2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ගීත ලෝකයේ යෝධ වැඩ කළ එස්.පී. බාලසුබ්‍රමනියම්

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

1994 දී ඉන්දියාවේ කාදලන් කියලා සිනමා පටයක් තිරගත වෙනවා. කාදලික්ක පෙන්නිල් කියන ගීතය ඉන්දියාවේ වගේම අපේ රටෙත් බොහෝ ජනප‍්‍රියත්වයට පත්වුණු ගීතයක්. මෙන්න මේ ගීතය ගායනා කරන්නේ උදිත් නාරයන් එක්ක එස්.පී. බාලසුබ‍්‍රමනියම්. ගීත 40,000කට වැඩි ප‍්‍රමාණයක් ගායනා කරලා තියෙන එස්.පී. බාලසුබ‍්‍රමනියම් ප‍්‍රභූ දේවා සහ නග්මා ප‍්‍රධාන චරිත නිරූපණය කරන ලද මේ කාදලන් සිනමාපටයේ ප‍්‍රභූදේවාගේ පියාගේ චරිතය වන පොලිස් නිලධාරියාගේ චරිතයටත් පණ පොවනවා.

කොවිඩ්-19, එහෙම නැත්නම් කොරෝනා ආසාදනයෙන් මේ වනවිට ලෝකයේ බොහෝ පිරිසක් මියගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වනවිටත් මියයනවා වගේම තව කාලාන්තරයක් මියයාවී. කොවිඩ්-19 ආසාදනය වෙන්නේ තරාතිරම වයස බලලා නෙවෙයි. මේ වෙද්දී ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තියෙනවා .බොලිවුඩයේ මහා රූස්ස කඳන් වගේ හිටිය නළු නිළියන්ටන් කොවිඩ්-19න් බේරෙන්න පහසු වුණේ නැහැ. නොබෝදා ඒ වගේ කොවිඩ්-19 ආසාදනයට ගොදුරුවෙලා ඔබ අපි ආදරය කරන හඬක් හිමි ඔහුටත් ජීවිතයෙන් සමුගන්න සිදුවුණා. ඔහුගේ නම ශ්‍රීපති පන්ඩිතරද්යුල බලාසුබ‍්‍රමනියම්. 

ඔබ අපි මේ කියන ජනප‍්‍රිය අසහාය සමානලාභී ගායකයාව දන්නේ එස්.පී. බාලසුබ‍්‍රමනියම් කියලා. එහෙම නැත්නම් බාලූ කියලයි. 1946 ජූනි 04 වැනිදා උපත ලද ඔහු 2020 සැප්තැම්බර් 25 වැනිදා ඔහුගේ හඬ සහ ඔහුගේ මතකය මෙලොවට ඉතුරුකරලා නික්ම ගිහිල්ලා අවසන්. 1946 ජූනි 04 වෙනිදා බි‍්‍රටිෂ් ඉන්ඩියාහි මැඩ‍්‍රාස් ප‍්‍රදේශයේ නෙල්ලෝරේවලදී ඔහු ඉපදුණු අතර මේ වනවිට එම ප‍්‍රදේශය හඳුන්වන්නේ ආන්ද්‍රා ප‍්‍රදේශ් කියලා. ඔහු මේ සැප්තැම්බරයේ ජීවිතයෙන් සමුගත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවල චෙන්නායිවලදී. 

එස්.පී.බී. ගායකයෙක්, නළුවෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේම සිනමාපට නිෂ්පාදකයෙක් විදියට නමක් දිනාගෙන තියෙන සම්මානිත පුද්ගලයෙක්. හින්දි විතරක් නෙවෙයි තෙළිඟු, දමිළ, කන්නඩා, මලයාලම් සිනමාපටවලත් ඔහුව දකින්න, ඔහුගේ හඬ අහන්න ලැබෙනවා වගේම ඔහු විසින් චිත්‍රපට නිෂ්පාදනය කරලත් තියෙනවා. එස්.පී. බාලසුබ‍්‍රමනියම් අවුරුදු 55ක කාලයක් වූ සිය සංගීත දිවිය තුළ ගීත 40,000කට අධික ප‍්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. එස්.පී.බී. කොවිඩ්-19 ආසාදනයට ලක්වීමෙන් අනතුරුව පෞද්ගලික රෝහලකට ඇතුළත් වී මාස දෙකක් පමණ කාලයක් ප‍්‍රතිකාර ගැනීමෙන් සිටියදී තමයි  ජීවිතයෙන් සමුගන්නේ. මේ මස මුල් කාලයේදී ඔහු සුවය ලබාසිටියද හෘද අකර්මන්‍යතාවයක් හේතුවෙන් තමයි පසුගිය 25දා ජීවිතයෙන් සමුගන්නේ.

එස්.පී. තෙළිඟු බ‍්‍රාහ්මණ පවුලක ඉපදෙන අතර ඔහුට සහෝදරයන් දෙන්නෙක් වගේම සහෝදරියන් පහක් ඉන්නවා. එස්.පී. සයිලජා සහ ඔහුගේ පුතා වන එස්.පී. චරන් දකුණු ඉන්දියාවේ ගායකයන් වගේම සිනමාපට නිෂ්පාදකවරුන් විදියට ප‍්‍රසිද්ධ එස්.පී. බාලසුබ‍්‍රමනියම්ගේ පවුලේ උදවියයි. එස්.පී.බී. ඉංජීනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න අතරේ ඔහු 1964දී සංගීත තරගාවලියකින් ජයගෙන තියෙනවා. 1966 දෙසැම්බර් 15 වැනිදා මේ අසහාය සංගීතවේදියා විසින් පසුබිම් ගායකයෙක් විදියට තෙළිඟු සිනමා පටයක ශ්‍රී ශ්‍රී ශ්‍රී කියන ගීතයට හඬ මුසු කරනවා. මේ ගීතය රචනා කරන්නේ එස්.පී. කොන්ඩන්දපානි විසින්. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම ගායකයා ලෙසින් කුප‍්‍රකට එස්.පී. බාලසුබ‍්‍රමනියම් නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් සම්මාන උළෙලේ හොඳම ගායකයාට හිමි සම්මාන හයක් තෙළිඟු, දමිල, කන්නඩා, සහ හින්දි ඇතුළු භාෂා වෙනුවෙන් දිනාගෙන තිබෙනවා. ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයෙන් ඔහු තෙළිඟු සිනමාව වෙනුවෙන් කරන ලද උපහාරයක් විදියට නන්දි සම්මානයෙනුත්, කර්නාටක සහ තමිල්නාඩුව වෙනුවෙන් ඔහුට තවත් රාජ්‍ය සම්මාන කිහිපයක්ම පිරිනමා තියෙනවා. ඊට අමතරව එස්.පී.බී. ෆිල්ම් ෆෙයාර් සම්මාන බොහොමයක් සහ දකුණේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මාන හයක්ද දිනාගෙන තියෙනවා. 

ගායකයෙක් විසින් ගීත 40,000කට වැඩි සංඛ්‍යාවක් ගීත පටිගත කළ ගීනස් වාර්තාවටද හිමිකම් කියන්නේ එස්.පී.බී. විසිනුයි. 1981 පෙබරවාරි 08 වැනිදා ඔහු විසින් එක දිනකදී වැඩිම ගීත ප‍්‍රමාණයක් පටිගත කොට වාර්තාවක් තියලා තියෙනවා. බැංගලූර් වෙලාවෙන් උදේ 9ට ආරම්භ කොට එය රාත‍්‍රී 9 වනවිට අවසන් කරලා තියෙන අතර එයට කන්නඩා ගීත 21ක්, දමිළ ගීත 19ක් සහ හින්දී ගීත 16ක් ඇතුළත් වෙනවා. 2012 වසරේදී ඉන්දියානු සිනමා පටවලට දැක්වූ දායකත්වය වෙනුවෙන් එස්.පී.බී.ට විශේෂ සම්මානයක් හිමිවෙන අතර 2016 වසරේදී ඔහුව ඉන්දියාවේ වසරේ පෞරුෂය ලෙස නම් කොට පීකොක් පදක්කමක් පිරිනමන ලදි. ඒ වගේම එස්.පී. බාලසුබ‍්‍රමනියම් ඉන්දියා රජයෙන් 2001 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් සහ 2011 දී පද්මභූෂන් සම්මානයෙන් පිදුම් ලැබීය.

එස්.පී. බාලසුබ‍්‍රමනියම් සාවිත‍්‍රී සමග විවාහ වී සිටි අතර පල්ලවී නමින් දියණියක් සහ එස්.පී.බී. චරන් නමින් පුතෙක්ද සිටින අතර එස්.පී.බී. චරන් දැනට පසුබිම් ගායකයෙක් මෙන්ම සිනමාපට නිෂ්පාදකවරයෙක් විදියටත් කටයුතු කරනවා. 74 හැවිරිදි එස්.පී. බාලසුබ‍්‍රමනියම් වසර 55කට ආසන්න කාලයක් පුරා වෘත්තීය ජීවිතයේ නියැලෙමින් ගීත 40,000කට වඩා ගායනා කර තියෙන නිසාවෙන් සමාජ මාධ්‍යවල ඔහු ජීවිතයෙන් සමුගත් මොහොතේ පටන් බොහෝ දෙනෙක් උපහාර මෙන්ම ශෝකය ප‍්‍රකාශ කිරීම්ද සිදුකර තියෙනවා. 

එස්.පී.බී. බාලසුබ‍්‍රමනියම් නම් අසහාය ගායකයාගේ අභාවය පිළිබඳව දැනගත් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‍මෝදි විසින් තමන්ගේ ට්විටර් ගිණුමේ දශක ගණනාවක් පුරා සංගීත ලෝලීන්ගේ සිත් ඇඳ බැඳ තබාගත් ඔහු යන්න ගිහින්.... ඒ ශෝකජනක මොහොතේ මාගේ සිතුවිලි ඔහුගේ පවුලේ අය සහ ඔහුට හිතැති හැමෝම වෙනුවෙන්  ඕම් ශාන්ති කියා ප‍්‍රකාශ කරන අතර ඔහුගේ නික්ම යෑමෙන් අපේ සංස්කෘතික ලෝකය බොහෝ දුප්පත් බවට පත්වුණා ලෙසත් සඳහන් කොට තියෙනවා.

ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා තමන්ගේ ට්විටර් ගිණුමේ සංගීත පුරාවෘතාන්තයක් වන එස්.පී. බාලසුබ‍්‍රමනියම්ගේ අභාවයෙන් ඉන්දියානු සංගීතයට අතිශය පාඩුවක් සිදුවී ඇති බවත්, ඔහුගේ අඩුව තනු නිර්මාණයන්ට බොහෝ සෙයින් දැනෙනු ඇති බවත් සඳහන් කොට තිබෙනවා‍.

ප‍්‍රසිද්ධ නළුවෙක් වන කමල් හසන්, ඔහුගේ ට්විටර් ගිණුමේ ඔහුගේ කටහඬින් මගේ රෑපයට පණදුන්නා. ඔහු නැති අඩුව අපි මට පමණක් නොව හැමෝටම දැනෙනු ඇත.... යනුවෙන් සඳහන් කොට තිබෙනවා.

කමල් හසන්ගෙ දුව ඍති හසන් එස්.පී.බී. සර්ගේ නික්ම යෑම ගැන මම දැඩි ලෙස කණගාටුවට පත්වෙනවා..... ඔබගේ කලාත්මක බවට සහ ඔබගේ කාරුණික වචනවලට ස්තුතියි... යනුවෙන් එස්.පී.බී. වෙනුවෙන් සටහනක් තම ට්විටර් ගිණුමෙ තියා තියෙනවා.

ඔවුන්ට අමතරව ඒ.ආර්. රහමාන්, ධනුෂ්, ඇතුළු සිනමා නළු නිළියන් මෙන්ම කලා ක්ෂේත‍්‍රයේ හැමෝම මෙන්ම ඔහුට ආදරය කළ ලොවවටා සිටින කෝටි ගණනක් දෙනා ඔහුගේ නික්ම යෑම පිළිබඳව තම තමන්ගේ සමාජ මාධ්‍යන්හි විවිධාකාරයේ ශෝක ප‍්‍රකාශ කිරීමේ සටහන් තියා තියෙනවා.

 චන්දන වරාවිට