2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

රටවල් දෙකේ ඉඳන් මෝදි - මහින්ද පැවැත්වූ සමුළුව

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පසුගිය සැප්තැම්බර් 26 දා විඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය. ඉන්දියාව අසල්වැසි රාජ්‍යයක් සමග මෙවැනි ද්විපාර්ශ්වික සමුළුවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය. මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතූ මෝදි මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයටද සුබ පතමින් තම කතාව ආරම්භ කළේය. පැයක පමණ කාලයක් පැවති මෙම සමුළුවේදී නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පොදු අවධානයට ලක්වූ කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්හ.

දැනට පවත්නා යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳවද දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් විය.. අධ්‍යාපනය, කෘෂිකර්මය, වෙළඳාම වැනි ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙම සහයෝගිතාව ඉදිරියට ගෙනයා හැකි  බවද,  නව රජය මූලික ආර්ථික කටයුතු නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවසූ මෝදි මහතා දෙරට අතර පවතින සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් කටයුතු කිරීම තම අපේක්ෂාව බවද පැවසීය.

මෙවැනි සමුළුවක් පැවැත්වීමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් තම ස්තුතිය ඉන්දීය අගමැතිවරයාට පුදකළ මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීමට කටයුතු ආකාරය නිසා තමන්ට විශාල ජනවරමක් හිමිවූයේ යැයි ප්‍රකාශ කළේය. සියලු ජාතීන්ට සමගියෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන බව පැවසූ අගමැතිවරයා නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා ලංකාවත් ඉන්දියාවත් සාමුහිකව කටයුතු කිරීම මගින් පැහැදිලි වන්නේ දෙරට අතර සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම විශාල ප්‍රයෝජනයක් අත් වන බව යැයි කීවේය. කොවිඩ් 19 හමුවේ බිඳ වැටුණු ආර්ථිකය  හේතුවෙන් ඉන්දියාව තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම වැදගත් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පැවසීය.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කරන ලෙසට අගමැති මෝදි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ද ඊට ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ලැබී ඇති ජනවරම අනුව ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම විශ්වාසය පළ කර තිබේ.

ද හින්දු පුවත්පත සහ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරන පරිදි මෙම සමුළුවෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ඉදිරියට ගෙන යෑම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක  කිරීම අත්‍යවශ්‍ය යැයි අගමැති මෝදි මහතා අවධාරණය කළ බවයි. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනයාට සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය හිමිවන පරිදි ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කිරීමට පියවර ගන්නා ලෙසට මෝදි මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි එහි සඳහන්ය. 

ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාවලියේ දී මෙන්ම කලාපීය මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ සහයෝගීතාවයේ වැදගත්කම නායකයන් දෙදෙනාම පිළිගෙන තිබේ. ද්විපාර්ශ්වික මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ. ආර්ථික සංවර්ධනය සඳහා සහාය වීම සහ කෝවිඩ් 19 ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 400 ක මූල්‍ය  හුවමාරු පහසුකමක් ලබා දී ඇතැයිද එම නිවේදනයේ සඳහන්ය..

ඩොලර් බිලියනයක පමණ වටිනාකමින් යුත් ද්විපාර්ශ්වික මුදල් හුවමාරු කිරීමේ විධිවිධානයක් සඳහා වන අතිරේක ඉල්ලීමක් පිළිබඳවත්,. ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ගෙවීමට ඇති ණය කල්දැමීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳවත් සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ඉන්දීය සාගර කලාප සම්බන්ධිකරණ ලේකම් අමිත් නරංග් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ යුක්තිය සහ පශ්චාත් යුධ සංහිඳියාව ගැන සඳහනක් කර නැතැයි ද හින්දු පුවත්පත සඳහන් කර තිබේ.

2005 සිට දශකයක කාලයක් ජනාධිපති ධුරය දැරූ අගමැති රාජපක්ෂ මහතා එම කාලය තුළ, අර්ථවත් බලය බෙදා හැරීමක් සහතික කිරීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බවට ඉන්දියාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට අවස්ථා කිහිපයකදීම සහතික කර තිබුණද මේ වන තෙක් එම  පොරොන්දුව ක්‍රියාත්මක කර නොමැති යැයි එම පුවත්පත සඳහන් කරයි. රාජපක්ෂ පාලනයට සම්බන්ධ ඇතැම් පිරිස් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින මොහොතක පසුගිය සෙනසුරාදා පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සඳහන් වීම වැදගත් බවද එම පුවත් පතේ වැඩිදුරටත් සඳහන්ය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02