2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

උසාවියේ ඇවිස්සෙන විස්ස

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය ඉල්ලා සිටියේ ස්ථාවර රජයක් පිහිටුවීමට හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම සඳහාය. 19 ව්‍යවස්ථා සංශෝධනය විකෘතියක් බවද, ජනාධිපතිවරයාට හෝ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය තිබිය යුතු වුවද ඒ දෙපාර්ශ්වයටම බලයක් නොමැති ව්‍යවස්ථා සභාවකට බලය පවරා ජනාධිපතිවරයා අභිබවා යන යම් යම් බලතල එයට ලබා දීම  ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවද ඔවුහු කියා සිටියහ. පසුගිය සමයේ රටේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වූයේ 19 වැනි සංශෝධනය නිසා යැයි කියා සිටි  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති යහපත් වගන්ති එලෙසම තබාගෙන අහිතකර වගන්ති ඉවත් කොට 20 වැනි සංශෝධනය ගෙන ඒම තම අරමුණ යැයි ප්‍රකාශ කළේය. 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළමු කෙටුම්පතේ අන්තර්ගත වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමටය.  එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කෙරිණි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කර, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.

ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය. 19 වැනි සංශෝධනය මගින් වසර හයක් ලෙස පැවැති ජනාධිපති ධූර කාලය වසර පහකට සීමා කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වන අතර දෙවරකට වඩා වැඩි කාලයක් ජනාධිපති ධූරය දැරිය නොහැකිය. යන්න තහවුරු කෙරිණි. ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව  19 වැනි සංශෝධනයෙන් බලගැන්විනි..

2020 බලයට පැමිණි නව රජය කඩිනමින් 20 ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළ අතර එය පසුගිය අගෝස්තු 28 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට යළි අසීමිත බලතල පැවරෙන වගන්ති ඇතුළත්ව ඇතැයිද, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම, ජනාධිපති හා අගමැති කාර්යාල හා ඇතැම් රාජ්‍ය ආයතන විගණනයෙන් ඉවත් කිරීම වැනි වගන්ති ඇතුළත් වීම හේතුවෙන් රටට අහිතකර තත්ත්වයක් උදාවන බවටද විවිධ පාර්ශ්ව මගින් චෝදනා එල්ල විය. විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට එමගින් බලපෑම් ඇති වන බවද ඔවුන්ගේ මතය විය.

මෙම තත්ත්වය යටතේ 20 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් තව දුරටත් විමසා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළේය.  එම කමිටුව 20වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අඩුපාඩු හා අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳ වාර්තාවක් සැප්තැම්බර් 15 දින අගමැතිවරයා වෙත ලබා දී තිබිණි. එහෙත් එම කරුණු පිළිබඳව අවධානයක් නොගෙන සැප්තැම්බර් 22 දින අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, ඕනෑම පුරවැසියකුට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි.

ඒ අනුව විවිධ පාර්ශ්ව මගින් එය අභියෝගයට ලක්කරමින් මේ වන විට පෙත්සම් 39ක් ගොනු කර තිබේ.. යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය වන බවට එකී පෙත්සම්කරුවන් තම පෙත්සම් මගින් සඳහන් කර තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඇති අයිතිය අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කෙරන නියෝග උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු ගොනු කිරීම සඳහා එම කොමිසමට ලබා දී ඇති බලතල අහිමි කිරීම, ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල හා ඇතැම් රාජ්‍ය සමාගම් විගණනයෙන් ඉවත් කිරීම, නව පාර්ලිමේන්තුවක් පත්වී වසරක් ඇතුළත එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල හිමිවීම, හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට යළි අවස්ථාව හිමිවීම සහ ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සිතීමේ නිදහස නමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම, තොරතුරු දැන ගැනීමේ අයිතියට අහිතකර බලපෑම් එල්ල වීම  වැනි කරුණු මෙම පනත් කෙටුම්පත මගින් සිදුවන බවට ඔවුන් වැඩිදුරටත් තම පෙත්සම් මගින් කියා තිබිණි. එම ගැටලු සහගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ..

මෙම පෙත්සම් පසුගිය 29 දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ  කැඳවන ලද අතර එහිදී 20 වැනි පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපති දප්පුල ලිවේරා විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී වගන්ති 28ක සංශෝධන 53ක් සිදු කිරීමටද, අලුතින් වගන්ති හඳුන්වාදීමට ද යෝජනා වී ඇති අතර,  සංශෝධනය කිරීමට අපේක්ෂා කරන වගන්ති කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයිද නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එම වගන්ති මෝසමක් මගින් ඔහු විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම සංශෝධන අතර  ජනාධිපතිවරයාට වසරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර දෙකහමාර දක්වා දීර්ඝ කිරීමටද, දැනට පවතින ව්‍යවස්ථාදායක සභාව වෙනුවට හඳුන්වා දීමට යෝජනා වී ඇති පාර්ලිමේන්තු සභාවේ සාමාජික සංඛ්‍යාව 9 දක්වා වැඩි කිරීම, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව 5 දක්වා වැඩි කිරීම, ජනාධිපති කාර්යාලයේ හා අගමැති කාර්යාලයේ විගණන කටයුතු විගණකාධිපතිවරයා යටතට පත් කිරීමද  නව සංශෝධනවලට ඇතුළත්ය. එමෙන්ම කිසියම් කෙටුම්පතකට පාර්ලිමේන්තුව මගින් යෝජනා කරන කිසියම් සංශෝධනයක් එම කෙටුම්පතේ හරයනට හා මූලධර්මවලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුතුය යන වගන්තිය ඉවත් කිරීමටද තීරණය කර තිබේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් නොවූ එහෙත් කාරක සභා අවස්ථාවේදී එම පනතට එක්කිරීමට නියමිත නව වගන්ති කිහිපයක්ද වෙයි. ඒ අතර ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යභාරය ක්‍රියාත්මක කිරීමේදී ඔහු විසින් කරන ලද හෝ නොකරන ලද යම් කාර්යයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඇති අවස්ථාව ඉවත් කර තිබුණද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුවන අවස්ථාව දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විනිශ්චයට භාජනය වන සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කර අවසන් කළ යුතුය යන්න එක් වගන්තියකි. 

මෙම පෙත්සම් සඳහා මැදිහත්ව කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා අතරමැදි පෙත්සම් 7ක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබේ. ඒ මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන්  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ඕමාරේ කස්සප හිමි, ටී. වී. අබේරත්න, ඇතුළු පිරිසක් විසිනි. තෙදිනක් පුරා පැවැත්වුණු පෙත්සම් විභාගයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දීමට නියමිතය.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ 20 වැනි සංශෝධන කෙටුම්පතේ ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු ඇතුළත්ව නොමැති බවයි. එවැනි කරුණු ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළහොත් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට රජය පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.  ජනමත විචාරණයකට යොමු විය හැකි කරුණු 20 වැනි සංශෝධනයට ඇතුළත් නොකළේ වසරක් තුළ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ අපේක්ෂාව පවතින හෙයිනැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. දැනට පවතින ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතු බවද, එහෙයින් වසරක් තුළ දෙවරක් ජනමත විචාරණයක් පැවැත්වීම මුදල් නාස්තියක් හෙයින් ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු කරුණක් 20 වැනි සංශෝධනයට ඇතුළත් කර නොමැති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට සියලු බලතල පැවරෙන බවත් අගමැතිවරයා නාමික පුද්ගලයකු වන බවටත් විපක්ෂය චෝදනා කරයි. පසුගිය 29 දා අරලියගහ මන්දිරයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එමගින් අගමැතිවරයා සතු බලතල කිසිදු ලෙසකින් අවම නොවන බවය.  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙක් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රිවරුන් පිරිස  ආණ්ඩුවට සිටින බවත්, ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත දරන නමුදු අවසානයේ එකම මතයක හිඳිමින් ආණ්ඩුව ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තා සමාජගත නොකළේ මන්දැයි මාධ්‍යවේදියකු නඟන ලද පැනයට පිළිතුරු දුන් අගමැතිවරයා එය තමාගේ දැන ගැනීම සඳහා ලබා දුන් පත්‍රිකාවක් බවත් අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කෙරෙනු ඇති බවත් සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02