ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) මූලස්ථානයේ සාමාජිකයන් කිහිප දෙනකුට කොරෝනා වැළඳී ඇති බවට සනාථ වීම නිසා අයිසීසී මූලස්ථානය වසා දැමීමට පියවර ගෙන තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියා මාර්ග අනුගමනය කරන හෙයින් අන්තර් ජාතික ක්‍රිකට් මූලස්ථානය කෙටි කලකට වසා තැබීමට නියමිතය.
ඩුබායි හි අයිසීසී මූලස්ථානයේ ඇතැම් සේවකයන්ගේ කොරෝනා පරීක්ෂණ ධනාත්මක වී ඇති බැවින් පූර්වාරක්ෂාව සඳහා මූලස්ථානය දින කිහිපයක් වසා දමා ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස්කර ඇති හෙයින් කොවිඩ් පාලනය මනාව කළමනාකරණය කර ඇතැයිද ඔහු සඳහන් කරයි. මේ වනවිට එහි කාර්ය මණ්ඩලය තම නිවෙස්වල සිට සේවා කටයුතුවල නිරතවීමට පියවර ගෙන ඇති අතර ඔවුන් හා සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන්ද හුදෙකලා කොට තැබීමට පියවර ගෙන තිබේ.
මෙම තත්ත්වය 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියටද බලපානු ඇතැයි ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට අයිපීඑල් තරග සඳහා සහභාගීවන කණ්ඩායම් හයක් ඩුබායිහි සිටින අතර ඔවුහු පුහුණුවීම් සඳහා අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණය භාවිත කරති. අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණය එහි මූලස්ථානය ආසන්නයේ පිහිටා නොමැති හෙයින් එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවද, ඔවුන්ගේ පුහුණුවීම් සඳහා අයිසීසී කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයකු සහභාගී නොවන බවද අයිසීසී ප්‍රකාශකයා සඳහන් කර ඇති අතර අයිපීඑල් තරග සඳහා සහභාගී වන කණ්ඩායම් සෞඛ්‍ය පිළිබඳ බියක් ඇතිකරගත යුතු නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ..
අයිපීඑල් තරග පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, සාජා සහ අබුඩාබි යන ක්‍රීඩාංගණවලය. පසුගිය සැප්තැම්බර් 19 දින පළමු තරගය මුම්බායි ඉන්ඩියන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැති අතර, අවසන් තරගය නොවැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය. කොරෝනා වසංගතය නිසා අයිපීඑල් තරග ඉන්දියාවේ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට තීන්දු කෙරිණි.
අයිසීසී මූලස්ථානය 1993 වන තෙක් පැවතියේ ලන්ඩනයේ ලෝඩ්ස්හිය. 1990 දසකයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අලුතින් සාමාජික රටවල් රැසක් එක්වූ හෙයින් 1994දී එහි ඇතැම් වාණිජ කටයුතු මොනාකෝ වෙත ගෙන යාමට බලධාරීහු පියවර ගත්හ. අයිසීසී සාමාජිකයන් ලන්ඩනයේ සිට මෙහෙයුම් කටයුතු සිදු කිරීමට වැඩි කැමැත්තක් දැක්වුවද බ්‍රිතාන්‍යයේ ආයතනික බද්දක් ගෙවීමට සිදු වූ බැවින් වෙනත් කලාපයක තම මූලස්ථානය පවත්වාගෙන යෑමට අයිසීසී පාලක මණ්ඩලයට අවශ්‍ය විය. ඒ අනුව 11ට 1 ඡන්දයෙන් ඔවුහු ඩුබායිහි තම මූලස්ථානය පිහිටුවීමට පියවර ගත්හ. මෙය වැදගත් පියවරක් වූයේ 2000 දශකයේ දී දකුණු ආසියාවේ (ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ) ක්‍රිකට් පාලක මණ්ඩල ධනවත්ම පාලක මණ්ඩල බවට පත්ව තිබීම හේතුවෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ක්‍රිකට් මූලස්ථානය 2005දී ආරම්භ වූ අතර ලන්ඩනයේ කාර්යාල වසා දමන ලදී. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සම්පූර්ණ සාමාජික රටවල් (ටෙස්ට් ක්‍රීඩා කරන රටවල්) 10 ක් ඇති අතර සහ ආශ්‍රිත සහ අනුබද්ධ සාමාජික රටවල් සංඛ්‍යාව 82 කි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා