2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

වාහන ආනයනය තහනම පොදු ජනතාවට බලපාන හැටි

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

වාහන ආනයනය තහනම් කර මාස හයක් ගත වී තිබේ. පසුගිය වසර දෙක තුළ, රථවාහන ගෙන්වීම විවිධ මට්ටම්වලින් පාලනය කරන්නට ආණ්ඩුව උත්සාහ කර ඇත. එහි යහපත හා අයහපතක්ද තිබේ. මුළු ලෝකයම බරපතළ ආර්ථික අවපාතයක පසුවන අවස්ථාවක පුනර්ජීවනය අරමුණු කරගෙන තීරණවලට එළැඹිය යුතුය. අලුත් අදහස්, අලුත් ප‍්‍රතිපත්ති වලින් වෙනස්කම් කරන්නට අවශ්‍යය.

පොලිස් රථවාහන අංශය පසුගියදා සිට බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබේ. එයට හේතුව පෙරවරුවේ සහ පස්වරුවේ පවතින අධික වාහන තදබදය බව පැහැදිලිය. කාර්යාල හා පාසල් ආරම්භ කරන හා කාර්යාල අවසාන කරන කාලවේලාව සලකා මෙම නීතිය බලපවත්වන නමුත් දවස පුරා නගරාසන්න ස්ථානවල වාහන තදබදය අසීමිතය. කොළඹ හෝ ප‍්‍රධාන නගරවලට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් නොවේ. සාමාන්‍ය ජනතාවට මහ පාරේ නිදහසේ ඇවිදගෙන යන්නට තරම්වත් නිදහසක් නැති පමණට අධික වාහන ප‍්‍රමාණයක් රට තුළ භාවිතා කෙරේ.

• සියයකගෙන් හත් දෙනෙකුට වාහනයක අයිතියක්

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් හත් දෙනෙකුගෙන්ම එක අයකුට වාහනයක් ඇත. යතුරු පැදියක සිට සුඛෝපභෝගී වාහන දක්වා පරාසයකට විහිදී තිබේ. දළ වශයෙන් සෑම පවුලකටම වාහනයක් ඇති බවට අනුමාන කළ හැකිය. මෙම දර්ශකයෙහි අඩුවැඩිවීම කෙසේ වෙතත් සමාජයක් දියුණු වනවිට පෞද්ගලික වාහන භාවිතයෙහි වර්ධනය සාමාන්‍ය දෙයකි. වාහනයක් මිල දී ගැනීමට හා නඩත්තුවට හැකියාවක් ඇති ඕනෑම පුරවැසියකුගේ එම අයිතියට බාධා කිරීම සුදුසු නැත. එහෙත් සමාජ වටපිටාව හා ආර්ථික තත්ත්වය අනුව තීරණ ගැනීමට ආණ්ඩුවකට සිදුවෙයි. වත්මන් ආණ්ඩුව විනිමය හිඟයකට මුහුණ පා සිටී. එක පැත්තකින් ප‍්‍රධාන විනිමය උත්පාදන අංශ අවහිර වී තිබේ. විගමනික ශ‍්‍රමිකයන්ගේ ප්‍රශ්න, සංචාරක කර්මාන්තය, ඇඟළුම් අපනයනය හා කෘෂි නිෂ්පාදන අපනයනය සීමාසහිත වී ඇත. එයට හේතුව දැනට පවතින ගෝලීය වසංගත තත්ත්වයයි. කොවිඩ්-19 වයිරසයේ බලපෑමක් නොවේ නම් අද වනවිට ශ‍්‍රී ලංකාවේ විදේශ සම්පත් ඉහළ මටට්මක විය හැකිය. අනෙක් පැත්තෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය හා කලින් ගත් ණය වෙනුවෙන් ගෙවන වාරික අත්හැර දැමීමට හැකියාවක් නැත. විනිමය සංචිතය පාලනය කරගනිමින් ස්ථාවර භාවයක් අරමුණු කරගෙන වාහන ආනයනය තාවකාලිකව නතර කිරීම හැර විකල්පයක් නැත.

රටට ගෙන්වන වාහන සම්බන්ධව පාලනයක් කරන පියවර ආරම්භයේදී සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා ණයවර ලිපි නිදහස් කරගැනීමක් වශයෙන් පැනවීය. එවැනි නියමයක් පනවන්නේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ය. එම වසරේ අග භාගයේදී වාහන ආනයනයට බදුරහිත බලපත‍්‍ර නිකුත් කිරීම නතර කරන ලද අතර ඉකුත් වසරේ ජූනි මාසයේ සිට අලුත් බලපත‍්‍ර නිකුතුවද නතර කර තිබේ. මැති ඇමැතිවරු, රජයේ නිලධාරීහු ඇතුළු වරප‍්‍රසාද සහිත පිරිසකට සීමාවකට යටත්ව බදු රහිත වාහනයක් ආනයනයට බලපත‍්‍රයක් ලැබෙන අතර පසුගිය කාලයේදී එම වාහන ගෙන්වීමෙන් පසු විකිණීම සඳහා තිබුණ අවහිරයද ඉවත් කළේය. තීරැ බදු ගෙවා ගෙන්වන අති සුඛෝපභෝගී වාහන පමණක් නොව වාහන නොගෙන්වා එම ලියැකියැවිලිද ප‍්‍රසිද්ධියේ විකුණන තරමට විකල්ප වාහන වෙළඳ පොළක් රට තුළ නිර්මාණය වී ඇති අතර එය රජයට ආදායම අහිමිවන අතර අතරමැදියන්ට අලුත් ආදායමක් හැදෙන පියවරක් වී තිබුණි.

• වාහන ගිනි ගණන්: සේල් වැහෙන තත්ත්වයක්

තහවුරු නොකරන ලද වෙළඳපොළ වාර්තා දක්වන අන්දමට මෙරට වාහන අලෙවියේ නිරතව සිටි සෑහෙන පිරිසකට ආදායම් මාර්ග අවහිර වී තිබේ. වාහන සේල් හතළිහක් පමණ වැසී ඇතැයි අයිතිකරුවෝ දක්වා ඇත. දැනට රට තුළ හුවමාරු වන පාවිච්චි කරන ලද වාහනවල මිලද ඉහළ ගොස් තිබේ. නවීන සුඛෝපභෝගී වාහනයක මිල රු. ලක්ෂ විස්සක සිට තිහ දක්වා පරාසයකින් වැඩිකර ඇත. සාමාන්‍ය වාහනයක් පවා ලක්ෂ දෙක තුනකින් වැඩිකරන්නට විකුණුම්කරුවෝ පෙළැඹී තිබේ. රට තුළට ගෙන්වන වාහන සීමා වන අවස්ථාවක පවතින සංචිතවල මිල නැංවීම සාමාන්‍යයෙන් සිදුවෙයි. එය අසාමාන්‍ය නැත. එය කෘත්‍රිම ස්වභාවයකි. වාහනයක් හදිසියේ මිල දී ගැනීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. හොඳට කල්පනා කර දෙතුන් පැත්තකින් කිරා මැන බලා තීරණයකට එන වාහනයක් මිල දී ගැනීම මිල වැඩි වූ විට තවත් තීරණයක් ගැනීම ප‍්‍රමාද කරයි. මිල වැඩිකරන විට අලෙවි ඉල්ලුම අඩුවන අතර සාමාන්‍යයෙන් සිදුවන හුවමාරැව පහත වැටේ. එය නංවන්නට නම් ගනුදෙනුකරුවන්ට මිල දී ගන්නට හැකි දැරිය හැකි මිලක් දක්වා වාහනයක පහත වැටෙන්නට අවශ්‍යය. ගෙන්වීම නතර කිරීම ඉදිරියේ හිඟයක් සහ එහෙයින් වාහන ගිනි ගණන් බවට නැගෙන රාවය ඉදිරි කාලයේදී වෙළඳ පොළ අනුව සමථයකට පත්වීමට ඉඩ තිබේ. 

ප‍්‍රධාන නගරවල මග දෙපස ඇති වාහන අලෙවි කරන ස්ථාන හා ප‍්‍රධාන වාහන නියෝජිතයන්ගේ අලෙවි සල් දෙස බලන විට අලුත්ම වාහන සෑහෙන ප‍්‍රමාණයක් ඇත. වසර දෙක තුනක් තිස්සේ ගෙන්වන ලද වාහන තවත් සෑහෙන කාලයකට ප‍්‍රමාණවත් බව පැහැදිලිය. ආණ්ඩුව තීරණය කර ඇති පරිදි වාහන ආනයනය නතර කරන්නේ වසරකට පමණකි. බදු රහිත වාහන ගෙන්වන්නට බලපත‍්‍රලාභී විශේෂිත පහසුකම සහිත අවස්ථාවල රජය ආනයනයේදී අය කරන ලද බදු අතහැර දැනට ඇති වාහන වලින් මිල දී ගැනීමටද පහසුව තිබේ. වේගයෙන් වෙනස්වන වාහන මෝස්තර සහ ඒවායේ තාක්ෂණික දියුණු අංග දෙස අවධානය යොමු කරන විට රටට අවශ්‍ය තරමටත් වඩා වාහන ගෙන්වා තොග රුස්කරගෙන තිබීම යල් පැන ගිය අදහසකි. එම පිරිවැයද දරන විට ආර්ථිකයක් අකාර්යක්ෂමවීම වැළැක්විය නොහැකිය. 

• නොගෙන්වන නමුත් ලියාපදිංචියද සිදුවන තරම

වාහන ආනයනය නතර කර මාස හයක් ගත වී ඇති නමුත් තවමත් ලියාපදිංචිය සිදුවෙයි. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය අගෝස්තු මාසයේ අලුත් වාහන 17,493 ක් අලුතින් ලියා පදිංචි කර ඇත. දවසකට දළ වශයෙන් වාහන 583 ක් ලියා පදිංචියට ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගත යුතු කාරණයකි. ජූලි මාසයේදී වාහන 28,572 ක් අලුතින් ලියා පදිංචි වී ඇති බව ඇත්ත නමුත් මෙම පහත වැටීම තුළ පවා රට තුළ කෙරෙන වාහන ගනුදෙනු ගැන යම් ඉඟියක් ඉදිරිපත් කරන බව පැහැදිලිය.

වාහන ආනයනයේදී සියයට සියයක සිට සියයට අටසියය දක්වා වටිනාකම මත බදු අය කරන අතර විවිධ ගාස්තු පැනවේ. එම වාහන ගෙන්වීමෙන් පසු පවා රජයට ආදායම් මාර්ගයකි. වාර්ෂික බලපත‍්‍රය, රක්ෂණය, දුම් සහතිකය යනාදී වශයෙන් ක්ෂේත‍්‍ර ගණනාවකි. වාහන වලට ණය හා ලීසිං පහසුකම් වෙනම ව්‍යවසායකි. ආනයනය නතර කරන විට රජයට ලැබෙන ආදායම පමණක් නොව ක්ෂේත‍්‍රය වටා බැඳී ඇති මෙම අංශවලද සෙලවීමක් අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන් ණය හා ලීසිං අංශවල දුබලතා මත එම ව්‍යාපාරවල මුදල් තැන්පත්කරුවන්ට පොලිය ගෙවන ආදායම පවා අවහිර වෙන්නට ඉඩ තිබේ. එහෙත් මේවා අසාමාන්‍ය සිද්ධි නොවේ. ආර්ථිකය එක වටයකින් හැකිලෙන විට එය සමාජයේ සෑම සියලු කොටසකටම දැනෙන හා තරමක වේදනාවක් ඇති වන තත්ත්වයක් බව පැහැදිලි කළ යුතුය. 

පසුගිය වසරේ ගෙන්වන ලද වාහන වෙනුවෙන් මෙරටින් වැයකරන ලද විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයකි. සාමාන්‍යයෙන් ආනයන පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් වන අතර එයට අනුව මෙම ව්‍යවසාය වෙනුවෙන් දරණ පිරිවැය විස්සකින් එකක් බව පැහැදිලිය. අනෙක රටට ගෙන්වන ඉන්ධන වලින් වාහන ධාවනය සඳහා පමණක් ගෙන්වන තෙල්වලට වැයකරන මුදලද ඇමරිකානු ඩොලර් බිලියන තුනක් පමණ සැලකිය යුතු කොටසකි. ජාත්‍යන්තර සමාජය රථ වාහන භාවිතය හා ඒවායේ කාර්මික පැත්ත ගැන අලුත් අවධානයකය. ආනයන තහනම ඉවත්වන ඉදිරි කාලය වෙනුවෙන් අලුත් ප‍්‍රතිපත්ති සම්පාදනයද වැදගත්ය.

• පරිසර හිතකාමී වාහන ආනයනයට අවස්ථාවක් 

පසුගිය මාස දෙක තුළ මෙරට ලියාපදිංචි කළ වාහන ප‍්‍රමාණය තුළ එකම වාහනයක් හෝ විදුලිය බලයෙන් ක‍්‍රියාත්මක වන ඒවා නැත. මුළු ලෝකයම විදුලි වාහන ගැන වෙහෙසෙන කාලවකවානුවක ශ‍්‍රී ලංකාවේ ආකල්පය හඳුනාගැනීමට මෙය කදිම අවස්ථාවකි. වොල්වෝ සහ ටොයෝටා සමාගම් සිය වාහන එන්ජිමක් රහිතව නිපදවන දිනය ගැන නිල වශයෙන් ප‍්‍රකාශ නිකුත් කර තිබේ. ලෝකයේ රටවල් ගණනාවක් ඉදිරි වසර තිහ හතළිහ ඇතුළත තමන්ගේ රට තුළ ධාවනය වන වාහන පොසිල ඉන්ධන භාවිතයකින් තොරව කරන ප‍්‍රතිපත්තියකට සූදානම්ය. පසුගිය ආණ්ඩුවේ අන්තිම අය වැය ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාව වසර 2040 දී ඉන්ධන භාවිත කරන වාහන ආනයන පාලනය කරන බව අනාවරණය කළේය. දැනට ගෙන්වීම නතර කර ඇති තීරණය ඉවත් කරන අවස්ථාවේදී අනාගතය ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ගෙන්වන වාහනවල තාක්ෂණය ගැන ප‍්‍රමිති සකස් කරන්නට අවශ්‍යය. ලෝකයේ රටවල් එන්ජිම රහිත වාහන අත්හරින විට ශ‍්‍රී ලංකාව ඒවායේ අවසාන නවාතැන් පොළ නොඑසේනම් සුසාන භූමිය විය යුතු නැත. විශේෂඥ ගණන් ගැනීම් අනුව වසර 2030 වනවිට ලෝකයේ භාවිත වන වාහන අතරින් ඉලෙක්ටි‍්‍රක් වාහන ප‍්‍රමාණය සියයට දහයක් පහළොවක් අතර විය හැකි යැයි කලින් උපකල්පනය කරන ලද නමුත් අද වනවිට එය එකී කාලය වනවිට එම ප‍්‍රතිශතය සියයට විසිහත ඉක්මවා යා හැකි බව ප‍්‍රකාශයට පත්ව තිබේ. එය හඳුන්වන්නේ විදුලි වේගයෙන් විදුලිය වාහන පරිභෝජනයට නැඹුරැවක් වශයෙනි. අවධානයට යොමුවිය යුතු පැත්තකි. 

ඉන්දියාවේ බලශක්ති අමාත්‍යවරයාට අනුව වසර 2030 වනවිට එරට මංමාවත්වල ඉන්ධන භාවිත කර ධාවනය වන වාහන තුරන් කිරීම එරට දර්ශනය බව ප‍්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය 2040 සිට ඉන්ධන වලින් ධාවනය කරන වාහන අලෙවිය සම්පූර්ණයෙන්ම නතර කරන අතර 2050 දී ධාවනය වන සියලු වාහන විදුලිය හෝ දෙමුහුන් තාක්ෂණයේ විය යුතුයැයි දක්වයි. ලෝකයේ වැඩිම වාහන අලෙවියක් ඇති රට වශයෙන් බ්‍රිතාන්‍ය දැක්වෙන අතර 2016 වසරේ දී අලුත් වාහන මිලියන 2.7ක් එරට විකිණී ඇත. එයින් වැඩි කොටසක් නූතන තාක්ෂණික ඒවාය. ප‍්‍රංශය 2040 දී හා නෝර්වේ 2025 සිට ඉන්ධන භාවිත කරන වාහන අලෙවිය නතර කරන ප‍්‍රතිපත්තියට පැමිණ තිබේ. පසුගිය වසරේ දී නෝර්වේ රට තුළ ලියාපදිංචි කරන ලද අලුත් වාහනවලින් සියයට හතළිහක් විදුලිය හෝ දෙමුහුන් ඒවා බව අනාවරණය වෙයි.  ඕස්ට්‍රේලියාව, චීනය, ඩෙන්මාර්ක්, ජර්මනිය, අයර්ලන්තය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, දකුණු කොරියාව සහ ස්පාඤ්ඤය තමන්ගේ රටවල ඉලෙක්ටි‍්‍රක් වාහන ඉලක්ක නියම කර තිබේ. ඇමරිකාවේ ප‍්‍රාන්ත අටක් තමන්ගේ ප‍්‍රාන්තවල 2050 වනවිට ඉලෙක්ට්‍රික් වාහන භාවිතාව ගැන ඇති අභිමතාර්ථ දක්වා ඇත. මෙවැනි පසුබිමක තිබිය දී ශ‍්‍රී ලංකාවේ සූදානම ප‍්‍රශ්න කිරීමද අනාගතයට වැඩදායකය.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02