කොවිඩ් වසංගත තත්ත්වයේ තර්ජනය හමුවේ සමාජ දුරස්ථකරණය ඉතාම වැදගත් විය. ශ්‍රී ලංකාව රෝගයෙන් ගැලවෙන්නට පියවර ගත් රටක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ වැදගත් තැනක් දිනාගෙන ඇත. පරෙස්සමෙන් එදිනෙදා කටයුතුවල නිරතවන ආකාරය ගැන අමතක නොවන පාඩම් කියා දී තිබේ. කොවිඩ් තර්ජනය තවමත් පහව ගොස් නැත. අසල්වැසි ඉන්දියාව හා ලෝකයේ බලවත්ම රාජ්‍ය අතරින් එකක් වන ඇමරිකාව ඉතා දරුණු ව්‍යාප්තියක බව දක්වයි. දිනකට ලක්ෂ ගණනින් රෝගීහු අනාවරණය කර ගැනෙති. ජීවිතක්ෂයට පත්වන පිරිස ගැන ලැබෙන වාර්තා කනස්සල්ල ඇති කරයි.
වසංගත තත්ත්වය ගැන නැවත සිහිපත් කරන්නේ ඇයි? පොදු ප්‍රවාහනයේ තරම ගැන නිරීක්ෂණය කරන අතරතුර අවදානම ගැන නොසලකා සිටිය නොහැකිය. මහාමාර්ග වාහනවලින් ගහනය. ඒවායෙන් ඇතිකරන තදබදය විශාල ගැටලුවකි. අනෙක් පැත්තෙන් එම වාහනවල එල්ලී පැය ගණන් ගමන් කරන ජනී ජනයාගේ ඉරණම ගැන සැලකිල්ල යොමු කළ යුතුය. අද පවතින තත්ත්වයට වඩා යහපත් හා කාලය ඉතිරි කරන ප්‍රවාහන ක්‍රම රටට ඇති කරන්නට පියවර ගැනීම අවශ්‍යය. ප්‍රතිපත්ති සම්පාදකයෝ අලුත් විසඳුම් කල්පනා කිරීම සුදුසුය.
නගරවලට එන වාහන විශේෂයෙන් කොළඹ නගරයට ඇතුළු වන හා සවස පිටතට යන වාහන වෙනුවෙන් විශේෂ මාර්ග සැලැස්මක් යෝජනා කර ඇත. බස් මංතීරු ක්‍රමයක් යෝජනා කළ අතර පසුගිය කාලයේ නතර කර තිබුණ එම වැඩපිළිවෙළ නැවත ආරම්භ කර තිබේ. ක්‍රියාත්මක කිරීමේදී සෑහෙන වාද විවාද හට ගැණින. උදෑසන සහ සවස් කාලයේ පවතින අධික වාහන තදබදය පාලනය කරන උත්සාහයක් මෙම පියවර තුළ තිබේ. යම් පිළිවෙළක් ඇති කරන්නට සමත් වූ නමුත් සම්පූර්ණ උත්තරයක් වී නැත. රථවාහන තදබදය කොළඹට හෝ ලෝකයේ අනෙක් ප්‍රධාන නගරයකට සීමා වූ එකක් නොවේ. සෑම රටකම අඩු වැඩි වශයෙන් වාහන තදබදය පවතී. එය මඟහරින විවිධ ක්‍රම අත්හදා බලති. විශාල ආර්ථික හානියක් හා පරිසර විනාශයක් වන බව ගණන් බලා තිබේ.
පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි පැරිස් නගරාධිපතිනිය එහි තෝරාගත් ප්‍රදේශයක් පාපැදිවලට පමණක් සීමා කර තිබේ. සැතපුම් තිහක පාපැදිවලින් පමණක් යන එන ප්‍රදේශයක් නම් කර ඇත. පසුව එය සැතපුම් 620 ක් දක්වා ව්‍යාප්ත කරන්නට සැලසුම් කර තිබේ. එහි වාහන ගමනාගමනය තහනම්ය. පදික වේදිකාවේ ගමන් කළ හැකි අතර අවශ්‍ය නම් වෙන්කරන ලද මංතීරුවල පාපැදියෙන් සංචාරය කරන්නට අවසර තිබේ. මෙම තීරණය ජනයා ඉමහත් අස්වැසිල්ලකට පත්කර ඇත. අධික තෙහෙට්ටුව හා මානසික විඩාව අවම කර සැනසිලිදායක බවක් ඇති කර තිබේ.
මංතීරු සකස් කර පාපැදියට ඉඩදී රථවාහන සම්පූර්ණයෙන් තහනම් කිරීම ශ්‍රී ලංකාවේදී ප්‍රායෝගික නොවන්නට ඉඩ ඇත. එහෙත් මේවායෙන් කරන අනාවරණ සොයා බැලීම සුදුසුය. ජාත්‍යන්තරයෙන් වාර්තා වන තවත් කරුණක් අවධානයට ගත යුතුය. ලෝකයේ ප්‍රධාන නගර එකසිය පනහක් පමණ පොදු ප්‍රවාහනය නොමිලේ කරගෙන යයි. බස් හෝ දුම්රියවල ගාස්තු අය කිරීමක් නැත. එය ආරම්භ කළේ ලක්සම්බර්ග් නමැති කුඩා රාජ්‍යයයි. අධික පෞද්ගලික වාහන භාවිත කිරීමෙන් සිදුවී ඇති ව්‍යසනය එරට පාලකයෝ වටහා ගත්හ. පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම මගින් ආර්ථිකය ද වේගවත් කරගෙන ඇත. ලක්සම්බර්ග් රාජ්‍යයේ තොරතුරුවලට අනුව පසුගිය වසර විසිපහ තුළ ඉතාම අඩු ආර්ථික වර්ධනයක් පැවැතිණ. එයට හේතුව මහමඟට කාලය නාස්ති කිරීම බව දැක්වෙයි. දැන් එය වෙනස් වී තිබේ. ඇමරිකාව, චීනය, ඕස්ටේ්රලියාව, බ්‍රසීලය, පින්ලන්තය සහ බෙල්ජියම ඇතුළු රටවල තෝරාගත් නගර සිය ගණනක් පොදු ප්‍රවාහනය නොමිලේ සපයන තැනට පත්ව ඇත. පහසුවෙන් ගමන් බිමන් යා හැකි බස් හා කාර්යක්ෂම දුම්රිය සේවයක් සමග ගාස්තු අය කිරීමක් නැති අවස්ථාවක, පෞද්ගලික වාහන භාවිතය අඩු විය හැකි බව සනාථ වී තිබේ.
රටක් දියුණුවන විට පෞද්ගලික වාහනයක් මිල දී ගැනීම ජනතාවගේ අභිමතාර්ථයයි. එයට බාධා කිරීම සුදුසු නැත. එහෙත් අධික වාහන භාවිතය අධෛර්යයට පත්කර ප්‍රතිපත්ති සකස්කිරීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ මගී ප්රවාහනයෙහි අකාර්යක්ෂම හා මහා මාර්ගයේ කාලය නාස්තිකිරීම පෞද්ගලික වාහන භාවිතය වැඩිවන හේතුවකි. මෙරට පොදු ප්‍රවාහනය ලාභදායීව පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසායයක් නොවේ. ලංගම හා දුම්රිය සේවා විශාල පාඩු ලබයි. පෞද්ගලික බස් රථ ධාවකයෝ පවා එහි පිරිවැය ගැන මැසිවිලි නගති. ප්‍රමාණවත් බස්රථ හා දුම්රිය නැති බව අවධාරණය වන තවත් කරුණකි. රාජ්‍ය ආදායමෙන් තවත් කොටසක් යෙදවුවහොත් පොදු ප්රවාහනයයෙහි පරිවර්තනයක් කළ හැකිය. එය පෞද්ගලික වාහන භාවිතය අඩුකරනු ඇත. පොදු ප්‍රවාහනය දුර්වලවීම ඉදිරියේ පෞද්ගලික වාහන භාවිතය පමණක් නොව රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල පවා තමන්ටම කාර්යාලයීය ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. පාසල් බස්රථ පවා එම පාසල්වලින්ම අරඹා ඇති අවස්ථා නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි පියවර මගින් වාහන තදබදය තවත් දරුණු තැනකට කැඳවා තිබේ.
මෙරට ප්‍රධාන මං මාවත්වල ගමන් කරන වාහන ප්‍රමාණය ගැන තක්සේරුවකට යා යුතුය. ඒවායේ ගමන් කරන මගීන්ගේ පහසුව ගැන හිතන්නට අවශ්‍යය. පහසු ප්‍රවාහනයෙන් සමාජ දුරස්ථ භාවය ඇති කළ හැකිය. පොදු ප්‍රවාහනය ශක්තිමත් වනවිට පෞද්ගලික වාහන භාවිතය අඩුවෙයි. නොමිලේ ගමන් බිමන් යා හැකි වටරවුම් සේවා කොළඹට වැඩකරන ජනතාවට කැඳවන සේ සකස් කළ හැකි අතර දුම්රිය සේවා නොමිලේ ගමන්වලින් එය වඩාත් ප්‍රචලිත කළ හැකිය. ආර්ථික දියුණුව සමග එන ප්‍රවාහන ගැටලුවලට සම්ප්‍රදායික රාමුවෙන් බැහැර විසඳුමක් නිර්මාණය කරගැනීමට ජාත්‍යන්තරයෙන් ලැබෙන අදහස් ද සලකා බැලිය හැකිය. මාර්ග විනය ඇති කරන අතර දඩ නියම කර මංතීරු ඇති කිරීම එකම උත්තරය නොවෙන්නට ඉඩ තිබේ.
මිලින්ද මොරගොඩ
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.