දෙවියන් අදහන්නට ආ මිනිසුන් අල්තාරය ඉදිරියේ අමු අමුවේ මරාදාමා පසුගිය සඳුදාට අවුරුද්දකුත් මාස පහක් ඉක්මව ගොස් ඇත. අපාරාධය කළ උන්ද එදා මියගියත් එකී සාහසික ඝාතනයකට ඉඩදුන්නෝ තවමත් නිදැල්ලේ යහතින් ජීවත් වෙති. ඔවුහු කති, බොති, සිනාසෙති, දේශපාලනය කරති. කෙසේ වෙතත් එකී අපරාධය ගැන මේ වනවිට විශේෂ ජනාධිපති කොමිසමක් ඉදිරියේ එකින් එක කරුණු දිගහැරෙමින් පරීක්ෂණ සිදුකරන අතර වගකීම් විරහිතව කටයුතු කළ අය කවුරුන්ද යන්න රට හමුවේ දිගහැරෙමින් පවතී. ඒ නිසා විශේෂ කොමිසමේ සිදුවන සාක්ෂි, කතා, සිදුවීම් අමුතුවෙන් ලියන්නට අවශ්‍ය නැත. ඒ නිතර දෙවේලේ ඒ සියල්ල ඔබට අසන්න දකින්න හැකිවන නිසාය.
එහෙත් අපි මේ කියන්නට යන්නේ මේ ත්‍රස්ථවාදී ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ ආරම්භයත්, එහි නායක හැමෝම දන්නා සහරාන් හෂීම් ගැනත් ඔබ නොදන්නා පැතිකඩක් ගැනය. මේ සියල්ල අප විසින් සොයගත් කරුණු වන අතර ඒ සඳහා තොරතුරු විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ලබාගත් තොරතුරු බව කිව යුතුය. එකී තොරතුරු ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් කිසිවක් අප හෙළිනොකරන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහා බව විශේෂයෙන් කිවයුතුය. එසේ නම් මෙතැන් සිට දිගහැරෙන්නේ රටක් මෙන්ම ලොවක් කම්පා කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන් හෂීම් සහ ඔහුගේ නැගිටීම ගැන අනාවරණය කරගත් තොරතුරු රැසකි.
සහරාන් යනු 1985 වර්ෂයේදී උපන් අයෙකි. ඔහු සහරාන් හෂීම් ලෙස වර්තමානයේ බොහෝ දෙනා සඳහන් කළත් ඔහුගේ ඇත්ත නම වන්නේ මොහොමුදු හාසීම් මොහොමුදු සහරාන්ය. ඔහු මඩකලපුව කෝට්ටමුණේ ප්‍රදේශයේ ඉපදුණ අතර ඔහුගේ පියා රැකියාවට සිදුකරන ලද්දේ එවකට පිප්පොකට් ගැසීමය. කෙසේ වෙතත් සහරාන් අධ්‍යාපනය සඳහා මඩකලපුව සහීරා විද්‍යාලයට ඇතුළත් විය. මෙම විද්‍යාලය වර්තමානයේ වෙනත් නමකින් පවත්වාගෙන යන අතර එම නම අප ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒ පාසලට සිදුවන යම් අගෞරවයක් සිදුවෙතැයි අප සිතන නිසාය. කෙසේ වෙතත් 1989 උපන් සහරාන්ගේ සහෝදරයා වූ මොහොමුදු රිල්වාන්ද ඉගෙනගත්තේ මෙකී පාසලේමය.
එහෙත් 1991 වර්ෂයේදී මොවුහු මඩකලපුවෙන් ඉවත්ව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචියට යති. එසේ ඉවත්ව ගියපසු සහරාන්ගේ අධ්‍යාපනය නිසි ලෙස සිදුනොවුණු බව සඳහන් වේ. කෙසේ වෙතත් සහරාන්ගේ පවුලට උරුම වී තිබූ දරිද්‍රතාවය හේතුවෙන් සහරාන් තරුණ වයසේම රැකියාවක් තෝරගන්නේ තමන්ගේ පවුල ගොඩ නැගීමේ අරමුණු ඇතිවය. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ හෝටල්වල රැකියාවක් කිරීමටය. එහෙත් වැඩි කලක් සහරාන් එම හෝටල්වල රැකියාවේ සිටියේ නැත. ඔහු තම රැකියාව මාරු කරමින් රත්රන් භාණ්ඩ වෙළෙඳසලක නව රැකියාවක් ආරම්භ කළේය. එහෙත් සහරාන් එහිද වැඩිකලක් සේවය නොකර ඔහු රැකියා කර සොයාගත් මුදලින් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ රත්රන් අලුත්වැඩියා කරන ස්ථානයකි. ඒ සහරාන් ඒ වනවිට දැන සිටි හොඳම රැකියාව එය විය. එහෙත් එයද දීර්ඝ ලෙස සිදුකරගෙන ගියේ නැත. එකවරම සහරාන් අරාබි භාෂාව ඉගෙන ගැනීම සඳහා සිතක් පහළ වී කුරුණෑගල ප්‍රදේශයට පැමිණියේය. එතැනින් පසු කාත්තන්කුඩි ප්‍රදේශයේදී සහරාන් දැකගන්නට හැකිවූයේ නැත.
කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ කාලයක් වැඩකටයුතු කළ සහරාන් නැවත කාත්තන්කුඩි ප්‍රදේශයෙන් මතුවන්නේ සංවිධානය වෙමින්ය. එසේ පැමිණෙන සහරාන් අලුත් ඉස්ලාමීය සංකල්පයක් රුගෙන එන අතර එය සාම්ප්‍රදායික ඉස්ලාමීය දහමට වෙනස් මගක් ගත් ක්‍රමයක් විය. කෙසේ වෙතත් සහරාන් මුල් කාලයේ ඉතාම මානුෂීය ලෙස කටයුතු කර ඇතැයි කියයි. එනම් ඔහු කඩේකට කෑමට ගියත් ඒ මඟ සිටින කෑමක් නැති බොහෝ දෙනකුට කෑම ලබාදීම ඔහුගේ ක්‍රමය විය. එහිදී ඔහු ජාතිය ආගම නොසලකා සිංහල, දෙමළ අය සිටියත් ඔවුන්ට ද කෑමෙන් සංග්‍රහ කොට ආහාර ගැනීම පුරුද්දක් ලෙස සිදුකරගෙන ගොස් ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත් සහරාන්ගේ පැමිණීම එම ප්‍රදේශයේ ඉස්ලාම් පූජකයකු විසින් අනුමත කළේ නැත. ෆයිල්වාන් පල්ලියේ පූජක රවුෆ් විසින් සහරාන්‍ට විරුද්ධව මතවාදයක් දියත් කළ අතර ඔහු සඳහන් කළේ සහරාන්ගේ මතවාදය ඉස්ලාමීය ධර්මයට පටහැනි බවය. ඒ නිසා සහරාන්ට විරුද්ධව පළමු විරෝධය එල්ල වන්නේ ඔහු හරහාය. කෙසේ වෙතත් මේ ගැටුම පුපුරා යන්නේ එක්තරා කන්තූරි (මැරුණු මිනිසුන් වෙනුවෙන් දෙන දානයක්) අවස්ථාවකදීය. එනම් එතැනදී දෙපිරිස අතර ගැටුමක් ඇතිවීමය.
කෙසේ වෙතත් ඉස්ලාමීය බෙදීමක් ඇති කිරීමේ අරමුණක් කරපින්නා ගත් සහරාන් සම්ප්‍රදායික ඉස්ලාම් අයට විරුද්ධව යුද වදින්නට විය. අවසානයේ මෙය පුළුල් කර ගැනීම සඳහා ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේදී සුබසාධක සංගමයක් ආරම්භ කළේය. ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කළ මෙම සංගමය ජාතික තවුහීත් ජමාත් නමින් ආරම්භ විය. මේ හරහා ඉස්ලාමීය ජනතාවට සහන සැලසීම තමන්ගේ අරමුණ යැයි ඔහු කීවේය. 2015 දෙසැම්බර් 15 වැනිදා DCK/SS/56 දරණ අංකය යටතේ මෙම සුබසාධක සංගමය ලියපදිංචි කළ අතර එතැන් පටන් NTJ නමින් එම සංගමය කටයුතු කරන්නට විය.
කෙසේ වෙතත් මේ අතර 2016 වසරේදී රවුෆ් පූජකවරයා සමඟ එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු මෙන්ම පසුව ආණ්ඩුකාරයකු වූ අයකු සමඟ ගැටුමක් හට ගන්නට විය. එයට හේතුවූයේ මෙම දේශපාලනඥයා කාලයක් නිවැරදි ඉස්ලාමීය ධර්මයට උදව් කර පසුව ඉස්ලාමීය විරුද්ධ මතයක් දැරූ සහරාන්ට උදව් උපකාර කළ නිසාය. මේ නිසා එම දේශපාලනඥයා ක්‍රමයෙන් අන්තවාදයට යන බව සාම්ප්‍රදායික ඉස්ලාම් ජනයා අතර ප්‍රසිද්ධ විය.
මේ අතර එම දේශපාලනඥයාගේ උදව්වෙන් සහරාන් තම සුබසාධක සංගමය ඉස්ලාම් දේවස්ථානයක් බවට පත්කරමින් සිටියේය. 2017 මාර්තු 10 කාත්තන්කුඩි අලියර් හන්දියේදී යාපනය ප්‍රදේශයේ ලිංගික අතවර කර ඝාතනය කළ විද්‍යාගේ ඝාතකයන්ට එරෙහිව උද්ඝෝෂණයක් සිදුකළ අතර එහිදී රවුෆ් පූජකවරයාගේ අය සමඟ ගැටුමක් ඇතිකර ගත්තේය. මේ නිසා NTJ එකේ සමාජිකයෝ 17ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. කෙසේ වෙතත් එතැනින් පසුව සහරාන් කාත්තන්කුඩි ප්‍රදේශයෙන් අතුරුදන් වේ. එසේ අතුරුදන් වූ සහරාන් එතැන් පටන් සමාජ ගතවන්නේ මොහොමදී හාසිම් මොහොමදි සහරාන් හැටියට නොව සහරාන් හසීම් නමිනි.
එතැන් පටන් සහරාන් තම කටයුතු පුළුල් කරමින් ඉන්දියාවේ පවා සංචාරය කරන්නට විය. එසේ ඉන්දීය ගමනින් පසුව සහරාන් අමුතුම පුද්ගලයකු වී ඉතාම දරුණු ලෙස අන්තවාදී අදහස් වෙත නැඹුරු වෙමින් සිට ඇත. මේ කාලයේදී තම සගයා ලෙස සහරාන් තෝරාගෙන ඇත්තේ තම හොර අඹුවගේ සැමියා වන කලක් යුද හමුදාවේ අයකු වූ ආමි මොහිඩීන්ය. ආමි මොහිඩීන් සහරාන්ගේ වැඩ වෙනුවෙන් උපරිම උදව් උපකාර කළ අයෙක් විය. එපමණක් නොව සහරාන්ට එම නැගෙනරහිර පළාතේ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවා උදව් උපකාර කරන්නට වූහ. ඒ නිසා සහරාන් සීඝ්‍රයෙන් ඉස්ලාම් ජනතාව අතර පැතිරෙන නාමයක් බවට පත් විය. එය කොතරම්ද කියතොත් සහරාන් කාන්තන්කුඩි ප්‍රදේශයෙන් පිටවන විට සාමාජිකයන් 2500 - 3000ත් අතර සංඛ්‍යාවක් තම අනුගාමිකයන් වශයෙන් බඳවාගෙන සිටියේය.
සහරාන්ගේ පිරිස මඩකලපුව ප්‍රදේශයේ සිටි නිසා එම පිරිස එක්වරක් මඩකලපුව මංගලාරාමයේ හිමියන් සමඟ ද ගැටුමක් ඇතිකර ගත්තේය. ඒ ඉස්ලාම් අන්තවාදී අදහස් එම ප්‍රදේශයේ ව්‍යාප්ත කරන නිසාය. ඒ නිසා සහරාන් මංගලාරාමයේ හිමියන් සමඟ ද සිටියේ වෛරයෙනි. එහෙත් මේ අතර සහරාන්ගේ විරෝධය ක්‍රිස්තියානි ආගම වෙත නැඹුරු වෙන්නට පටන් ගත් අතර ඔහුගේ චෝදනාව වුණේ ඉස්ලාමීය සලකුණු ක්‍රිස්තියානි ආගමේ ඇතැම් ලකුණු සඳහා භාවිත කරන බවය. මේ නිසා සහරාන් ක්‍රිස්තියනි ආගමට විරුද්ධව නිතර බැණ වදිමින් වීඩියෝ පට සමාජයට මුදාහැර ඇති අතර ඒවා බොහොමයක් ඉන්දියාවේ ප්‍රචාරය වී ඇත. කෙසේ වෙතත් ඒ සෑම වීඩියෝ පටයක්ම ඔහු තම ජංගම දුරකථනය හරහා තම NTJ සාමාජිකයන් වෙත යොමුකර තිබේ. ඒ 2018 ආරම්භයේ පටන්ය.
ඒ අනුව සහරාන්ගේ අන්තිම නිවේදනය නිකුත් වූයේ 2019 අප්‍රේල් 1 වැනිදාය. එදින බරපතළ ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු පවසන්නේ "නුදුරේදීම පහර දෙන බවත් 100ගණක් මරණ බවත් එදාට ලංකාවේ පොලීසියට හෝ ආමි එකට අපේ ඇටයක්වත් අල්ලන්නට නොහැකි බවත්ය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියානු රෝ ඔත්තු සේවයට ලද තොරතුරක් මත ලංකාවට එය ලබා දුන් බවද සඳහන් වේ. එහෙත් අවසානයේදී හැමදෙනාම දැන දැන සිදුවන්නේ මහා මිනිස් සංහාරයකි. මේ සියල්ල ෆයිල් පිටින් ඇති සැමදෙනාගේම දැනුවත්කම මත සහරාන් කී කතාව ඇත්ත බවට පත්විය. එනම් ප්‍රහාරයට පෙර "ඇටයක්වත් අල්ල ගන්න නොහැකි වීමය
ගයාන් ගාල්ලගේ