තම වෘත්තීය ජීවිතයේ ප්‍රායෝගිකව නියැලෙන අතරතුර, ඊට අදාළ ශාස්ත්‍රීය කරුණු හදාරමින් එම විෂයට අදාළ දර්ශනශූරී (PhD) උපාධිය දිනාගැනීමේ දස්කම පා ඇත්තේ ඉතාමත් අල්ප පිරිසකි. චිත්‍රපට හෝ නාට්‍ය හා රංග කලාව තුළ පවා රංගනයේ යෙදෙමින් රංග කාර්යය පිළිබඳ දර්ශනශූරී උපාධියක් දිනාගත් විද්වතුන් මෙරට උන්නේ දෙතුන් දෙනෙකි. මා දන්නා තරමින් මෙරට රංගන ක්ෂේත්‍රයේ මෙම දස්කම මුලින්ම පෑවේ ආචාර්ය සාලමන් ෆොන්සේකාය. ඉන්පසු එම දස්කම ප්‍රදර්ශනය කළ රංග ශිල්පියා ආචාර්ය සෞම්‍ය ලියනගේය.
රංග ශිල්පියකු ලෙස මහත් කීර්තියක් දිනා ඉන්නා සෞම්‍යගේ රංගන ජීවිතය ගැන කෙටියෙන් හෝ යමක් සඳහන් නොකිරීම අඩුවකි. අතිශය සාර්ථකත්වයට පත් අබා, මේ මගේ සඳයි, සුළඟ එනු පිණිස ඇතුළු චිත්‍රපට 16කට වැඩි සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායක වූයේය. පියල් කාරියවසම්ගේ කොන්තරාත්තුව, මට එරෙහි මම ඇතුළු වේදිකා නාට්‍ය රාශියක ඔහු තම රංගන කෞෂල්‍ය ප්‍රදර්ශනය කළේය. 1992දී සිත්තර ගුරුන්නාන්සේ ටෙලිනාට්‍ය රංගනයෙන් ඇරඹි ඔහුගේ ටෙලිනාට්‍ය රංගන දිවිය තුළද අති දක්ෂ නළුවකුට පමණක් ඉදිරිපත් කළ හැකි සියුම් රංග ප්‍රතිභාව විදහා පෑවේය.
2007 දී සහ 2017දී පිළිවෙළින් ආගන්තුකයා හා නිම්නයක හුදෙකලාව යන චිත්‍රපට උදෙසා හොඳම නළුවාට හිමි සරසවි සම්මානය දිනාගත් ඔහු 2008 දී වළාපටල චිත්‍රපටයෙන් හොඳම සහාය නළුවාට හිමි සරසවි සම්මානය දිනාගත්තේය. සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් උදෙසා 2015 දී නාට්‍ය හා රංගනය වෙනුවෙන් ඔහුට බුන්කා සම්මානය පිරිනැමුණේය
තම ශාස්ත්‍රීය ජීවිතයේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (BA) උපාධියත්, ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (MCA) උපාධියත්, ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනශූරී (PhD) උපාධියත් හෙතෙම දිනාගත්තේය.
2011 දී හොඳම නිබන්ධන පත්‍රිකාවට පිරිනැමෙන සම්මානය සහ ත්‍යාගය ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමුණේ සෞම්‍ය ලියනගේටය. එම විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල පුවත් අඩවියේ අදත් එම පුවත සඳහන්ව ඇත්තේ Sri Lanka Star wins best paper award යන හිසිනි. එකී සම්මානයට සහ වෙරෝනිකා කෙලී ත්‍යාගයට පාදක වූයේ, නළුවකුගේ ඥාන විභාගය අමතන්නට, සිය ශරීරය තුළින් නළුවකු පුහුණු වන ආකාරය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අධ්‍යයන පත්‍රිකාවයි. නළු පුහුණුව උදෙසා ඉවහල් වන මාහැඟි කෘතියක් ලෙස ඕස්ට්‍රේලියානු නාට්‍ය හා රංග කලා අධ්‍යයන සංගමය එම නිබන්ධනය අන්තර්ජාතික නිබන්ධන අතරට එක්කර තිබේ.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව ඔහු රංගනය පිළිබඳ අධ්‍යයනයන්හි නිරත වන විදේශ ආයතන සම්බන්ධ කරගෙන මෙරට රංගන ශිල්පීන් උදෙසා වැඩමුළු පවත්වා ඔවුන්ගේ හැකියාවන් යාවත්කාලීන කර දෙන්නටද උත්සුක වූයේය. මේ පසුබිමේ සෞම්‍ය ලියනගේ ඉසිලූ පීඨාධිපති තනතුරෙනුත්, ඔහුගේ මහාචාර්ය ධුරයෙනුත් ඔහු ඉවත් කර ඇති පුවත පසුගිය සතියේ වාර්තා වූයේය.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී විසින් 2020.08.26 දාතමින්, ලේඛකාධිකාරී වෙත යවා ඇති &මහාචාර්ය එස්.පී.ඩී. ලියනගේ මහතාගේ ආධුනික කථිකාචාර්ය තනතුරෙහි ස්ථීර කිරීම හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II) තනතුරට උසස් කිරීම පිළිබඳ වාර්තාව* නම් ලිපියට අනුව සෞම්‍ය ලියනගේ ඉහත කී ධුරවලින් ඉවත් කිරීමට පසුබිම් වූ මූලික කරුණු පහත පරිදිය. එය දීර්ඝ ලිපියක් බැවින් මූලික කරුණු පමණක් මෙහිදී ඉවහල් කර ගැනේ.
එම ලිපියට අනුව විශ්වවිද්‍යාලය විසින් La Trobe විශ්වවිද්‍යාලයෙන් සෞම්‍යගේ පශ්චාත් උපාධිය සම්බන්ධව විමසන ලදුව පශ්චාත් උපාධිය (PhD)ට අදාළ සියලු අවශ්‍යතා 2015.08.12 දිනට ඔහු සම්පූර්ණ කොට ඇති බව, එකී විශ්වවිද්‍යාලය විසින් 2015.09.22 දාතමින් යුතුව තහවුරු කොට ඇති බව වැදගත් වේ. ඔහුගේ පශ්චාත් උපාධි සහතිකය සත්‍යාපනය කර ගැනීමෙන් අනතුරුව සේවය ස්ථීර කිරීමට සහ II ශ්‍රේණියේ කථිකාචාර්ය තනතුරට උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව, එම සම්මුඛ පරීක්ෂණයේ තීරණය දී තිබේ.
එම තීරණයේ දෙවැනි ඡේදයේ මෙසේ සඳහන්ය.
තනතුරෙහි තහවුරු වීමට අවශ්‍ය පශ්චාද් උපාධිය ඔහු විසින් සම්පූර්ණ කර ඇත්තේ කථිකාචාර්ය (ආධුනික) තනතුරෙහි වසර 8ක පරිවාස කාලය තවත් මාස 06 දින 10කට පසුව එළඹෙන 2015.08.12 දිනය. 2010.06.01 සිට 2014.08.25 දින දක්වා ඕස්ට්‍රේලියාවේ La Trobe විශ්වවිද්‍යාලයේ දර්ශනශූරී උපාධිය හැදෑරීම සඳහා ඔහු වෙත මෙම විශ්වවිද්‍යාලය විසින් අධ්‍යයන නිවාඩු ලබාදී ඇති බැවින්ද තවත් ශාස්ත්‍රපති උපාධියක් වෙනුවට දර්ශන ශූරී උපාධියක් හැදෑරීම මගින් ශාස්ත්‍රීය ඥානය වර්ධනය කර ගැනීමට ප්‍රයත්න දරා ඇති බැවින්ද ඔහුගේ සුදුසුකම් හා දක්ෂතාව සැළකිල්ලට ගෙන මුල් පත්වීම් දිනය වන 2007.02.02 දින සිට ඔහු නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය (ආධුනික) තනතුරේ තහවුරු කිරීමටත්, ඔහු විසින් පශ්චාත් උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද දිනය වන 2015.08.12 දින සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය) තනතුරට උසස් කිරීමට සහ....
ඉහත නිර්දේශ පිළිබඳ තීරණයක් 2015.12.14 දින පැවැති 127 වැනි පාලක සභා රුස්වීමේදී ගෙන තිබේ. එම තීරණය මෙසේය.
&නියමිත කාලය තුළ (වසර 08 ක කාලයක් තුළ) ලියනගේ මහතා සිය පශ්චාද් උපාධි සුදුසුකම් සපුරා නොගැනීමේ හේතුවෙන් 2015.02.02 දින සිට තාවකාලික කථිකාචාර්ය තනතුරට පත්කර ඇති බැවින් ඔහු කථිකාචාර්ය තනතුරෙහි ස්ථීර කළ නොහැකි බව පෙන්වා දුනි. කෙසේ වෙතත්, මොහු තාවකාලික කථිකාචාර්ය තනතුරට පත්කළ දින සිට පශ්චාද් උපාධි සුදුසුකම් සපුරාගත් බවට සහතික ඉදිරිපත් කළ දින දක්වා වූ මාස 06 දින 10ක කාලය මාස 07ක් ලෙස සලකා එම කාලය මුල් පත්වීම් කාලයෙන් අඩුකර 2007.09.02 දින සිට සේවයෙහි තහවුරු කිරීම හා අදාළ සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද දිනය වන 2015.08.12 දින සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (01 ශ්‍රේණිය) තනතුරට උසස් කිරීම පාලක සභාව විසින් අනුමත කරන ලදී.(ඇමුණුම 09)
සේවය ස්ථීර කිරීම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය II ශ්‍රේණියට උසස් කිරීම සම්බන්ධයෙන් 2015, 2019 වර්ෂවලදී විගණන විමසුම් (අභ්‍යන්තර හා රජයේ විගණන අංශ) ඉදිරිපත් කර තිබූ බවත් 2019 වර්ෂයේදී රජයේ විගණන අංශ වෙතින් කර තිබූ විමසීම් නිසි බලධාරී උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2019.12.06 පැවති 169 පාලක සභාව වෙත වාර්තා කර ඇති බවද උක්ත වාර්තාවේ (15 යටතේ) දැක්වේ. එම විගණන විමසුමේ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයන ආයතන අංශයේ වාර්තාවක් කැඳවා ඇති අතර එකී වාර්තාව 2020.02.20 දින 170 වන පාලක සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආචාර්ය එස්.පී.ඩී. ලියනගේ මහතා සේවයේ ස්ථීර කිරීම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණියේ) තනතුරට උසස් කිරීම 1978 අංක 16 (සංශෝධිත) පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිදුකර ඇති බැවින් එය නිවැරදි කරන ලෙස ගනු ලැබූ 2020.02.13 දිනැති 1026 වන කොමිෂන් සභා තීරණ විශ්වවිද්‍යාලය වෙත දැනුම් දී ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තම බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බව නීතිපති විසින් තහවුරු කර ඇත.
ආචාර්ය සෞම්‍ය ලියනගේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තනතුරුවලින් ඉවත් කොට ඇත්තේ එම තීරණය අනුව බැව් පෙනී යයි. අදාළ විගණන විමසුමට ඉදිරිපත් කළ තොරතුරු දැනගන්නට නොලැබිණි.
මේ අතර සෞම්‍ය ලියනගේ හට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් මේ දිනවල සංසරණය වේ. වියතුන් බුද්ධිමතුන් කලාකරුවන් සෞම්‍ය හට සාධාරණය ඉටුවිය යුතුය යන අදහස් පළකරමින් තබන අන්තර්ජාල සටහන්ද මේ දිනවල බොහෝය. ඉහත කී පෙත්සමේ සහ විශ්වවිද්‍යාල අත්දැකීම් සහිත විද්වතුන් පළකරන අදහස්වල සෞම්‍යට අදාළව ගත් තීරණය වැරදි යැයි පවසා ඇත්තේ කාරණ කිහිපයක් මතය. ඒවායේ පළවී ඇති මුඛ්‍ය අදහස් මේවාය.
(1) විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ගන්නා ලද වැරදි තීරණයකට සෞම්‍ය ලියනගේ වන්දි ගෙවිය යුතු නැත. එම තීරණ වැරදී ඇත්තේ තාක්ෂණික දෝෂයක් නිසාය.
(2) සෞම්‍ය සිය දර්ශන ශූරී උපාධියට අදාළ කටයුතු සම්පූර්ණ කළ දිනය ලෙස විශ්වවිද්‍යාලය සැලකිය යුත්තේ ඔහු නිබන්ධනයේ කටයුතු සම්පූර්ණ කළ 2014 සැප්.30 දිනයයි. ඔහුගේ දර්ශන ශූරී උපාධිය 2014ට වලංගු බව ලාට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල සටහන්වල පැහැදිලිව දැක්වේ. මේ නිසා ඔහු තම පරිවාස කාලය තුළ එම උපාධිය සම්පූර්ණ කළ බව (සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සැලකුවා සේ) පාලක සභාව සැලකිය යුතුය.
(3) මේ තීරණයෙන් පීඩාවට පත් තැනැත්තාට තමා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදී නැත. ඊට අදාළ විධිමත් විමර්ශනයක්ද සිදුකර නැත.
මේ සම්බන්ධෆයන් සෞම්‍යගේ පැත්තෙන් තොරතුරු දැනගන්නට ඔහු ඇමතූ වේලේ නීති උපදෙස් මත මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බව සෞම්‍ය කියා සිටියේය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධාරිවරයාගෙන් මේ සම්බන්ධ තොරතුරු ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ, සහකාර ලේඛකාධිකාරීවරියක මගින් ඔහු දන්වා සිටියේ ඊට අදාළව තමන් අදහස් පළ නොකරන බවයි. තොරතුරු සොයාගෙන මේ සම්බන්ධව වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ විරෝධයක් නොතිබිණි.
සමන් පුෂ්ප ලියනගේ