2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

අවුරුදු 17ක් නොමිලේ උගන්වන දෙණියායේ ගුරුතුමා

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169
තිබූ තැනක සොර සතුරන් ගත     නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වළ       නොහෙනා
කෝප උවත් රජමැතිඳුන් ගත       නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු          රුකෙනා
 
මේ පැරැණ්නන් අධ්‍යාපනය කෙරෙහි දැරූ මතයයි. 1931–1934 යන කාලය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැක. ඒ අන් කවරක් නිසාවත් නොව සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා අධ්‍යාපන අමාත්‍යධූරය හෙබවූ නිසා බව බොහෝ දෙනාගේ මතයයි. එහෙයින් බොහෝදෙනා ඔහු හඳුන්වනු ලැබුවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසිනි.
 
ළමා කාලයේ අප හැදී වැඩුණේ ගුරු දෙවිවරුන් අතරේය. ඔවුන්ගෙන් අකුරු කියැවූ අපි හොඳින් අධ්‍යාපනය ලැබුවා පමණක්‌ නොව විනය ද සාර්ථක කර ගත්තෙමු. අතීතයේ සිටි බොහෝ ගුරුභවත්හු අප ඔවුන්ගේ දරුවන් ලෙසම සලකා රැකවරණය සැලසූහ. පාසල් අධ්‍යාපනයෙන් පසුව පවා ඔවුහු සිය ගෝලයන් ගැන සොයා බැලූහ.
 
වර්තමානය වන විට එවන් ගුරු දෙවිවරුන් ඉතා විරලය. එක්‌ අතෙකින් ඔවුන්ට දොස්‌ නැගීමට ද නොහැකිය. තිබෙන සමාජ ආර්ථික පසුබිම අනුව සෑම දෙනාම කාර්යබහුලව ආත්මාර්ථකාමී වී සිටිති. මුදල් ඉපයීමම ප්‍රධාන පරමාර්ථය කරගෙන සැවොම මහා දුෂ්කර ගමනක යෙදෙමින් හුදෙකලාව අතරමං වී සිටිති. එවැනි සමාජයක ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධය බොහෝ දුරස්‌ වී ඇත. එම අරමුණ වෙනස්‌ කරන අපූරු ගුරුවරයකු පිළිබඳ දේශයේ අප අද රටට කියන්න සූදානම්ය. බොහෝ ගුරුවරුන් දෝෂදර්ශනයට ලක්‌වන මේ කාලයේ එවන් අතිඋතුම් ගුරුදෙවිවරුන් මෙකල ද ඉන්නා බව හෙළි කිරීමටය.
 
මෙම පාසල මාතර දිස්‌ත්‍රික්‌කයේ මාර/කන්දිල්පාන කනිෂ්ඨ විදුහලය. දෙණියාය, බටයාය ප්‍රදේශයේ පිහිටි මෙම විදුහලෙන් අකුරු කරන්නේ ගමේ දරුවෝය. ඇති හැකි දෙමාපියන්ගේ දරුවෝ වාහනවලින් නගරයේ පාසල් කරා යති. එසේ කළ නොහැකි අඩු ආදායම්ලාභී දෙමව්පියන්ගේ දරුවෝ ගමේ පාසලේ ඉගෙනුම ලබති. පාසල ද බොහෝ දුෂ්කරය. දෙමව්පියන්ද අසරණය. දරුවන්ද එපමණටම අසරණය. එහෙත් ඔවුහු දුෂ්කරතා මගහැර හොදින් අකුරු උගනිති.
 
මෙවැනි අසරණ දරුවන්ට අපූරු ගුරුවරයකු‌ ලැබී ඇත්තේ ඔවුන්ගේ පිනටය. ගුරු ගීතය කතාවේ එන දුයිෂෙන් ගුරුවරයා වැනිය. දෙණියායේම පදිංචි ඔහු එම්.ජී. කමල් ප්‍රසන්නය. හේ අපේ කතානායකයාය. දැනට අඛණ්ඩව දහසය වසරක් තිස්සේ ඔහු මෙම දරුවන්ට සිප් සතර කියා දෙන්නේ ස්වේච්ඡාවෙනි. කොතරම් දුෂ්කරතා තිබුණද දරුවන් ඉගෙනීම් කටයුතු කරන්නේද ඉතා සතුටිනි.
 
ගුරුවරයා, ගුරුකම, ගුරු භුමිකාව වර්තමානයේ සාකච්ඡා වන සුලබ මාතෘකාවකි. අතීතයේ මෙන්ම වර්තමානයේ ද ගුරුවරයාට නොසලකන බව සත්‍යයකි. වර්තමානයේ ගුරුවරයා පිළිබඳ විශ්වාසය ගිලිහී ඇති බවද කියැවේ. සමාජයේ ගුරු ගරුත්වය ද අද පරිහානියට පත් වී ඇති බව කියැවේ. ගුරු සේවය යන නාමය අද භාවිත කළ නොහැකි බවද ඇතැමෙක්‌ තර්ක කරති. එහෙත් මෙවැනි ගුරුවරුද තවමත් මෙරට සිටිති.
 
‘’කමල් ප්‍රසන්න මහත්තයගේ සේවය අපිට කියලා නිම කරන්න බැහැ.’’ යනුවෙන් පවසමින් මාර/කන්දිල්පාන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එල්.ඒ. මිත්‍රලාල් මහතා දේශයේ අපත් සමග කතාබහට එක්විය.
 
මම 2001 වසරේ තමයි මේ පාසලට ආවේ. කමල් ප්‍රසන්න මහත්තයා 2004 තමයි මේ පාසලට ආවේ. එතැන් පටන් තවමත් ඔහු මේ පාසලේ දරුවන්ගේ නැණස පාදන්න දරුවන්ට ගුරුහරුකම් ලබා දෙනවා. මමත් සමඟ තව 17 දෙනෙක් මේ ඉස්කෝලේ සේවය කරනවා. බොහොමයක් මේ ගමේම ජනතාවගේ දරුවන් තමයි අපේ පාසලට පැමිණෙන්නේ. කමල් ප්‍රසන්න මහත්තයා පුහුණු ගුරුවරයකු නොවුණත් ස්වේච්ඡාවෙන් මේ අවුරුදු 16ක් තිස්සේ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම කියලා නිම කරන්න බැහැ. ඔහු බුද්ධධර්මය, ඉතිහාසය, කෘෂිකර්මය වැනි විෂයන් උගන්වනවා. ඇත්තටම ඔහු කැපවීමෙන් තමන්ගේ රාජකාරි කටයුතු කරන නිසා අපිට ඉගැන්වීම් කටයුතුවල කිසිදු අපහසුවක් නැහැ. ඒ වගේම කමල් ප්‍රසන්න මහත්තයා දරුවන්ගේ ප්‍රතිඵල ගැන උනන්දුවක් දක්වනවා. දිගටම පාසලේ හොඳ ප්‍රතිඵල ලබාදෙනවා. ඇත්තටම මෙවැනි ගුරුවරයකු කරන මෙම කැපවීම අගය කරන්න ඕන කාරණයක්. ඒ වගේම තමයි අධ්‍යාපන බලධාරීන් ඔහුගේ පත්වීම ස්ථිර කරලා ඔහුට සාධාරණයක් ඉටු කරනවා නම් අපි සතුටු වෙනවා. ගමේ ජනතාවත් පාසලේ සිසු දරු දැරියනුත් කමල් සර්ගේ ඉගැන්වීම් කටයුතු ගැන පැහැදීමකින් ඉන්නේ.
 
අධ්‍යාපනයේ උසස්‌ තත්ත්වය රඳා පවතින්නේ සේවයේ නියැලී  සිටින ගුරු මණ්‌ඩලයේ සුදුසුකම්, ඔවුන්ගේ හැකියාවන්, එක්‌ එක්‌ ගුරුභවතා තුළ ඇති මානව ගුණාංග, ඉගැන්වීමේ මූලධර්ම පිළිබඳ දැනුම හා තාක්‌ෂණික සුදුසුකම් මතය. ගුරුවරයා සමාජ සංකේතයකි. ගුරුවරයාගේ තත්ත්වය සමාජයේ අධ්‍යාපන තත්ත්වය මත රඳා පවතිනවා මෙන්ම සමාජයේ තත්ත්වයද ගුරුවරයා මත රඳා පවතී.
 
මේ දරුවන්ගේ නැණස පාදන එක මම බොහොම සතුටින් තමයි කරන්නේ’’ යනුවෙන් පවසමින් අපේ කතානායකවරයා දේශයේ අපත් සමඟ මෙසේ පැවසීය.
 
2004 ජනවාරි මස 8 වැනිදා තමයි මම මේ කන්දිල්පාන කනිෂ්ඨ විද්‍යාලයට එන්නේ ස්වේච්ඡා ගුරුවරයෙක් විදියට. එතැන් සිට අඛණ්ඩව තවමත් අවුරුදු 16ක් දැනට මම මේ පාසලේ සේවය කරනවා. දුෂ්කර පාසලක් වුණත් මම බොහොම කැමැත්තෙන් තමයි මේ දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු කරන්නේ. පාසලෙන් තමයි සමාජයට යහපත් පුරවැසියන් බිහි කරන්නේ. පාසල් අධ්‍යාපනය හරියට දුන්නේ නැත්නම් බොහෝ ළමයි නොමගට යනවා. ඇත්තටම මේ පාසලේ සිටින ගුරු මණ්ඩලය මේ දරු පරපුර වෙනුවෙන් සෑහෙන්න ලොකු කැපවීමක් කරනවා. ඒ වගේම තමයි අපේ පාසලේ විදුහල්පති ලාල් සර් මේ පාසල ගැනත් ගුරුවරු ගැනත් දරුවන් ගැනත් නිතර සොයා බලා කටයුතු කරනවා. ඒක අපි ලබපු වාසනාවක්. මට උපතින්ම කකුලේ ආබාධයක් තියෙනවා. නමුත් මට එය ප්‍රශ්නයක් නෙවෙයි මේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන්න. මම උසස් පෙළ සමත්. ඒ වගේම ධර්මාචාර්ය විභාගයත් සමත්වෙලා තියෙනවා. මගේ ඉගැන්වීම් කටයුතු පිළිබඳ දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමාගෙන් පවා ප්‍රශංසා සහතික ලබාගෙන තියෙනවා. මම කියන්නේ මට මේ අවුරුදු 16ක් සේවා කාලය සලකලා පාසල් අනධ්‍යයන කාර්යාල මණ්ඩල නිලධාරියකු ලෙස හරි වැඩ කරන්න හදා දෙන්න කියලා. මම ජනාධිපතිවරයාට පවා මේ ගැන ලියලා තියෙනවා. අධ්‍යාපන බලධාරීන්ට පවා ලියලා තියෙනවා. නමුත් තවමත් මොනවත් උත්තරයක් ලැබිලා නැහැ. මේ දරුවන්ගේ නැණස පාදන්න මම උපරිම ලෙස කටයුතු කරනවා.
 
සැබැවින්ම මෙවැනි උතුම් මනුෂ්‍යයකු පාසලට හිමිවීම එක්‌ අතෙකින් අදහා ගැනීමටත් අපහසු කරුණකි. තවත් අතෙකින් එම විද්‍යාලයේ දරුවන්ගේ පෙර පිනකි.
 
 හසිත් අංජන