සති අන්ත ජාතික පුවත්පත්වල මංගල දැන්වීම් අතිරේකයේ දැන්වීමක් පළකිරීම ඔහුගේ සිරිතය. වයස අවුරුදු 60 – 70 තරම් වූ අවිවාහක, වැන්දඹු හෝ දික්කසාද කාන්තාවක් විවාහය සඳහා සොයාගැනීම එහි අදහසය. එවැනි කාන්තාවන් හා සමීප ඇසුරක් තබාගෙන ඔවුන් සතු මුදල් දේපළ කොල්ලකා පලායාම පුරුද්දක් කරගෙන එවැනි අහිංසක කාන්තාවන් දස දෙනකුට වඩා විවාහ කරගත් මොහු ග්‍රාමසේවක නිලධාරීවරයෙකි.
මෙම වංචාකාර ග්‍රාම නිලධාරීගේ උගුලට හසුවූ උගත් ධනවත් කාන්තාවන් ගණනාවක් ඒ අයගේ ආත්මගරුත්වය, පවුලේ තත්ත්වය වැනි කරුණු සලකා සියල්ල රහසේ විඳ දරාගත්හ. එහෙත් එසේ රුවටීමට ලක්වූ එක් කාන්තාවක් කොළඹ පිහිටි පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිදුකළ පැමිණිල්ලෙන් මේ කතාව එළියට ආවේය.
එම පැමිණිල්ලට අදාළව පැමිණිලිකාරිය විසින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති පුවත්පත් පිටු කිහිපයකි. මංගල දැන්වීම් අතිරේකයට අයත් එම පුවත්පත් 2018 සැප්තැම්බර් 9 වැනිදා, 2018 අගෝස්තු 26 වැනිදා සහ 2019 මාර්තු 3 වැනි ඉරිදා දිනයන්ට අයත්ය. එකකට එකක් වෙනස් උපන්දින, වයස, රැකියාව ඇතුළු තොරතුරු ඇතුළත් කරමින් යොමු කරන පුවත්පත් දැන්වීම් අතුරින් එකක මෙසේ දකින්නට හැකිය.
“1962 උඩරට බොදු ගොවි බීට්ටු වන නිලධාරී මාගේ ඇරයුම අවංක සහකාරියකටයි. ජීවිතයේ අවසන් කාලය සැනසීමෙන් නිදහසේ ගතකිරීමට කැමති දික්කසාද, වැන්දඹු, ළමයි ඇති නැති පවුල් බරින් තොර කෙනෙකුට ඇරයුම්.”
මෙම දැන්වීම අනුව අවුරුදු 58ක පුද්ගලයකු වශයෙන් පෙනී සිට සිය විවාහය සඳහා සහකාරියකට ආරාධනය කරයි. තමාගේ විශ්‍රාම කාලය සතුටින් නිදහසේ ගතකිරීමට සැමියා මියගිය හෝ දික්කසාද වූ බාහිර කරදර නොමැති තැනැත්තියකට ඇරයුම් කරමින් එම දැන්වීම පළ කර ඇත.
මේ අතර සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලට අදාළ පුවත්පත් දැන්වීමක් මෙසේ පළ කර තිබිණ.
“1958 ගම්පහ කතෝලික අවිවාහක රජයේ විශ්‍රාම මාගේ ඇරයුම අවංක සහකාරියකටයි. ආගම් කුලබේද කිසිවක් නොසලකමි. ජීවිතයේ අවසන් කාලය සැහැල්ලුවෙන් සැනසීමෙන් ගෙවීමට දික්කසාද, වැන්දඹු හෝ වැඩි වයස් කම්නැත. (වරදට සමාව)”
මේ ආකාරයට ධනවත් කාන්තාවන් විවාහ කරගෙන එම කාන්තාවන් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කර පලායන වංචනික පුද්ගලයාට හසුවූ කාන්තාවක් වන ඇය සෞඛ්‍ය සේවාවේ රැකියාවක නිරතව සිට විශ්‍රාම ලැබූ මේට්‍රන්වරියකි. විශ්‍රාම සුවයෙන් පසුවෙමින් සිටි ඇය ජාතික පුවත්පතක දුටු මංගල දැන්වීම පිළිබඳ ආසාවෙන් ඊට පිළිතුරු ලිපියක් ලියා අදාළ පුද්ගලයා සමඟ සබඳතාවක් ගොඩනගාගෙන ඇතැයි පැවසේ. පසුව විවාහ ගිවිසගැනීම පිළිබඳ තීරණයක් ගෙන ඇති අතර, දෙපාර්ශ්වයේ සමීපතම ඥාතීන් කිහිප පොළක් ඉදිරියේ විවාහය ලියාපදිංචි කොට තිබුණේ සුහදශීලී සංග්‍රහයක් ද පවත්වමිනි. දැන්වීමේ පළකර තිබූ ආකාරයටම මෙම කාන්තාව අලුත විවාහපත් ස්වාමියා සමඟ ආදරයෙන් කල්ගෙවන අතරතුර ඇය සතුව ඇති ලක්ෂ 70කට අධික මුදල් තොගයක් ඔහු වෙත පරිත්‍යාග කොට තිබුණේ ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහාය. මේ සඳහා බැංකු පොතේ තැන්පත් මුදල්, ඉඩමක් අලෙවි කර ලබාගත් මුදල් සහ රත්‍රං උකසට තබා ලබාගත් මුදල ද ඇතුළත් වන බව පොලීසියට දන්වා ඇත. මුදල් ලබාගත් දා සිට තමා මගහැර සිටින බවද ජංගම දුරකථනය ක්‍රියා විරහිතව පවතින බවද ඊට පෙර ඔහු විසින් සිම්පත් කිහිපයක් භාවිත කළ බවද නිරීක්ෂණය වී ඇතැයි ද ප්‍රකාශ කර තිබේ.
මෙසේ වංචාවක් සිදුකරන බවට සැක කරමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සිතූ කාන්තාවක තමා මුහුණදුන් සිදුවීම් සමඟ අදාළ ලිපි ලේඛන ගණනාවක් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වෙත යොමුකර තිබේ. ඒ මහතා අදාළ පැමිණිල්ල විමර්ශනය සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමුකර තිබිණ. ඒ අනුව එම කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුළත්මුදලි මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ඇරඹූහ. එම නිලධාරීන් වෙත ලැබී ඇති සැකකරු විසින් පළ කරන ලද මංගල දැන්වීමක මෙසේ සඳහන් විය.
“1965 වයඹ බොදු ගොවි ඉඩම් හිමි වැවිලිකරු ජීවිතයේ සැඳෑ සමය සතුටින් නිදහසේ ගත කිරීමට කැමැති ආධ්‍යාත්මික සුව කැමැති දුසිරිතෙන් තොර මා සොයනුයේ පවුල් බරින් තොර වැන්දඹු, දික්කසාද හෝ එක්දරු සහකාරියකි.”
විවාහයක් කර ගැනීමට අපොහොසත්ව හෝ සිදුකරගත් විවාහයෙන් නිත්‍යනුකූලව ඉවත්ව සැමියාගේ වියෝවෙන් පසු තනිව ජීවත් වන හෝ වෙනත් බාහිර ගැටලු නැති ධනවත් කාන්තාවන් මේ දැන්වීම් අනුව සොයාගෙන ඇසුරු කිරීම සැකකාර වැඩ තහනමට ලක්වූ ග්‍රාම නිලධාරීවරයාගේ ක්‍රමයයි. වෙනත් ආදායම් මාර්ගයක් නොමැති ඔහු මෙසේ කාන්තාවන් සූරාකෑම වෘත්තීය වශයෙන් සිදුකර ඇතැයි හෙළි වී තිබේ.
මෙසේ මැදි වයසේ කාන්තාවක විසින් යොමු කළ පැමිණිල්ල අනුව ඇය පොලීසියට පැවසූයේ සිය කණකර බඩු උකසට තබා දුන් මුදල් ප්‍රමාණවත් නොවූ තැන තමාගේ සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ණයක් ලබාගෙන එම මුදල සැකකරුට ලබාදුන් බවය. මුදල් ලබාගත් පසු දිනම ඔහු නිවෙසින් පලාගොස් ඇති බවත් අතුරුදන් තත්ත්වයේ පසුවන බවත් පවසා තිබේ.
මෙම සැකකාර ග්‍රාම නිලධාරීවරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තිබේ. ඔහු මංගල දැන්වීම් පළ කර ඇත්තේ වයස අවුරුදු 56 – 59 අතර තැනැත්තෙක් වශයෙන් හඳුන්වා දෙමිනි. ඇතැම් විට විවාහයට මාස කිහිපයකට පසුව නවීන කාර් රථයක් මිලට ගැනීමට අවශ්‍ය බව පවසා මුදල් අඩුපාඩුවට බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇතැයි පැවසේ. එසේ මුදල් ගෙවූ කාන්තාවන් රැසක් සිටින බවද ඇතැමුන් ලජ්ජාව නිසා කරුණු සඟවා ඇතැයි ද වාර්තා වේ. මේ ආකාරයට සැකකරු නොච්චියාගම, මැදවච්චිය, ගම්පොළ, පිළියන්දල, නිකවැරටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක කතුන් රවටා ඇතැයි ඇතැම් පොලීසිවලට පැමිණි ලැබී ඇතැයි ද කියති. එක් පැමිණිලිකාරියක තොරතුරු දන්වා ඇත්තේ සැකකරුට එරෙහිව විවාහ චෝදනා හා මූල්‍ය වංචා යටතේ අධිකරණයේ නඩු විභාග වන බවය. මේ අතර පොලීසියට හා අධිකරණයට පැමිණ තිබූ සැකකරුගේ නීත්‍යානුකූල බිරිය ඇප ලබාදී සැකකාර සැමියා නිදහස් කරගෙන ඇතැයි ද පැවසේ. පොලීසිය හඳුනාගෙන ඇති පරිදි එම බිරිය කුරුණෑගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියකි. එම යුවළගේ දියණියක කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන බවද වාර්තා වේ.
ඔහු විවාහ චෝදනාවට ලක්ව සිටින සැකකරු විවාහ වන අවස්ථා ඇතුළත් ඡායාරූප රැසක් පොලීසියට හමුවී ඇත. මෙම ජාවාරම්කරු සමඟ ඇතැම් විවාහ රෙජිස්ට්‍රාර්වරුන් ද සබඳතා පවත්වා ඇතැයි ද පොලීසිය සැක කරයි. ඇතැම් පැමිණිලි මගින් පෙන්වා දී ඇත්තේ සැකකරු සංවිධානාත්මක ලෙස ජාවාරම සිදු කරන බවය. මෙකී කරුණු සමඟ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ජනතාවට දැනුම් දෙන්නේ මෙවැනි ජාවාරම්කරුවන්ට නොරැවටී අවධානයෙන් පසුවන ලෙසය.
සමන්ත ප්‍රදීප් විල්තෙර