හාස්‍ය රසය තුළින් දශක ගණනාවක් පුරා රටක් වසඟයට පත්කළ සොඳුරු කලාවේදියකු වූ ප්‍රතිභාපූර්ණ රංගවේදී ටෙනිසන් කුරේගේ හදිසි වියෝව අප කාගේත් හදවත් කම්පා කළ පුවතක් විය. අව්‍යාජත්වය හා මානුෂික ගති පැවතුම්වලින් හෙබි අති දක්ෂ රංගන ශිල්පියකු, නාට්‍යකරුවකු හා සිනමා අධ්‍යක්ෂවරයකු වූ ටෙනිසන් කුරේ සැබෑ දිවියේ රඟපෑවේ නැත. ඔහු සුවිශේෂී වන්නේ ඒ නිසාය. මහ පොළොවේ පය ගසා ජීවත්වූ අපේ ආදරණීය කලාවේදියා මාධ්‍ය මිතුරන්ට දැක්වූයේ ඉමහත් සෙනෙහසකට වඩා ගෞරවයක් බව අප කවුරුත් හොඳින් දන්නා කාරණයකි. කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත්, මාධ්‍යවේදීන් හා සුහදව ගනුදෙනු කිරීමට, ඔවුන් වෙනුවෙන් ඕනෑම වෙලාවක කාලය මිඩංගු කිරීමට, ඔහු මුහුණදුන් හාස්‍යජනක සිද්ධියක් ඔහුගේ මතකයෙන් ගිලිහෙන්නට මත්තෙන් ඒ බව අපට කියන්නට ඔහුට වෙලාව හරස් වූයේ නැත.
“මාධ්‍ය නැත්නම් අද ටෙනිසන් කුරේ කෙනෙක් නැහැ” ඔහු නිතරම පැවසුවේ මෙවන් අදහසකි. ඔහු එසේ කියන්නේ හදවතින්ය.
1952 අප්‍රේල් මස 30 වැනි දින මොරටුව උපන් මෙරෙඤ්ඤගේ එඩ්වඩ් ටෙනිසන් කුරේ, අධ්‍යාපනය ලැබුවේ මොරටුව මෙතෝදිස්ත විදුහලේය. බර්මින් ලයිලි ප්‍රනාන්දු හා එක්ව ටෙනිසන් කුරේ 1972 දී (හදබැඳි සිත්තම්) නමින් විත්ති කතා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර, ඔහු සිනමා රංගනයට අවතීර්ණ වූයේ හේමසිරි සෙල්ලප්පෙරුමගේ “ජීවන්ති” චිත්‍රපටයේ සුළු චරිතයකට පණ පොවමින්ය. දිනේශ් ප්‍රියසාද්ගේ “නොම්මර එකයි” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ ටෙනී සහ බන්දු සමරසිංහ සුසංයෝගය සිංහල සිනමාවේ තවත් එක් පරිච්ඡේදයක ඇරඹුමක් සනිටුහන් කළේය.
1986දී ටෙනිසන් කුරේ කතාව, දෙබස් හා තිරරචනය ලියූ “පෙරළිකාරයෝ” චිත්‍රපටය ඔහුගේ කලා දිවියේ තවත් එක් අමතක නොවන සංධිස්ථානයකි. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ “පෙරළිකාරයෝ” ආදායම් වාර්තා බිඳහෙලූ අති සාර්ථක චිත්‍රපටයක් විය.
“පසුගිය අවුරුදු 15ක කාලය තුළ මාව බොහෝ චිත්‍රපටවල රඟපාන්න ගත්තා. එයින් බොහොමයක් ඒවා බාගෙට නවතිනවා. ඒත් මගේ අතටම අහුවෙලා තියෙනවා. ඔය වගේ බාගෙට නැවතුණු චිත්‍රපටවලට මගේ අනෙකුත් චිත්‍රපටවල කෑලි අමුණලා ඩී.වී.ඩී. තැටි හදලා විකුණනවා. මේ වංචනික වැඩ අල්ලන්න වෙන්නෙත් අපටම තමයි. ලංකාවෙ අද වැඩියෙන්ම විකිණෙන්නෙ මගේ ඩීවීඩී පට. ඒත් මම ඩීවීඩී චිත්‍රපට පහකට වඩා රඟපාලා නැහැ. ඒත් මම ඉන්න ඩීවීඩී චිත්‍රපට සිය ගාණක් වෙළඳපොළේ තියෙනවා. චිත්‍රපටවලට අරගෙන මේ වගේ මාව විකුණං කන්න එපා කියලා මම කාරැණිකව ඉල්ලා හිටිනවා” ඔහු අප හා අවසාන වශයෙන් සිදුකළ කතාබහකදී පැවසුවේ එවන් අදහසක්.
ටෙනිසන් කුරේ වැනි හිත හොඳ කලාකරුවන්ට අප රටේ සිදුවූ සහ අදටත් සිදුවන අසාධාරණයන්ට එරෙහිව කටයුතු කරන්නට අදාළ බලධාරීන්ට නොහැකි වීම කෙතරම් ඛේදනීයද?
මීට වසර 5කට පමණ පෙර ටෙනිසන් කුරේ, අවුරුදු 115ක් පමණ පැරණි “සිවම්මා ධනපාල” ටවර් හෝල් නාට්‍යයේ නව නිෂ්පාදනයක් වේදිකාගත කිරීමටද දැඩි කැපවීමෙන් කටයුතු කළේ ඔහුගේ පෞද්ගලික වියදමෙනි. එහි එක් අරමුණක් වූයේ එම ඓතිහාසික නාට්‍යයේ සෑම දර්ශනයකින්ම ලැබෙන ආදායමෙන් රු.25,000/-ක මුදලක් ටවර් හෝල් පැරණි නළු නිළියන්ගේ අරමුදලට බැර කිරීමය. එවකට ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂිකා ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මියගේ මැදිහත්වීමෙන් මේ ප්‍රශංසනීය කාර්යභාරය දියත් කළද, වැඩිකල් යන්නට මත්තෙන් ටවර් හෝල් පදනමේ එවකට සිටි බලධාරීන් විසින් මෙය නතර කර දැමුනේ ටෙනිසන් කුරේගේ හිතට දැඩි කම්පාවක් ඇති කරමිනි.
ටෙනිසන් කුරේ තුළ තිබුණු මහත්මා ගතිගුණ බොහෝ විට යටපත් වූයේද, නිසි අවධානයට හෝ අගැයීමට ලක් නොවූයේද ඔහු හාස්‍යෝත්පාදන රංගන ශිල්පියකු වූ නිසාදැයි සිතෙන වාර අනන්තය.
විවිධ ආයතනවල සුබසාධන සංගම්වලට අරමුදල් තරකර ගැනීම සඳහා ඔහුගේ වේදිකා නාට්‍ය ලබාගන්නා ආයතන වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් යම් පරිත්‍යාගයක් කිරීමටද ඔහු හැකි සෑමවිටම කටයුතු කළේ අනෙකුත් නාට්‍යකරුවන් හා කලාකරුවන්ට අපූරු පූර්වාදර්ශයක් ලබා දෙමින්ය. ඔහුගේ නාට්‍ය නිර්මාණවලට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු බව නොරහසකි. ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ඔහුගේ නාට්‍යවලට ලැබුණේ සුවිශේෂී ප්‍රේක්ෂක ආකර්ෂණයකි.
දිනේෂ් ප්‍රියසාද් තම මතකය මෙසේ අවධි කළේය.
“මම ටෙනීත් එක්ක ආශ්‍රයට වැටෙන්න 1971 – 72 කාලෙ. ඔහු අපේ ගෙදරට යනවා එනවා. මමත් ඔහුගේ ගෙදරට යනවා එනවා. ඔහු අපේ ගෙදරට එන්නෙ හෝල්ඩන් කාර් එකක. ඔහු ඒ කාලෙ එක්තරා ප්‍රසිද්ධ සමාගමක පියානෝ අලුත්වැඩියා කළා. සමහර දවස්වලට ඔහු වැඩට යන්නෙත් නැතුව අපේ ගෙදර දවසම ගත කරනවා. මොකද අපේ ගෙදර ඔහුට තෝතැන්නක් වෙනවා සිනමාව පිළිබඳව. අපේ ගෙදර සිනමාව ගැන පොත්පත් තියෙනවා. චිත්‍රපට තියෙනවා. චිත්‍රපට රෝල් තියෙනවා. එයාටත් ඒකෙන් චිත්‍රපට පිස්සුව ආවා. මට ඒක තදේටම තිබුණා.
මගේ ලොකු වුවමනාවක් තිබුණා ටෙනීව නළුවෙක් කරන්න. මම අතින් වියදම් කරගෙන ටෙනීව ගෙනියනවා සිංහල චිත්‍රපට රූගත කරන චිත්‍රාගාරවලට. ගිහින් අධ්‍යක්ෂකවරුන්ට ඔහුව හඳුන්වලා දෙනවා. ඒත් කවුරුත් ඔහුට චාන්ස් එකක් දුන්නෙ නැහැ. මම ටෙනීට පොරොන්දු වුණා කවදා හරි දවසක උඹව මම ලංකාවෙ ජනප්‍රිය නළුවෙක් කරනවා කියලා. මම එතකොට චිත්‍රපටයක් කරන්න හිතලවත් නැහැ. ඒත් මට රාජ් රණසිංහ හමුවෙනවා. ඔහු චිත්‍රපටයක් කරන්න මට බාරදෙනවා පොඩි බජට් එකකට. බජට් එක අඩු නිසා ඒකෙ ඩබිං නැහැ. කළු සුදු චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයට මම ටෙනී සහ බන්දුව ගත්තෙ ප්‍රධාන චරිතෙට. ටෙනීට දුන්නු පොරොන්දුව මම ඉෂ්ඨ කළේ එහෙම. ඒ චිත්‍රපටය මොරටුව ටවර් එකේ අපි කිහිප දෙනෙක් බැලුවා. රාජ්, මම, ටෙනී, බන්දු සහ රාජ්ගේ මාමා කෙනෙක් වූ කමලවර්ණ ජයකොඩි. ඔහු තමයි කිව්වෙ අපරාදෙ මේ ෆිල්ම් එක කළු සුදු ඩබිං නැතුව කළේ, මේක කලර් කරන්න කියලා. ඊටපස්සෙ තමයි මේ චිත්‍රපටය (නොම්මර එකයි) අපි අලුතින් වර්ණයෙන් රූගත කළේ. ටෙනී - බන්දු සුසංයෝගය පටන්ගත්තේ ඒකෙන්. ඒ අතරතුර රාජ් කිව්වා මට තව ලොකු චිත්‍රපටයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. ඒ අනුව අපට නිෂ්පාදක තිලක් අතපත්තු හමුවෙනවා (පෙරළිකාරයෝ) කරන්න. දෙබස් තිරනාටකය ලිව්වෙ ටෙනී. මම අධ්‍යක්ෂණය කළා. අපි දෙන්නට රු. 10,000 ගාණෙ ඇඩ්වාන්ස් ලැබුණා. ඒ කාලෙ ඒක ලොකු මුදලක්. සෑහෙන කාලයක් ගියා අපි දෙන්නට ඒ මුදල වියදම් කරන්න. ඊටත් කලින් ටෙනී හේමසිරි සෙල්ලප්පෙරැමගෙ ජීවන්ති චිත්‍රපටයේ පොඩි කොටසක් රඟපාලා තිබුණා. මෙතනදි මම තවත් විශේෂ දෙයක් කියන්න ඕනෙ.
ටෙනී ඉස්කෝලෙන් අස්වුණාට පස්සෙ මුලින්ම වැඩ කළේ මිනීපෙට්ටි සාප්පුවක. මම කිව්වා ටෙනීට කොහෙවත් ඒ ගැන කියන්නෙපා කියලා. ඒත් ටෙනී කිව්වා නැහැ මම කවදා හරි නළුවෙක් වුණු දවසට ඒක කියනවා කියලා. මම මේක කියන්නෙ ටෙනීගෙ අවසරය ඇතිව. ඒ වගේම තමයි ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නළු ෂෝන් කොනරිත් කාලයක් නිව්යෝර්ක් නුවර මිනීපෙට්ටි සාප්පුවක වැඩ කරලා තියෙනවා කියලා සමහරු නොදන්නවා ඇති”.
ටෙනී සහ බන්දු මුලින්ම එකට රඟපෑවෙ “නොම්මර එකයි” චිත්‍රපටය සඳහා නිර්මාණය වුණු කළු සුදු චිත්‍රපටයේය. එහි දෙබස්, ශබ්ද, සංගීතය නොවීය. පසුකලෙක එය වෘත්තාන්ත වර්ණ චිත්‍රපටයක් බවට පත්විය.
ටෙනීගේ හදිසි වියෝව නිසා කම්පා වී සිටින නිසා ජනප්‍රිය රංගන ශිල්පි බන්දු සමරසිංහ මේ පිළිබඳව ඔහුගෙන් කිසිවක් නොවිමසන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන නිසා ටෙනී ගැන සටහනක් ඔහුගෙන් ලබා ගැනීමට නොහැකි විය.
ටෙනිසන් කුරේ හුදෙක් ජෝකර් කෙනෙකු ලෙස හංවඩු ගැසුණද, සිංහල සිනමා ප්‍රේක්ෂකයන් දසදහස් ගණනින් ශාලාවලට ඇද ගැනීමේ ආකර්ෂණයක් ඔහු දායක වූ චිත්‍රපටවල තිබුණු බව පිළිගත යුතු සත්‍යයකි. ජය ශ්‍රී ඇමැතිතුමා, වැඩබැරි ටාසන් ඇතුළු චිත්‍රපට සිය ගණනකට රංගනයෙන් දායක වූ ටෙනිසන් “තෑන්ක් යූ බර්ටි” චිත්‍රපටය හරහා අධ්‍යක්ෂණයටද පිවිසියේය.
“ඔහු දර්ශන තලයේ ඉන්න වෙලාවක ඔහුගේ විහිළු කතා නිසා අපි හැමෝම වැඩකළේ බොහොම සතුටින්. ඔහු කිසිම කෙනෙක් කපාගෙන ඉස්සරහට යන්න දැඟලුවෙ නැහැ. අනික ඔහුගේ විනය ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. වෙලාවක් කිව්වොත් ඔහු හරියටම ඒ වෙලාවට දර්ශන තලයට ඇවිත් ඇති. චිත්‍රපට නිෂ්පාදක ජනිත් මාරසිංහ කීවේය.
සිසිල් ගුණසේකර ටෙනි ගැන මතකය මෙලෙස සිහිපත් කරයි.
වසර 40කට ආසන්න කාලයක් ටෙනිසන් කුරේ සමඟ සමීපව ඇසුරු කළ නාට්‍යවේදී සිසිල් ගුණසේකර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි සිටී.
ටෙනිසන් කුරේ රටම හඳුනන වේදිකා නළුවකු ලෙස පය තබන්නේ සිසිල් ගුණසේකරගේ (ගුවන් කරණම්) නිර්මාණය හරහාය. ඒ 1981 වසරේදීය. සිසිල් ගුණසේකර සමඟම ටෙනිසන්ගේ අවසාන නාට්‍යයත් මෙම වසරේ මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ වේදිකාගත වූ (ගුවන් කරණම්) වීම කෙතරම් දෛවෝපගත සිදුවීමක්ද?
1981 දී මම (ගුවන් කරණම්) නාට්‍ය පටන්ගත්තෙ අමරසිරි කලංසූරිය (කලං) ප්‍රධාන චරිතයට තෝරාගෙන. (දිමුතු මුතු) නාට්‍යයෙන් පස්සෙ කලං එදා ජනප්‍රියම නළුවා. මේ නාට්‍යයේ කොමඩි චරිතයක් තිබුණා. ඒ සඳහා නොයෙක් නම් යෝජනා වුණා. විමල් කුමාර් ද කොස්තා ඒ නාට්‍යයේ පුහුණුවීම්වලට ආවෙ ඔහුගෙ යාළුවෙක් එක්ක. කොස්තා මට කිව්වා මේ තරුණ යාළුවා මොරටුව ගමේ නාට්‍යවල රඟපාලා තියෙනවා, දක්ෂයෙක් කියලා. ඔහුව පුළුවන්නම් මේකට ගන්න, හොඳ නම් කියලා. ඔහු ටෙනී. මංගල දර්ශනයට තිබුණෙ හරියටම දින 8 යි. ටෙනී වැඩේට හරියටම ගැලපුණු නිසා එයාව තෝරාගත්තා. මංගල දර්ශනය තිබුණෙ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා ශාලාවේ. එදා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණෙ කලංටයි ටෙනීටයි. ඒ දෙන්නා වැඩේ දුන්නෙ හරියට මහේලයි සංගක්කාරයි වගේ. එදා මම ඔහුට ඒ සඳහා දුන්නු පුංචි මුදල ඔහු ඉහළින්ම පිළිගත්තා.
අපි ගුවන් කරණම් රට පුරා සෑම අස්සක් මුල්ලක් නෑරම වේදිකාගත කළා. ටෙනී ඒ හරහා රටේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැග්ගා. ගුවන් කරණම්වලින් පස්සෙ මම ටෙනී එක්ක (දෙහිවල හන්දිය), (ප්‍රාණ ඇපකරුවා), (රැල්ල), (රැලිය), (වඩමාරච්චි) වගේ ජනප්‍රිය නාට්‍ය රැසක් කළා. එක නාට්‍යයක් දර්ශන වාර දහස් ගණනක් ඉක්මවලා වේදිකාගත කළා.
ඔහොම යද්දි අපට දිගටම ගල්මුල් එන්න පටන් ගත්තා. බොහෝ කලාකරුවන්ට (සිසිල් හා ටෙනී) ඇලජික් වුණා. මමයි ටෙනීයි සැලුණෙ නැහැ. තව දෙයක් කියන්න ඕනෙ. මම ටෙනී එක්ක වසර 40ක් නාට්‍ය කළත්, ඔහු කිසිම දවසක මගෙන් කටක් ඇරලා මුදලක් ඉල්ලලා නැහැ. මම ඔහුගේ වටිනාකමට දෙන මුදල ඔහු සතුටින් බාරගත්තා.
මොන තරම් ගල්මුල්, විවේචන ආවත් මම අදටත් ගෞරවයෙන් සිහිපත් කරනවා අපේ නාට්‍ය බලන්න ඇවිත් අපට සුබ පතපු ප්‍රවීණ කලාකරුවන්, නාට්‍යකරුවන් ගැන. ඒ අතර දයානන්ද ගුණවර්ධනයන්, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ආර්.ආර්. සමරකෝන්, සයිමන් නවගත්තෙගම, ජයලත් මනෝරත්න වැනි අය ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි අපට දීපු ඒ හයියට.
ඒ කාලෙ සමහර රංගශාලා අපේ නාට්‍යවලට තහනම් කරලා තිබුණෙ. ඒකට හේතුව තමයි අපේ නාට්‍ය බලන්න සෙනඟ වැඩියෙන් ඇවිල්ලා ඒ ශාලා ඩැමේජ් වෙනවා කියලා.
අපේ රණවිරු ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරේ යුද මෙහෙයුම් කරන කාලෙ අපට ආරාධනාවක් ලැබුණා උතුරේ රණවිරැවන් වෙනුවෙන් අපේ නාට්‍ය පෙන්නන්න. මම ඒ ගැන ටෙනීගෙන් ඇහුවා, මොකද උතුරේ දිගටම යුද්ධය පවතින කාලෙ නිසා. ටෙනී කිව්වෙ “උන් වෙනුවෙන් අපි යමු. මට සත පහක්වත් එපා” කියලා. අපි සති තුනක් විතර එහෙ නැවතිලා උතුරේ කැලෑවල ගහපු වේදිකාවලත් (වඩමාරච්චි) නාට්‍ය පෙන්නුවා. එවකට ගුවන් හමුදාපතිව සිටි ඔලිවර් රණසිංහ අපට ආරාධනා කළා යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් හදන නිවාස යෝජනා ක්‍රමයකට අපිට උදව් කරන්න. ටෙනී සහ මම ඒ වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දුන්නා.
අපේ නාට්‍ය මුල් කාලෙදි එකම එක සම්මාන උළෙලකට ඉදිරිපත් කළාට ඒක හරියන වැඩක් නෙවෙයි කියලා අපි දැනගෙන ඉන්පස්සේ කිසිම සම්මාන උළෙලකට දැම්මෙ නැහැ. දෙරණ සිනමා උළෙලේදී ටෙනීට ලැබුණු සම්මානය ගැන ඔහු හිටියෙ ගොඩාක් සතුටින්. අවසන් වතාවට මා එක්ක යුරෝපයට ගිය සංචාරයේදීත් ඔහු ඒ ගැන කතා කළේ විශාල භක්තියකින්.
අරලියගහ මන්දිරයෙදි මීට කලින් කිසිම වේදිකා නාට්‍යයක් පෙන්නලා නැහැ. මීට අවුරුදු කිහිපයකට පෙර ටෙනී එක්ක මගේ (රැලිය) නාට්‍ය පෙන්නුවා අරලියගහ මන්දිරයේදී මුල්ම වතාවට.
අපි මේ අවුරුද්දෙ මුල ටෙනී එක්ක නාට්‍යයක් අරගෙන යුරෝපා සංචාරයකට සහභාගී වුණා. ඊට අවුරුදු 1 ½ට උඩදී ටෙනී අසනීපෙන් හිටියා. ඉන්දියානු වෛද්‍යවරයෙක් ඔහුව නිල බලයෙන් සනීප කළා. ටෙනී යුරෝපා සංචාරයට සහභාගී වූයේ හොඳටම සනීප වෙලා. අපි පැරීසියේ මුල්ම දර්ශනය පෙන්නුවා. පාලනය කරගන්නට බැරි තරම් සෙනඟක් ඇවිත් හිටියා. ඊටපස්සේ ඉතාලියේ වෙරෝනා නුවර දර්ශනයත් අති සාර්ථක වුණා. මිලානෝ නුවර දර්ශනයට අපි හැමෝම ආවෙ හරිම සතුටින්. ඒත් එදාම ඉතාලියේ පළවෙනි කොවිඩ් - 19 රෝගියා හමුවෙනවා. නාට්‍ය නවත්තන්න කියලා අපට රජයෙන් නියෝගයක් ලැබුණා. අපි ඊටපස්සෙ ස්විට්සර්ලන්තයට යනවා “ගුවන් කරණම්” පෙන්නන්න. අපේ නවාතැන් ඇතුළු හැම පහසුකමක්ම ලැහැස්ති කළේ ඒ පන්සලේ ලොකු හාමාදුරුවො. ඒ දවස්වල පන්සලේ බුද්ධ පූජාව ලැහැස්ති කළේ මගේ නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතය රඟපාපු මගේ බිරිඳ විමලීන්ද්‍ර කුමාරි සහ කතෝලික භක්තිකයකු වූ ටෙනිසන් කුරේ. කොරෝනා අවදානම නිසා ආපහු ලංකාවට එන්න අපිව වැඩියෙන්ම උනන්දු කළේ ටෙනී. “අපි ගෙදර යමු මචං තියෙන ෆ්ලයිට් එකකින්” කියලා ටෙනී කිව්වේ තරමක බයකින්. අපි කටුනායකින් බැහැලා ගෙදර ගියා. ලංකාවෙ නිරෝධායනය නීතිය ක්‍රියාත්මක වුණේ හරියට ඊට පහුවදා. ටෙනීගෙයි මගෙයි වසර 40කට ආසන්න මිත්‍රකම ගැන මට සති ගණන් කතා කරන්න පුළුවන්.
ඒත් මට එක දෙයක් කියන්නම ඕනෙ. ටෙනීගෙ මළගෙදරට ඇවිත් සමහර ඉහළ පෙළේ කලාකරුවො මාධ්‍යවලට ටෙනී ගැන කියන ගුණ වර්ණනා ඇහෙද්දි දකිද්දි මට ලැජ්ජයි. ඒ ගොල්ලො ඒ කාලෙ ඔහුට ගල් මුල් නොගහා ඔහුගේ වටිනාකමට නිසි තැනක් දීලා තිබුණා නම් ටෙනී තවත් කාලයක් සතුටින් ජීවත් වෙනවා.
ටෙනිසන් කුරේගේ සියලු සිහින සැබෑ කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණද, එකම එක හීනයක් පමණක් ඔහුට හැබෑකර ගැනීමට නොහැකි විය.
සිංහල ප්‍රේක්ෂාගාරය මෙන්ම ඉංග්‍රීසි ප්‍රේක්ෂාගාරයත් ආක්‍රමණය කිරීමට ඔහුට විශාල සිහිනයක් තිබිණි. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ හසල දැනුමක් තිබුණු ඔහුගේ අවසාන කාලයේ එවැනි ඉංග්‍රීසි කොමඩියක් කිරීමට සාකච්ඡා කරමින් සිටියේය. ඔහුගේ ජීවිතයේ බොඳවුණ එකම සිහිනය එය විය හැක.
රමේෂ් උවයිස්