2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

පොල් මිලට ගියකල!

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

නිවෙසක ඉදෙන සෑම වෑංජන තුනෙන් එකකට හෝ පොල්කිරි දැමීම ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ සිරිතකි. ඒ නිසාම පොල් ගෙඩියේ ගණන් අඩු වැඩි වනවිට පාරිභෝගික ජනතාවගේ මුදල් පසුම්බියට දැනෙන්නේ පොල් ගෙඩි 12ක් 15ක් තරම් බරක් උසුලාගෙන යෑමක් වැනිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම භෝගය වන වී වගාව හැරුණු විට වැදගත්කමක් උසුලන දෙවැනි භෝගය වශයෙන් හැඳින්විය හැක්කේ පොල් වගාවයි. කර්මාන්තයක් ලෙසින් ගත් කළ වී වගාවට මෙන්ම පොල් වගාවටද මූලිකත්වයක් ලැබීමට කරුණු කිහිපයක් බලපා තිබේ. එයට වඩාත් ආසන්නතම හේතුව වන්නේ පාරිභෝජනය අතින් පොල්, මිනිසාගේ ආහාර වේල සඳහා සෑම දිනකම පාහේ එක්කර ගන්නා නිසාය. මෙරට පොල් ඵලදාවෙන් සියයට 80ක්ම වෙන්වන්නේ පරිභෝජනය සඳහා වන අතර එක් පුද්ගලයකු වසරකට පොල් ගෙඩි 116ක් පමණ පරිභෝජනය කරන බව සංඛ්‍යාලේඛනවලින් හෙළිවේ. සාමාන්‍යයෙන් හතරදෙනකුගෙන් යුතු පවුලකට දිනකට පොල් ගෙඩියක් පමණ අවශ්‍යය.

පොල් ගැන කතාකිරීමේදී පොල් මිල ගැන කතා නොකරම බැරිය. මාස කිහිපයක සිට ඉහළ යමින් තිබෙන පොල් ගෙඩියක සිල්ලර මිල මේ වනවිට රුපියල් 80 ඉක්මවා තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2020 අගෝස්තු මස 2 වැනි සතියේ මිල ගණන් වාර්තාව අනුව කොළඹ මැනිං වෙළෙඳපොළේ පොල් ගෙඩියක සිල්ලර මිල ලෙස සටහන්ව තිබුණේ රුපියල් 80කි. කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 50-60 අතර මිලකට ලබාගත හැකි අතර ගෙඩියේ විශාලත්වය අනුව ගෙඩියේ මිලද ඉහළ යයි.

මෙලෙස වෙළඳපොළෙහි පොල්මිල ඉහළ යාම පිළිබදව දේශයේ අප පාර්ශ්ව කිහිපයකින් විමසීමක් කළෙමු.

අතින් පාඩු කරගෙන විකුණන්න බෑ
- උදය බනාසර්

මේ දවස්වල නම් බිස්නස් ගැන කතාකරලා වැඩක් නැහැ. අපි ගන්න ගාණටත් අඩුවෙන් තමයි පොල් දෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අතින් පාඩු කරගෙන හරි මේ ගෙනාපු පොල් ටික දෙනවා. නැත්නම් වැඩිමිලට වික්කා කියලා පාරිභෝගික එකේ මහත්තුරු නඩු දානවා. ඒ නිසා මේ ටික දීලා ගාන එහේ මෙහේ වෙනකම් ආයේ පොල් ගේන එක නවත්තනවා. පාඩු පිට දෙන්න බැහැනේ. අනික පොල්ගෙඩිය වටේ මැනලා ඒකේ ප්‍රමාණෙට තමයි විකුණන්න කියන්නේ. එහෙම වටමැනලා විකුණන්න තරම් පොල් එන්නේ නැහැ. පොඩි පොල් තමයි එන්නේ. 65කට තමයි විකුණන්න වෙන්නේ. අපි පොල් ගෙඩියක් ගන්නේම 67 කට වගේ. ආයේ ගාණ පොඩ්ඩක් අඩු වෙනකම් පොල් ගේන්නේ නැහැ.

ලොකු පොල් දැන් රුපියල් 100ක්
- චාන්දනී

මේ දවස්වල නම් පොල්කිරි දාලා හොද්දක් කන්න බැහැ. ඒ තරමටම පොල් ගණන්. අනික පාලන මිලට පොල් දෙන්න කිව්වට රුපියල් 70ට කඩේ ගන්න තියෙන පොල් ගෙඩියක් එක වෙලක් තමයි පිරිමහ ගන්න පුළුවන්. එකෙනුත් හොදි දෙකකට කිරි දාන්න තරම් පොල් කිරි ගන්න බැහැ. ඉස්සර ලොකු පොල් තිබුණා. දැන් හොයන්නවත් නැහැ ලොකු පොල් ගෙඩියක්. අනික ලොකු පොල් කියලා විකුණන්න තියෙන පොලුත් රුපියල් 100ක් වෙනවා. ඒ කිව්වට ඒ පොල්වලිනුත් හොදි දෙකකට කිරි දාන්න බැහැ. තෙලෙන් බැදලා තමයි දැන් අපිට කන්න වෙලා තියෙන්නේ.

ගත්ත ගාණටවත් විකුණාගන්න බෑ
- ෆවුමි

මේ දවස්වල පොල් මිල ටිකක් වැඩියි. පාරිභෝගිකයනුත් ගෙනියන්නේ පොඩි පොල්. මොකද දැන් පොඩි පොල් තමයි අපිට විකුණන්න ගේන්න වෙලා තියන්නේ. දැනට මාස දෙක තුනක ඉඳලා තමයි මේ ප්‍රශ්නේ ලොකුවට තියෙන්නේ. අද මිනිස්සු බැණ බැණ යන්නේ. නමුත් අපිට කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. ගෙනාව ගාණටවත් විකුණන්න බැහැ. අනික වැඩි මිලට අලෙවි කළොත් පාරිභෝගික එකෙන් නඩු දානවා. අනේ මන්දා මොනවා කරන්නද කියලා. මිනිස්සු හිතන්නේ අපි මේ ගාණට දෙන්න පොඩි පොල් ගේනවා කියලා. නමුත් එහෙම නැහැ. අපිට ගේන පොල් තමයි අපි විකුණන්නේ.

එලොව පොල් පේනවා...
- සුමනා කුලතුංග

පොල්වල ගාණ ඇහුවම දැන් අපිට එලොව පොල් පේනවා. අද හොද්දකට පොල් කිරි දාලාකන්න බැහැ. ඒ තරමට පොල් මිල ගණන්. අනික පොඩි පොල් ගෙඩියක් රුපියල් 55ත් 60ත් අතර ගාණක් වෙනවා. මෙහෙම ගියොත් මිරිස් හොදි හදලා තමයි අපිට කන්න වෙන්නේ. ඉස්සර කඩේ ගන්න තිබුණ පොල් ගෙඩියකින් වේල් දෙක තුනක් කන්න පුළුවන්. එත් දැන් තියෙන පොල් ගෙඩියකින් එක වේලක්වත් කන්න බැහැ. අතට අහුවෙන්නෙත් නැහැ පොල් ගෙඩිය. ඒ තරම් පොඩි පොල් තමයි අද වෙළඳපොලේ විකුණන්න තියෙන්නේ. මුදලාලි කියනවා මේ මිලට ගන්න පුළුවන් ලොකු පොල් කියලා. රජය නිවුස්වලට කියනවා ලොකු පොල් නිසි මිලට දෙන්න කියලා. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා දන්නේ නැහැ අපි. කවුරු මොනවා කිව්වත් අන්තිමට තැලෙන්නේ අපි වගේ පොඩි මිනිස්සු.

මිල වැඩි නිසා ගන්න අමාරුයි
- අලීමා

අද වනවිට වෙළඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 20කින් 30කින් විතර ගණන් ගිහින් තියෙනවා. ඇත්තටම වෙනදට අපි පොල් ගෙඩි 4,5ක් අරන් යනවා සතියකට. එකෙන් දවස් 10ක් විතර කන්න පුළුවන්. හැබැයි දැන් එක පොල් ගෙඩියක් තමයි ගෙනියන්නේ. එකෙනුත් එක වේලක් දෙකක් තමයි කන්න පුළුවන්. අනික මේ ගෙනියන පොල්වලින් පොල් කිරි කෝප්ප එකකට වඩා ගන්න බැහැ. මේ මිල වැඩි නිසා ලොකු පොල් දැන් කවුරැත් ගන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම පොල්වලට පාලන මිලක් දාපු එක හොඳයි. ඒ වුණාට ඒ පොල්ගෙඩියකින් වේලක්වත් කන්න බැහැ. රජයෙන් අර මිනුම් පටියෙන් මැනලා පොල් දෙන්න කිව්වට කඩේට ගියාම එහෙම නැහැ. ඔක්කොම තියෙන්නේ එකම සයිස් එකේ පොඩි පොල් තමයි.

වැඩි මිලට වික්කොත් අපිට කියන්න
- පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක

පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 70කට යටත් කරමින් මේ වනවිට ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියනවා. එම ගැසට් නිවේදනය අනුව වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල, රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12ත්, 13ත්, අතර පොල් ගෙඩියක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ හැකියි. වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 කට අලෙවි කළ හැකියි. එම මිල ගණන්වලට පොල් අලෙවි නොකරන්නේ නම් අධිකාරියේ අංක 1977 දුරකතන ඇමැතුමක් ලබාදෙමින් විස්තර දන්වන්න කියලා අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මිල පාලනය කරන්න අපි උත්සාහ ගන්නවා
- පොල්, කිතුල්, තල් හා රබර් ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

මේ වනවිට දක්නට ලැබෙන මෙම පොල් මිල වැඩිවීම පොල් මිලදී ගන්නා තැරුව්කරුවන්ගේ හා මිලදී ගන්නන්ගේ එකතුවෙන් සිදු වී ඇති අවිධිමත් මිල වැඩි වීමක් වගකිවයුතු රජයක් ලෙස මෙම මිල වැඩිවීම පාලනය කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න අපි කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙරට පොල් වගාව නගා සිටුවීමට ක්‍රමවත් හා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

  හසිත් අංජන
සේයාරූ- සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02