සිදුහත් බෝසතුන් බුදු බව ලබා ලොවට දුන් පළමු පාඩම කලගුණ සැලකීමේ වැදගත්කමයි. ඒ බුද්ධත්වය ලබා පළමු සතියේ බෝ රුකට අනිමිසලෝචන පූජාව පැවැත්වීමෙනි. සිත් පිත් නැති අජීවී වස්තුවකින් වුවද පිහිටක්, උපකාරයක් ලැබූයේ නම් ඊට කෘතවේදීත්වය පළකිරීම උතුම් මානව ගුණධර්මයක් බව ඒ ප්‍රායෝගික ක්‍රියාවෙන් බුදු හිමි ලෝකයට පසක් කෙරිණි.
කලගුණ දැක්වීම නම් වූ ඒ උතුම් මානව ගුණධර්මය රකින්නෝ අද විරල වෙති. අජීවී වස්තුවක තබා ජීවියකු කළ සේවයට, උපකාරයට කෘතවේදීත්වය පළ නොකරන බහුතරයක් වෙසෙන සමාජයක තමන් ඇතුළු සිව්දෙනකුගේ ජීවිත පෝෂණය කිරීමටත්, ආධ්‍යාත්මික හා භෞතික සම්පත් හිමිකර ගැනීමටත් මහෝපකාරී වූ රුකියාව කළ බස් රථයට දණ බිම ඔබා වන්දනාමාන කොට විශ්‍රාම ගත් ලංගම රියැදුරකු පිළිබඳව අපට දැනගැනීමට ලැබිණ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගල්ගමුව ඩිපෝවට අනුයුක්තව සේවය කළ ඩබ්ලිව්. විජේරත්න මහතා ඒ විරල ගණයේ රියැදුරුය. ගල්ගමුව ඩිපෝවේ බස්රථ රියැදුරකු ලෙස අවුරුදු විසි හතක් සේවය කළ විජේරත්න මහතා වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම යාමට තීරණය කොට තිබේ. ඒ අනුව ඔක්තෝබර් මස හය වැනිදා ඔහු විශ්‍රාම ගැනීමට නියමිතය.
ගිරිබාව, පැරකුම්පුර, සාලියඅශෝකපුර, යාය දෙක ප්‍රදේශයේ පදිංචි විජේරත්න මහතා හා ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් වැඩිමනක් තොරතුරු දැනගැනීමේ අදහසින් අපි ඔහුගේ නිවෙසට ගොඩවැදුණෙමු.
ලංගම රියැදුරකු ලෙස මට පත්වීම ලැබුණේ 1992 මාර්තු මාසයේ විසිහය වැනිදා. අවුරුදු විසි හතක් මං සේවය කළා. ඔය කාලයෙන් මාස එකහමාරක් මං හලාවත ඩිපෝවට අනුයුක්ත කරලා හිටියා. ඉතිරි මුළු කාලයම ගල්ගමුව ඩිපෝවේ වැඩ කළේ. පැරකුම්පුර - කොළඹ, කොළඹ - අනුරාධපුරය, කුරුණෑගල - අනුරාධපුරය මාර්ගවල වගේම ගල්ගමුවේ හැම පාරකම මං වැඩ කරලා තියෙනවා.
මේ කාලය තුළ මගෙන් කිසිම අනතුරක් වෙලා නෑ. සතෙකුවත් බසයේ වැදිලා නෑ. බස්රථ මාව ආරක්ෂා කළා කියලා මට හිතෙනවා. ඒ වාගේම මගීන් ආරක්ෂා කරගෙන, රිය අනතුරු නැතිව ගමන් යන්න බස්රථ මට උදව් කළා කියන හැඟීම මට තියෙනවා.
කවදා හරි දවසක මං විශ්‍රාම යන විට බස් රථයට වැඳලා තමයි බාරදෙන්නේ කියන අදහස මට ආවේ රස්සාවට ඇවිත් අවුරුදු දෙක - තුනක් ගියාට පස්සේ. මං හිතාගෙන හිටියේ කහ පාට තුවායක් එළලා වඳින්න. ඒත් එදා අලුත් තුවායක් ගන්න මගේ සාක්කුවේ සල්ලි තිබුණේ නෑ. සේවය කරන අවසාන දවසේ මං ගල්ගමුවට ගිහින් ආපහු පැරකුම්පුරට එද්දි මට මතක් වුණා ගෙදර සුදු රෙද්දක් තියෙන බව. අවසන් ගමන් වාරයේදී මං ගේ ළඟින් බසය නතර කරලා අර සුදු රෙද්ද බෑගයක දමාගෙන ගල්ගමුව ඩිපෝවට ගියා.
ඩිපෝවට බස් රථය ඇතුළු නොකර ගේට්ටුව ගාව නතර කරලා මං බසයෙන් බැහැලා අර සුදු රෙද්ද බසයේ ඉදිරිපිට එළලා දණ බිමගහලා බසයට වැන්දා. මං එහෙම කරනවා කියලා කවුරුත් දන්නේ නෑ. කොන්දොස්තර මල්ලිවත් ඒ බව දැනගෙන හිටියේ නෑ.
මේ වාගේ සිතුවිල්ලක් පහළවීමට බලපාපු හේතු මොනවාද? ඔහුගේ කතාවට බාධා කරමින් මම විමසුවෙමි.
හේතු ගොඩක් තියෙනවා. මං විවාහ වුණේ 1989 අවුරුද්දේ. එතකොට මට රස්සාවක් නෑ. වෑන්වල, ට්‍රුක්ටර්වල තාවකාලිකව වැඩ කළා. විවාහ වෙනකොට මගේ අතේ තිබුණේ රුපියල් 450යි. ඒ මුදලින් මං එයාට ගවුමක් ගත්තා. ඊළඟට හාල් සේරු එකහමාරකුයි කරවල ටිකකුයි සබන් කැට දෙකකුයි ගත්තා. ඉතිරි මුදල කසාද ගාස්තුවට ගෙව්වා. බිරිඳ එක්ක ආවේ කටුමැටි පැලකට. එදා ඉඳලා කිරි උතුරනවා වාගේ අපට හරියන්න පටන් ගත්තා. මට රුකියාවක් ලැබුණා. ගෙවල් දොරවල් හදාගත්තා. අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයට ඉගැන්වුවා. දුව කැම්පස් යැව්වා. එයාගේ විවාහය කරලා දුන්නා. මේ සියල්ල කළේ රස්සාවෙන්.
මගේ බිරිඳගේ පුදුමාකාර ගතිගුණ තියෙනවා. මං වැඩට යද්දි හැමදාම එයා මගේ පතුල් අල්ලලා වඳිනවා. රෑට නිදි පැදුරට යන්නෙත් මට දණගහලා වැඳලා. මං නයිට් පාර්ක් හිටියොත් බිරිඳ මට කෝල් කරලා කියනවා ඕං මං ඔයාට සාදු කීවා කියලා. එයාගේ ඒ ආශිර්වාදය ගැන ලොකු විශ්වාසයක් මට තියෙනවා. අඩුම ගණනේ මගේ අතින් බස් එකක කන්ණාඩියක්වත් කැඩිලා නෑ. වැඩ කරපු බස්රථ හොඳට පාවිච්චි කළා.
උදේට බස් එක ගන්නකොට මං මව්පියන්, ගුරුවරුන් මතක් කරලා තමයි සුක්කානම ගන්නේ. විශේෂයෙන් බිරිඳගේ ආශිර්වාදය මතක් කරනවා. මට නිරවුල් මනසකින් බසය ධාවනය කරවන්න ලැබුණේ ඒ නිසා. ඔය හේතු සියල්ල නිසා තමයි එදා (24) මං බසයට වැඳලා ඒක ඩිපෝවට බාර දුන්නේ.
විජේරත්න මහතාගේ බිරිඳ ආර්.ඩී. චන්ද්‍රශීලි මහත්මියයි. ඇය සිය සැමියා දකින්නේ මෙලෙසය.
අපි දෙන්නා විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. මං අම්මත් එක්ක මිරිස් හේනට වතුර හරවන්න ගිය අවස්ථාවක තමයි මුලින්ම එයාව හමුවුණේ. ඒ හැඳුනුම්කම් වැඩිදියුණු වෙලා අපි විවාහ වුණා. මේ විවාහයට මුලින් අපේ පැත්තෙන් විරුද්ධ වුණා. පස්සේ ඉතින් ඒවා නැතිවෙලා ගියා.
මහත්තයා රස්සාව අකුරටම කළා. පැරකුම්පුර පාරේ වැඩ කරන දවස්වලට දවල්ට බත් එක අරන් මං පාරට යනවා. බැරි වෙලාවත් මං ඒ එනකොට පාරේ හිටියේ නැත්නම් එයා දිගටම බස් එක අරන් යනවා. බත් එක අරන් මං මඟ එනවා දැක දැකත් එයා බස් එක අරන් ගිය අවස්ථා ගොඩක් තියෙනවා. පාරේ මිනිස්සු රස්තියාදු කරන්න බෑ කියලා තමයි එහෙම කරන්නේ. හැබැයි හවසට ගෙදර ඇවිත් ඒ ගැන දබර කරන්නේ නෑ.
ගුණයහපත්කම අතින් නම් හරිම හොඳයි. වත්තේ පොල් කැඩුවාමත් පොල් ගහකට තුවායක් එළලා වඳිනවා. අපට ජීවත් වෙන්න පොල්ගස් ටික උදව් කරනවා කියලා තමයි එහෙම වඳින්නේ. දුම්පානය, මත්පැන් පානය කරන්නේ නෑ. මට අසනීපයක් හැදුණොත් උයලා දෙන්නේ මහත්තයා. මගේ රෙදි ටික පවා සෝදලා දෙනවා.
බස් රථයට වඳින කතාවක් මටවත් කීවේ නෑ. එදා හදිසියේම ඇවිත් සුදු රෙද්ද බෑග් එකකට දාගෙන ගියා. පස්සේ තමයි දැනගත්තේ බසයට වැඳලා බාරදුන්නා කියලා.යි චන්ද්‍රශීලි මහත්මිය කීවාය.
බුදුහිමි ලොවට කියාදුන් පළමු පාඩමට අනුගත වෙමින් තමන් ඇතුළු සිව්දෙනකුට පෝෂණය වීමට පිහිටවූ බස් රියට සේවයෙන් සමුගත් විට දණ බිම ඔබා නමස්කාර කළ මේ කෘතවේදී මිනිසාට චිරං ජයතු! කියා අපි ඔහුගෙන් සමුගත්තෙමු.
සටහන හා පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර