2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

පරිසරයට මුදාහරින බෝල්පොයින්ට් බෝම්බය

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

පාසල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කර ගන්නා බෝල්පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝග්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදාහරින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී පැවසීය. 

ඒ අනුව වසරකට භාවිත කළ බෝල්පොයින්ට් පෑන් කිලෝග්‍රෑම් 29,200ක් පමණ පරිසරයට මුදාහරින බවට අනාවරණ වී තිබේ. මෙරට පාසල් පද්ධතිය තුළින් පමණක් මුදාහරින අතිවිශාල ප්‍රමාණයක් වන හිස් බෝල්පොයින්ට් පෑන් ප්‍රමාණය නිසා දෛනිකව විශාල පරිසර හානියක් සිදුවන අතර විධිමත් පරිදි ඒවා බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිකමත්, ඒ සම්බන්ධව දැඩි අවධානයක් මෙතෙක් යොමු නොවීමත්, නිසි ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළක් නොවීමත් හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් දිනපතා සිදුවන බවත් අමාත්‍යවරයා කීය. සැබැවින්ම මේ පිළිබඳව සොයා බැලිය යුතුය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ තවත් පරිසර හානියකට නුදුරේදීම අප රට ගොදුරු වීමය.

අමාත්‍යවරයා මෙලෙස කරුණු අවධාරණය කරන්නේ පාසල් ළමුන් භාවිත කරන පෑන් ගැන පමණි. එහෙත් අද වන විට සමාජයේ විවිධ කටයුතු සඳහා විවිධ අංශ මගින් භාවිත කර ඉවතලන පෑන් පිළිබඳව තවමත් නිශ්චිතව ගණනය කර නොමැත. ඒ සියල්ල ගණනය කළහොත් භාවිත කර දිනකට ඉවතලන බොල්පොයින්ට් පෑන් කිලෝ ප්‍රමාණය මීට වඩා වෙනස් විය හැකිය. එබැවින් දැන්ම මෙයට පිළියමක් යෙදීම සාර්ථකය.

මෙලෙස දිනපතා ඉවතලන බෝල්පොයින්ට් පෑන් කිලෝ ප්‍රමාණයෙන් වන පරිසර හානිය සහ ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දේශයේ අපි පාර්ශ්ව කිහිපයකින් මත විමසුමක් කළෙමු.

විශාල හානියක්

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් ධර්මසිරි

පාසල් දරුවන්ට මෙන්ම කාර්යාල සේවක සේවිකාවන්ට සහ සමාජයේ විවිධ පාර්ශ්වවල බොහෝ දෙනා භාවිතයට ගන්නා බෝල්පොයින්ට් පෑන් පිළිබඳව කතාබහක් මේ වන විට මතු වී තිබෙනවා. සැබැවින්ම අමාත්‍යවරයා පැවසූ පරිදි මේ පෑන් පරිසරයට නිසි ලෙස මුදා නොහැරීම මගින් විශාල හානියක් වෙනවා. ඇත්තටම දැනට මෙරට පාසල් පද්ධතිය තුළින් පරිසරයට මුදාහරින පෑන් ප්‍රමාණය පමණයි මේ කිලෝ 80. නමුත් දෛනිකව මෙරට සමස්ත රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයෙන් මුදාහරින පෑන් ප්‍රමාණය මීට වඩා වැඩියි. ඒ නිසා අපි මධ්‍යම පරිසර අධිකාරිය විදියට පරිසර අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලා මේ පෑන් නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන්න යම් වැඩපිළිවෙළක් නුදුරේදිම සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

සංගණනයක් ඕනෑ

පරිසරවේදී පුබුදු වීරරත්න

පසුගිය දිනක මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශයක් කරලා තිබුණා පාසල් දරුවන් ඉවතලන බොල්පොයින්ට් පෑන් කිලෝ 80ක් පමණ දිනකට පරිසරයට මුදාහරින බවට සහ ඒවා නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවට. සැබැවින්ම අමාත්‍යවරයා ගත්ත මෙම තීරණය ඉතාමත් හොඳයි. නමුත් පාසල් දරුවන්ගෙන් විතරක් මෙය සීමා නොකර රටේ පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශයෙන් පවා මෙලෙස මුදාහැරෙන පෑන් ප්‍රමාණය කොපමණද කියලා ඔවුන් ගණනය කළ යුතුයි. මොකද මේ රටේ පෑන් භාවිත කරන විවිධ අංශවල රුකියා කරන උදවිය ඉන්නවා. පාසල් දරුවන්ට විතරක් සීමා නොවී මුළු රටෙන්ම මෙලෙස දිනකට පෑන් කොපමණ ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනවද කියලා සංගණනයක් කළ යුතුයි කියන එක තමයි මගේ මූලික අදහස. ඒ වගේම පෑන්වලට පමණක් සීමා නොවී රට තුළ තිබෙන අනෙකුත් නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩපිළිවෙළකුත් ඉක්මනින්ම හැදිය යුතුයි. මේ වන විට අපේ රටේ පරිසර දූෂණය ඉතා සීඝ්‍රයෙන් සිදු වෙනවා. ප්ලාස්ටික්වලට සීමා නොවී පරිසරය රුකගන්න වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. එහෙම නැති වුණොත් අපේ රටේ පරිසරය දූෂණය වීම වළක්වන්න බැහැ. ඉක්මනින්ම එවැනි වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.

කළමනාකරණය වැදගත්

සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම්

පරිසර අමාත්‍යවරයා පසුගිය දිනක පවසා තිබුණා මෙරට පාසල් පද්ධතිය තුළින් දිනකට බෝල්පොයින්ට් පෑන් කිලෝ 80ක් පමණ පරිසරයට මුදාහරින බවත් ඒවා නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩපිළිවෙළක් සකසන බවත්. ඇත්තටම එය හොඳ ක්‍රියාමාර්ගයක්. අපි කියන්නේ මුළු රටේම මේ පිළිබඳ සමීක්ෂණයක් කරලා මෙලෙස හිස්වන පෑන් සහ අනෙකුත් නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා.

වැඩ පිළිවෙලක් සකසනවා

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර

පරිසර අමාත්‍යංශය මගින් කළ සමීක්ෂණයකදි පසුගියදා අපිට හෙළිවුණා මෙරට පාසල් පද්ධතිය තුළ සිසු දරුවන් භාවිත කරන බෝල්පොයින්ට් පෑන් දිනකට කිලෝ 80ක් පමණ පරිසරයට මුදාහරින බව. ඒ අනුව වසරකට බැලුවොත් බෝල්පොයින්ට් පෑන් කිලෝ 29,200ක් පමණ පරිසරයට මුදාහරිනවා. එය දැවැන්ත පරිසර හානියක්. ඒ නිසා අපි අමාත්‍යංශය මේ වන විට ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් සකසන්න සැලසුම් සකසාගෙන යනවා. එමෙන්ම මෙරට රාජ්‍ය අංශයෙත් පෞද්ගලික අංශයෙත් සේවක සේවිකාවන් භාවිත කරන හිස් බෝල්පොයින්ට් පෑන් ප්‍රමාණය මීට වඩා වැඩිවෙන්න පුළුවන්. අපි ඒ පිළිබඳවත් නුදුරේදිම සමීක්ෂණයක් මගින් සොයා බලා එම වැඩපිළිවෙළ සකසන්න බලාපොරොත්තු වෙනවා.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02