
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්ත සඳහා අවශ්‍ය වන රත්ත්‍රන් ආනයනය කිරීමේදී පසුගිය රජය මගින් පනවා තිබූ සියයට 15ක් වන ආනයන බද්ද සහ උපයන ලාභය මත පනවා තිබූ සියයට 14ක ආදායම් බද්ද ඉවත් කරන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීම නිසා එම කර්මාන්තකරුවෝ අතිශයින් සතුටට පත්ව සිටිති. පසුගිය රජය මගින් 2017 අප්‍රේල් මස සිට මෙම බද්ද පනවා තිබුණු අතර ජනාධිපතිවරයා පත්වීමෙන් පසු මේ බව නිවේදනය කළේ එම කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ කරන ලද සාකච්ඡාවකදීය.
මේ හේතුව නිසා රත්ත්‍රන් වැඩිපුර ආනයනය කිරීමෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රගමනයක් සිදුවන අතර ස්වර්ණාභරණ නිපදවීමට අවශ්‍ය කරන දියමන්ති වෙනත් ගල් සහ ලෝහ වර්ග ආනයනය කිරීමේ වියදමද පහළ යනවා ඇත. එසේම දේශීය වශයෙන් ස්වර්ණාභරණ සඳහා පාවිච්චි කරන මැණික්, පසිංගල් හා කුඩා ඛනිජ ගල් වර්ග සහ ලෝහ වර්ග අලෙවියද ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. මෙය රටේ එම ව්‍යාපාරවල නිරත අයගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට හේතුවනවා ඇත. එසේම අපේ රටේ නිෂ්පාදනය කරන ස්වර්ණාභරණ ප්‍රමිතියෙන් ඉහළ වන අතර ඒවා අපනයනය කර විදේශ විනිමය ලබාගැනීමේ අවස්ථාවද සැලසී තිබීම අපේ විදේශ විනිමය ගැටලුවට ද යම් පමණක විසඳුමක් වන බව අපේක්ෂා කෙරේ. එසේම දැනටමත් ලෝක වෙළෙඳපොළේ රත්ත්‍රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවා විශාල ලෙස ඉහළ යාම නිසා දේශීය ස්වර්ණාභරණවල මිලටද සිදුව ඇති අහිතකර බලපෑම යම් පමණකින් හෝ පාලනය කිරීමක් සිදුවිය හැකි බව එම කර්මාන්තකරුවෝ පවසති.
ස්වර්ණාභරණ මිල අඩුවීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ දේශීය ස්වර්ණාභරණවලට පවතින ඉල්ලුම ඉහළ යාම නිසා අපනයන ආදායම ඉහළ යාමෙන් ආර්ථික වාසියක් සැලසෙනවා ඇත. 1971 වසරේ සිට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තට දී තිබූ බදු සහනය යහපාලන රජය මගින් 2017දී අවලංගු කළ අතර ඒ හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ අපනයනයෙන් ලැබෙන සත්‍ය ආදායම හෙළි නොවන තත්ත්වයක් උද්ගත විය. එසේම විවිධ අවිධිමත් ක්‍රම මගින් රත්ත්‍රන් මෙරටට හොර පාරේ ගලා ඒම වැඩි වී තිබූ අතර එයින් නියම ව්‍යාපාරිකයන්ට විශාල අසාධාරණයක් සිදු වූ බවට මැසිවිලි නැගිණි. එවැනි පරිසරයක මෙලෙස බදු ඉවත් කිරීම බොහෝදෙනාගේ පැසසුමට ලක්ව තිබේ.
ස්වර්ණාභරණ සඳහා ලෝක වෙළෙඳපොළේ දැඩි තරගකාරීත්වයක් පැවතුණද ශ්‍රී ලංකාවේ මැණික් ආදිය ඔබ්බවා තනන ස්වර්ණාභරණ සඳහා කවදත් පැවතුණේ දැඩි ඉල්ලුමකි. එසේ වුවද ආනයන බද්ද යළි පැනවීම නිසා ඒවායේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් යම් පමණකට අලෙවියට බාධා එල්ලව තිබුණු බව කිව හැකිය. මිල අඩු කෘත්‍රිම භාණ්ඩවලට ඇති ඉල්ලුම ඉහළ යාමද එයට හේතුවක් විය.
බදු පැනවීම නිසා සිදුවූයේ අනවසරයෙන් රත්‍රන් මෙරටට ගෙන්වීමට ඇතැම් කූට ව්‍යාපාරිකයන් උත්සාහ කිරීමය. පසුගිය සමයේ රන් බිස්කට් ස්වරූපයෙන් සහ වෙනත් භාණ්ඩ බවට පත්කර විවිධ හොර පාරවලින් රත්ත්‍රන් මෙරටට ගෙන්වීම දිගටම සිදුවූ අතර මෙයින් අත්අඩංගුවට ගත හැකිවූයේ සුළු ප්‍රමාණයකි. මෙරටට රත්ත්‍රන් ගෙන්වන බහුල ක්‍රමයක් වූයේ ඒවා ගිල දමා පැමිණීමය. මෙවැනි අවස්ථාවල ගුවන් තොටුපොළ ආරක්ෂක අංශවලට මේ වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අපහසු බව කිව යුතුය.
හර්ෂ ඉලුක්පිටිය - ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්
මෙම ආනයන බද්ද ඉවත් කිරීම හදිසියේ සිදු නොවන අතර එය සිදුකරන්නේ ඉදිරියේ ඉදිරිපත් කරන අයවැය ලේඛනය මගින්. අද හෙට ගැසට් කිරීමක් සිදුවන්නේ නැති නිසා කිසිවෙක් කලබල විය යුතු නැහැ. අනිත් අතට මෙයින් රත්‍රන් ආනයන කටයුතු කරන සැමදෙනාටම සහන දෙන්නේ නැහැ. විමර්ශනයක් කරලා සැබෑ ලෙසම මෙම කර්මාන්තයේ නියැලෙන අයට පමණයි මේ බදු සහනය දෙන්නේ.
අප මේ වනවිට එවැනි කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තියෙනවා. එය මේ සැප්තැම්බර් මාසයේ අගින් අවසන් වුණා. මෙම කර්මාන්තකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අදාළ ආකෘති පත්‍ර තුළින් ලියාපදිංචි කරනවා. දැනට 3000 පමණ අය විස්තර එවා තියෙනවා. ඒ අය ඇත්තවශයෙන්ම එම කර්මාන්තයේ යෙදෙන අයද යන්න පිළිබඳ සොයාබලා විමර්ශනයකින් අනතුරුව එසේ නිරතවන බව ස්ථිර වශයෙන් දැනගෙන තමා මේ සහනය දෙන්නේ. එසේම ඔවුන් යෙදෙන කර්මාන්තය අනුව අවශ්‍ය වන රන් ප්‍රමාණය කොපමණද යන්න ද ගණනය කරනවා. අවශ්‍යතාව පමණක් ආනයනය කිරීමේදී පමණයි සහනය දෙන්නේ. අපේ නිර්දේශ අනුව මේ සුදුසු අයට රාජ්‍ය බැංකුවලින් මෙම බදු සහනය දෙනවා. මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නේ සුදුසු අවශ්‍ය අයට පමණක් බදු සහනය දීමට අවශ්‍ය නිසයි. මේ තුළින් විශාල වශයෙන් අයථා ක්‍රියා සිදුව තිබෙන බව පෙනී ගොස් තිබෙනවා.
2016දී මුල්වරට රත්ත්‍රන් කර්මාන්තය සඳහා මෙම බදු නිදහස දුන්නා. එහිදී එම වසරේදී පමණක් රත්ත්‍රන් ටොන් 10ක් ආනයනය කර තිබෙනවා. 2017දීත් විශාල ලෙස ගෙනා අතර 2018 ජනවාරි සිට අප්‍රේල් දක්වා කිලෝ 12,000ක් ආනයනය කර තිබෙනවා. බදු සහන පාවිච්චි කර විශාල වශයෙන් අයථා ප්‍රයෝජන ලබාගැනීම සිදුව තිබෙනවා. මේ තරම් ගෙන්නුවේ බොහෝවිට නියම රන් කර්මාන්තකරුවන් නෙවෙයි. ජාවාරම්කාරයන්. ඔවුන් බදු සහනයෙන් ප්‍රයෝජන ගත්තා. අපේ විදේශ විනිමයද නාස්ති වුණා. අපේ විදේශ සංචිත මේ හේතුවෙන් නැත්තටම නැති වුණා. නියම කර්මාන්තකරුවා අමාරුවේ වැටී ඇත. මේ තරම් බදු නිදහස පාවිච්චි කරලා ගෙන්වූ රන්වලින් කර්මාන්තයට සිදුවූ යහපතක් නැහැ. ජාවාරම්කරුවන් කළේ බදු නිදහස ප්‍රයෝජනයට ගෙන රත්‍රන් ආනයනය කරලා විශාල ලෙස මුදල් ඉපැයීමයි. ලෝක වෙළෙඳපොළේ සියයට 14ක බද්දක් රත්ත්‍රන්වලට ගහනවා. ඉන්දියාවේ බද්ද සියයට 12යි. මේ අය කළේ බදු නැතුව මෙරටට ගෙන්වලා ආපසු ඉන්දියාව වැනි රටවලට යවා විශාල ලෙස මුදල් ඉපැයීමයි. මෙහිදී සත්‍ය ලෙස කර්මාන්තයේ යෙදෙන අය අපහසුතාවයට පත්වුණා. මෙම තත්ත්වය පාලනය කිරීමට තමයි සියයට 15ක බද්දක් පනවන්න සිදුවුණේ. බදු පැනවූ දිනයේ සිට මේ දක්වා රත්‍රන් කිලෝ 07ක් පමණක් ආනයනය කර ඇත්තේ. එයින් පෙනෙනවා නියම ව්‍යාපාරිකයන් කවුද කියලා.
බදු නිදහස දෙන බව ප්‍රකාශ කළාට පසු බොහෝදෙනා කලබලයට පත්ව ඇති බව පෙනෙනවා. සමහරුන් වෙන වෙන වත්කම් අලෙවි කරලා රත්ත්‍රන් ගෙන ඒමට මේ වනවිට සූදානම් වී තිබෙන බව දැනගන්නට ලැබී තිබෙනවා. එහෙත් අපි මේ වාරයේනම් මෙම සහනය දෙන්නේ බොහොම පරෙස්සමෙන් සුදුසුම අයටම පමණයි. බද්ද නිසා අමාරුවේ වැටුණු ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට ණය දීලා සහන සැලසීමයි මෙහි අරමුණ. එය නිසි ක්‍රමවේදයකින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. අයවැය ලේඛනයෙන් මෙම සහනය ප්‍රදානය කළාට පසු සුදුසුම කර්මාන්තකරුවන්ට සහනය දීමට කටයුතු කරන බව කිව යුතුයි. මෙය මුල් අවස්ථාවේ තරමක් අභියෝගාත්මක විය හැකියි.
සමස්ත ලංකා ස්වර්ණාභරණ ව්‍යාපාරික සංගමයේ භාණ්ඩාගාරික සහ සීමාසහිත සරීටා ජුවලරි පෞද්ගලික සමාගමේ අධිපති ආර්. බාලසුබ්‍රමනියම් පවසන්නේ මෙම බදු ඉවත් කිරීම නිසා තම කර්මාන්තකරුවන්ට සහ ඔවුන්ගෙන් යැපෙන පවුල්වල ලක්ෂ පහක පමණ සංඛ්‍යාවට යහපතක් සිදුවන බවය.
&ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් ලක්ෂ දෙකක් පමණ සිටින අතර එම කර්මාන්තයට සම්බන්ධ සෘජු සහ වක්‍ර ආදායමෙන් ජීවත් වන ලක්ෂ 5ක පමණ සාමාජික සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ට මෙම බදු සහනය මගින් විශාල යහපතක් සිදුවෙනවා. එය මෙම කර්මාන්තයේ ඉක්මන් ප්‍රගතියටද බලපාන බව කිව යුතුයි. මෙය ජනතාවාදී තීරණයක්.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා තිබූ සියයට 14ක ආදායම් බද්ද ඉවත් කරන බව ප්‍රකාශ කිරීම අප අගය කරනවා. එහෙත් මේ බදු නිදහස තවමත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නැහැ. එය ඉදිරියේදී සිදුවේයැයි අප බලාපොරොත්තු වෙනවා. මෙයට අතිරේක වශයෙන් සියයට 5ක නිෂ්පාදන බද්දක් ද ගෙවිය යුතුයි. එය අඩු වී නැහැ.
පසුගිය යහපාලන රජය මගින් මෙම විශාල බද්ද පනවා තිබූ අතර ඒ හේතුවෙන් මෙම කර්මාන්තයේ සහ ව්‍යාපාරවල නිරත පිරිස්වලට විශාල අසාධාරණයක් සිදුවූවා. බද්ද ලිහිල් කරන ලෙසට අප සංගමය ඒ කාලයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා පසුගිය වසර තුනක කාලයක් තුළ ආනයනය කිරීම බොහෝදුරට අඩුව තිබුණා.
වර්තමාන රජය මගින් මෙම බදු සහනය වගේම මෙම කර්මාන්තයේ නියැලුණු අයට සහන පොලිය මත රුපියල් ලක්ෂ 10 දක්වා ණය දීමටද සූදානම්ව තිබෙනවා. මෙම කර්මාන්තයේ නිරත පිරිස් වැඩි වශයෙන් සිටින්නේ මාතර, ගාල්ල, ගම්පහ, මඩකලපුව වැනි දිස්ත්‍රික්කවලයි. ඒ අයට එය විශාල සහනයක්.
මේ වනවිට ලෝක වෙළෙඳපොළේ රත්ත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1860 පමණ වෙනවා. ඉස්සර ඩොලර් 1600 පමණයි වුණේ. අපේ රුපියලේ ඩොලර් අගය අනුව එම මිල අපට අනුගත කරගත යුතුයි. කැරට් 24 රත්‍ත්‍රන් මේ වනවිට අපේ රටේ රුපියල් 99500 වෙනවා අවුන්සයක මිල. මෙලෙස බදු අඩුකිරීම නිසා අපේ මිල රුපියල් 5000 පමණ අඩුවෙනවා ඇති. පසුගිය සමයේ රත්‍රන් මිල ඉතාම ඉහළ නැග්ගේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්. ඒ නිසා මේ මිල දිගටම තියෙන්නේ නැහැ. රෝගය සමනය වූ පසු සාමාන්‍ය තත්ත්වයට පත්වේවි.
කෙසේ වුවත් අපේ රටේ හොර පාරෙන් රන් ආනයනය කිරීම ඉහළ ගොස් තිබෙනවා. මෙය විශාල ජාවාරමක් බවට පත්වෙලා. සෑම දිනම වගේ අනවසරයෙන් ගෙනෙන රන් බිස්කට් අත්අඩංගුවට ගන්නා බව ප්‍රචාරය වෙනවා. එහෙත් සත්‍ය වශයෙන්ම මෙයට වඩා වැඩි ප්‍රමාණයක් මෙරටට දිනකට එනවා. එහෙත් අසුවෙන්නේ ඉන් කුඩා කොටසක් පමණයි. රේගු නිලධාරීන් සහ අදාළ අංශ මෙයට වඩා ක්‍රියාත්මක වුවහොත් මේ තත්ත්වය පාලනය කරගත හැකියි.
මෙම බදු සහනය ලැබුණොත් අපේ රත්ත්‍රන් මිල මුළු දකුණු ආසියාවෙන්ම අඩු බවට පත්වෙයි. විදේශවලින් එන අයට රත්ත්‍රන් ගන්න ඩුබායි ආදී අරාබි රටවලට නොගිහින් අපේ රටෙන් අඩුවට මිලට ගත හැකිනම් එය අපට විදේශ විනිමය උපදවීමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙනවා. අපේ සංචාරක ව්‍යාපාරය යළි ප්‍රවර්ධනය වූ පසු මෙම බදු සහනය නිසා අපේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබාගත හැකිවෙනවා. විදේශ සංචාරකයන් මගින් අපේ ස්වර්ණාභරණ හා මැණික් ව්‍යාපාරයට ලොව පුරා විශාල ප්‍රචාරයක් ලබාගන්නටද පුළුවන්.
යසවර්ධන රුද්රිගු