප්‍රබල පාතාල කල්ලි 20ක් පමණ ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙළිකළේ මේ අතරය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ එවැනි පාතාල කල්ලි 16ක් පමණ රඳවා ඇති බව කියන්නේද එහි නිලධාරීහුය. එබඳු අවස්ථාවක කඩුවෙල සමයං ඇතුළු පාතාල සාමාජිකයන් පිරිසක් ආරක්ෂක හේතූන් මත වැලිකඩින් කළුතරට මාරුකර යැවුණේ මීට වසර තුනකට පෙරය. ඒ බන්ධනාගාර ලොක්කකුගේ ක්‍රියාකාරී උපදෙසකට අනුව බවද කියැවේ.

එහෙත් සමයංගේ විරුද්ධවාදී අංගොඩ ලොක්කා ඇතුළු ඔහුගේ සහචරයන්ගෙන් එල්ල වූ ප්‍රබල ප්‍රහාරයකින් සමයං ඇතුළු 7 දෙනකුට දිවි අහිමිවූයේ 2017 – 02 – 27දාය. ඒ කළුතර එතනමඩල පාළු ප්‍රදේශයකදීය. එහිදී ජේලර් විජේරත්නටත් නියාමකවරයකුටත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි. එවකට ඩුබායි සැඟවී සිටි මාකඳුරේ මධූෂ්ද අංගොඩ ලොක්කා සමඟ මෙම ප්‍රහාරයට එක්වූ බවට කතා එකල වාර්තා වුවද ඒවායේ ඇත්ත නැත්ත අදටත් හෙළිවී නැත.

විරුද්ධවාදී පාතාල කණ්ඩායම්වලින් සමයංගේ පාතාල කණ්ඩායමට ජීවිත තර්ජන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණද මෙම මාරුව සිදුවූයේ විරුද්ධවාදී කණ්ඩායම්වල උවමනාවටද යන්න අදටත් හෙළිවී නැත. එහෙත් වැලිකඩ බන්ධනාගාරය හා කඩුවෙල අධිකරණය සමීප බවද කිව යුතුය.

පාතාල ක්‍රියාකාරකම්වලට හා කුඩු ජාවාරම්වලට එරෙහි වීම නිසා එකල බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වූ වාරද අනන්තය. පසුගිය කාලය තුළ ජේලර්වරුන් තිදෙනකු පාතාල වෙඩික්කරුවන්ගේ ගොදුරු බවට පත්වූයේ ඒ අනුව බවට නිලධාරීන් පවසන්නේද නිකමට නොවේ. මේ බොහොමයක් තුවක්කු පිටිපස සැලසුම බන්ධනාගාරය තුළින් වීම බැහැර කළ හැක්කක් නොවූවද ඊට දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේ හෝ සහාය නොලැබුණා යැයි කිව හැකිද?

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් තෙන්නකෝන් දෙමටගොඩදී වෙඩි තබා මරා දමනු ලැබුවේ මහ දවාලේය. පාතාලයේ කුඩු ජාවාරම්වලට එරෙහිවීමෙන් අත්වන ඉරණම එදා එසේ විය.

මීගමුව බන්ධනාගාරයේ ජේලර් හරේන්ද්‍රට එල්ල වූයේද පාතාල වෙඩිල්ලකි. ඒ මීට වසර කිහිපයකට පෙරය. ඊට එහි නිලධාරියකුගේ සම්බන්ධයෙන් පස් පාතාල කල්ලියේ සහාය ලැබුණද යන්නට අදටත් පිළිතුරක් නැත. වැලිකඩ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර් ජයරත්න මහතා ගාල්ලේදී වෙඩි තබා මරා දමනු ලැබුවේද නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසිනි. ඒ මීට මාස කිහිපයකට පෙරය.

ජේලර් ජයරත්න ඊට පෙර සේවය කළේ ගාලු බන්ධනාගාරයේය. ඔහු පාතාල කල්ලි සමඟ මීටියාගොඩ ප්‍රදේශයේ සිටි බවට චෝදනා එල්ල වී වැඩ තහනමකටද ලක්ව සිටි අයෙකි. ඔහු ගාල්ල බන්ධනාගාරයේ සිටි සමයේ පොඩි ලැසී රඳවා සිටියේද එහිය. කොස්ගොඩ තාරක කලක් රඳවා සිටියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේය. පසුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් ඉන්පසු බූස්ස ආරක්ෂිත බන්ධනාගාරයටත් මාරු විය.

පොඩි ලැසී ඇතුළු පාතාල කණ්ඩායමක් ඉකුත් ජූනි 26 දා බූස්ස බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කර තිබුණේ ප්‍රධාන ඉල්ලීමක් මුල්කරගෙනය. ඒ පිළිබඳව සොයාබැලීමට එහි ගිය මූලස්ථානයේ උසස් නිලධාරීන් හමුවේ පොඩි ලැසී ප්‍රකාශ කර තිබුණේ &තොපේ ජේලර් මැරුවෙත් මම* කියාය. බන්ධනාගාරයක් තුළදී එහි උසස් නිලධාරීන් හට මෙවැනි ප්‍රකාශයක් කරන්නට පාතාලයට එවන් හයියක් ලැබුණේ කෙසේද යන්න ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී ආරක්ෂක ලේකම්වරයා පාතාලයට තිත නොතබන්නට බූස්ස බන්ධනාගාරයේ දෙවැනි ආහාර වර්ජනයේ ඉල්ලීම් සියල්ල ඉටුකිරීමට ඉඩ තිබුණි. එහෙත් කොන්දේසි විරහිතව ඔවුන් වර්ජනය අවසන් කළේ වෙනත් කළ යුතු දෙයක් නොවන නිසා නොව එදා බෝගම්බර බන්ධනාගාරය නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂණ ලේකම්වරයා කළ එඩිතර කතාව නිසාය.

1844 වසරේදී බන්ධනාගාර ආඥා පනත යටතේ ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස පිහිටුවන ලද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යභාරයද වැදගත්ය. (සිරකරුවන් පිළිගැනීම ඔවුන්ගේ ආරක්ෂාව, පෝෂණය හා නඩත්තුව සැලසීම නිසාම දූෂිත නිලධාරීන් හිතේ හැටියට පාතාලයන්ට ආරක්ෂාව සැලසූ බවට කතාද එමටය.)

ආරක්ෂක ලේකම්වරයාගේ පාතාල හා මත්කුඩු මෙහෙයුම නොවන්නට අදටත් නිල නොවන අයුරින් බන්ධනාගාර පාලනය කරන්නේ පාතාලයන්ය. ඒත් සියල්ල කනපිට පෙරළී ඇති බව පෙනෙන්නේ අධිකරණයේ දිගහැරෙන පාතාල කතා හා ලොක්කන්ගේ කියුම්කෙරුම් නිසාය. මේ පිළිබඳව විමසූවිට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ මෙවැන්නකි.

*පාතාලය හා මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ නිලධාරීන් ගැන දැන් දැන් අසන්න ලැබෙන්නේ අපේ මෙහෙයුම්වල සාර්ථකභාවය නිසායි. දූෂිත නිලධාරීන් පිළිබඳව සොයාබලා ඔවුන් වැරදිකරුවන් බව හෙළිවුවහොත් උපරිම දඬුවම් ලබාදීමට පසුබට වෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව විනයානුකූලව හා නීත්‍යානුකූලව තදින් කටයුතු කරන බවද කිවයුතුයි.* එවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කරන අතරම පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඊට ලබා ගන්නා බවද ඇය සඳහන් කළාය.


 ජයන්ත සමරකෝන්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02