2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

කොවිඩ් පරදන සටනේ දෙවැනිතැන ලංකාවට

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

ලෝකයම අද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් හූල්ලමින් සිටින සමයකි. ලොව මරණ සංඛ්‍යාව දස ලක්ෂය පන්නා තිබේ. මේ නපුරු රෝග කාරකය මේ වනවිට කෝටි 3 ½කට ආසන්න ලෝක ජනතාවකගේ සිරුරු තුළ හොල්මන් කරමින් සිටියි. ඉතා සැලසුම් සහගතව දූරදර්ශීව නිසි කලට සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වෛරස් ප්‍රහාරය හමුවේ ජයග්‍රාහී මට්ටමක රැඳී සිටියි. එසේම ජාත්‍යන්තරය තුළ පැසසුම් ලබා ආදර්ශවත් රටක්ය යන කීර්ති නාමයද දිනාගෙන හමාරය. ඉකුත් සතියේ ලංකාව කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ රටවල් අතර දෙවැනි ස්ථානයට නම් කිරීමට ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ආයතනයක් කටයුතු කළේ ඒ අනුවය.

ලෝකයේ රටවල් 108ක් අතරින් කොවිඩ් 19 මනාව පාලනය කර ගැනීමට සමත් වූ රටවල්වල සාර්ථකත්වය අනුව පෙළ ගැස්වීමක් චීනයේ පර්යේෂණ ආයතනයක් මගින් සිදුෙකරිණි. මේ ආයතනය 2003 වසරේ සිට ක්‍රියාත්මක මූල්‍ය අංශයේ මහ මොළකරුවන් එක්කළ පිළිගත් ආයතනයකි. YICAI පර්යේෂණ ආයතනය නම් වූ මෙය මූල්‍ය සහ ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛතාව දරන විශිෂ්ටත්වයට පත් ආයතනයකි. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ මාධ්‍ය ජාලයකට සහ පර්යේෂණ මෙහෙයුම්වලට ප්‍රසිද්ධ වූවකි. එයට අනුබද්ධව මාධ්‍යවේදීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමුඛ මූල්‍ය සහ ව්‍යාපාරික අංශයේ මහ මොළකරුවන්ගෙන් සමන්විත පරිනත වෘත්තිකයන් කණ්ඩායමක් ක්‍රියාත්මකය. ඔවුන් මෑතකදී කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ රටවල් 108ක් මුහුණ පෑ ගැටලුවට ඔවුන් මුහුණ දුන් සාර්ථක ආකාරය පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධ වාර්තාවේදී ශ්‍රී ලංකාවට දෙවැනි තැන ලබාදී ඇත්තේ සාධාරණ හේතු සහගතවය.

මේ වාර්තාවේ විශ්ලේෂණයන්ට අනුව ලංකාව වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් අතර දෙවැනියාය. එසේම ලංකාව එයට එරෙහිව සටන් කරන රටවල් අතර 3 වැනියාය. එසේම වසංගතය මැද ආර්ථිකය ගොඩදාගත් රටවල් අතර, ලංකාව 12 වැනි ස්ථානයට නම්කර ඇත. ජාත්‍යන්තර සහයෝගීතාවය සම්බන්ධව 33 වැනි ස්ථානය ලංකාවට එය ලබාදී ඇත.

මේ වාර්තාවේ කොවිඩ් සාර්ථකව පාලනයට ලක් කරන්නට සමත්ව, පෙරමුණේම සිටින රටවල් 10 වන්නේ පිළිවෙළින්, චීනය, ශ්‍රී ලංකාව, ඝානාව, කොරියානු ජනරජය, මියැන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියැට්නාමය සහ කාම්බෝජයයි. ලංකාවේද සෞඛ්‍ය අංශ මුලින් ආදර්ශයට ගත් සිංගප්පූරුව ඇත්තේ 29 වැනි ස්ථානයේය. දැනට කොවිඩ් පැතිරීම අතින් ලෝකයේ දෙවැනි තැන දිනා ඇති ඉන්දියාව මේ වාර්තාවේදී 45 වැනි ස්ථානයට පත්ව තිබේ. අපේ අනිකුත් අසල්වැසියන් වන පාකිස්තානය සහ බංග්ලාදේශය පිළිවෙළින් 13 සහ 46 වැනි තැනටද ලාඕසය සහ නේපාලය පිළිවෙළින් 26 සහ 17 වැනි තැනටද පත්ව තිබේ. 

ලෝකයේ අති නවීන සෞඛ්‍ය පහසුකම් ඇතැයි උදම් අනනා අමෙරිකාව මේ රටවල් අතර 98 වැනි ස්ථානයට පත්ව තිබේ. මෙහි 108 වැනියා දකුණු අප්‍රිකාවයි. මෙක්සිකෝව 105 වන අතර ස්පාඤ්ඤය 102 ස්ථානය දරයි. 100 වැනියා ආර්මේනියාවයි. රුසියාව 77 වන අතර ඉතාලිය 65 වැනි තැනට පත්ව ඇත. මහා බ්‍රිතාන්‍යය සිටින්නේ 58 වැනි තැනයි.

මෙම එළිදරව්වට අනුව ලෝකයේ සාර්ථකව කොවිඩ් පාලනයට සමත් වූ රටවල් අතරින් 10න් 9ක්ම ආසියා පැසිපික් කලාපයට අයත්ය. වෙනස් කලාපයකින් එම මුල්පෙළ 10 දෙනා අතරට එක්ව ඇති රට ඝානාව පමණි. යුරෝපයේ රටවල් අතරින් ඩෙන්මාර්කය සහ ජර්මනිය කැපී පෙනෙන මට්ටමක ක්‍රියාකාරීත්වයක් දක්වා ඇත. ඒවා පිළිවෙළින් 21 සහ 23 ස්ථාන හිමිකරගෙන තිබේ.

ලෝකයේ අන් සියලුම රටවල් වසංගතය හමුවේ දැඩි පාලනයකින් යුතුව කටයුතු කරද්දී වසංගතය තුට්ටුවකටවත් මායිම් නොකළ රාජ්‍ය නායකයින් දෙපළක් සහිත වූ බ්‍රසීලය සහ අමෙරිකාව 89 සහ 98 වැනි පහළම අඩියකට ඇද වැටී තිබේ. ලෝකයේ තවත් පුරසාරම් දොඩන රටක් හැටියට ප්‍රසිද්ධ, එසේම %සමූහ ප්‍රතිශක්තිය^ ගැන ආන්දෝලනාත්මක ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ ස්වීඩනය මේ පෙළගැස්මේ 90 වැනි තැනට පත්ව ඇත. මේ රටවල්වල කොවිඩ් භයානක අන්දමින් අද වනවිට හිස ඔසොවා හමාරය. මෙයින් අමෙරිකාවේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 75ට ආසන්නය. බ්‍රසීලයේ ලක්ෂ 48කි. වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේද අමෙරිකාවේය. එය මේ ලිපිය ලියන අවස්ථාව වනවිට 2,11,740කි. පම්පෝරි ගැසීම අතින් ට්‍රම්ප්ට පමණක් දෙවැනි වූ බොල්සනාරෝගේ රාජ්‍යය වන බ්‍රසීලය වැඩිම මරණ ලැයිස්තුවේ දෙවැනි තැන දිනා සිටියි. එහි මරණ 1.43.962ක් වාර්තාගතය. අපේ අසල්වැසි ඉන්දියාවද ආසාදිතයන් අතරින් ලෝකයේ දෙවැනි තැනට පත්ව සිටියි. මේ වනවිට එහි ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 6 පන්නා හමාරය. මරණ සංඛ්‍යාව ලක්ෂයට ආසන්නය.

ලෝකයේම කොවිඩ් 19 මරණ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවූයේ ඉකුත් සතියේය. ලෝකය පුරා කෝටි 3කට වැඩි පිරිසක් ආසාදිතව සිටිති. ඒ අතර සක්‍රීය ආසාදිතයන් ගණන ලක්ෂ 77 පන්නා හමාරය. මෙවන් දරුණු තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව සිය ආදර්ශවත් මෙහෙයුම මගින් තවමත් මරණ සංඛ්‍යාව 13කට සීමාකර ගැනීමටත්, ආසාදිත සංඛ්‍යාව 3380 දක්වා පාලනය කර ගැනීමටත් සමත්ව ඇත. මේ වනවිට ලංකාව තුළ සක්‍රීය ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 137ක් පමණි. මේ සියලු දෙනා ගැන සෞඛ්‍ය අංශයේ මනා අවධානය යොමුව තිබේ. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශයේ සමස්තය මෙන්ම මහජනතා සහාය හේතුවෙන් දැඩි පාලනයක් අනුව කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් අපේ රටේ මේ අවස්ථාව වනවිට කොවිඩ් වසංගතයෙන් සුවය ලබා ජීවිතය බේරාගත් සංඛ්‍යාව 3230කි. ලෝකයේ සමස්ත කොවිඩ් 19 දත්ත සසඳා බැලීමේදී එය අති සාර්ථක මට්ටමකි.

 සුගත්