පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම ඉදිරියේ මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂි අතර බොහෝ ආන්දෝලනයකට ලක්වූයේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ලබාදුන් සාක්ෂිය.
මේ දෙදෙනාටම එරෙහිව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳ සැක මත අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ තබා සිට මේ වනවිට ඇප මත මුදාහැර තිබියදී මේ සාක්ෂිදීම සිදුවිය.
ඔවුන් ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් කළ කරුණු අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ ක්‍රියාකළ ආකාරය පිළිබඳ තොරතුරු රැසක් සඳහන් වී ඇති අතර, එම කරැණු සනාථ වුවහොත් හිටපු ජනාධිපතිවරයා අසීරුවට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. එළිදරව් වූ කරැණු පිළිබඳ තවමත් අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින නිසා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් මෙම ලිපිය මගින් සිදු නොකරන අතර එම සාක්ෂි පිළිබඳ සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන්නේ වැඩිදුර සිතා බැලීමට පාඨකයාට භාර කරමිනි. ඒ දෙදෙනාගේ සාක්ෂි දීම ශ්‍රවණය කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා කොමිසමට පැමිණීමෙන් සහ හිටපු ආරක්ෂක ලේකම්ගේ සාක්ෂි පිළිබඳ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම නිසා ඔහු ඒ පිළිබඳ දක්වන දැඩි උනන්දුව කැපී පෙනේ.
පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලිම් අන්තවාදය ගැන බුද්ධි තොරතුරැ ලැබී තිබුණත්, ඒ තොරතුරු පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උනන්දුවක් නොදැක්වූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී පසුගිය 19දා පැවසීය.
සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිළිබඳ දේශපාලන බලපෑම් තිබුණාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ අවස්ථාවේ හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ යම්තාක් දුරට තමා එලෙස සිතන අතර මුස්ලිම් දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙසට බොහෝ කටයුතු සිදුවෙමින් පැවති බවය. එසේම පාස්කු ඉරැදින ප්‍රහාරයේ වගකීම තමන් බාර නොගන්නා අතර රාජ්‍ය බුද්ධි සේවය තමන්ට යොමුකළ වාර්තාවල අඩුපාඩු තිබූ බවද ඔහු අනාවරණය කර ඇත.
විශේෂයෙන් නැගෙනහිර පළාතේ දේශපාලනඥයන්ගේ හැසිරීම නිසා පොලීසියට රාජකාරි කිරීමේදී බලපෑම් එල්ල වූ අතර, පොලීසියට පැමිණ පැහැරගෙන යාම් ආදියද සිදුවුවත් ඒ පිළිබඳ ජනාධිපති හා අගමැති මට්ටමින් විසඳුම් දීමක් සිදු නොවූ බවද ඔහු කීය. මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමැසුවේ මුස්ලිම් තරුණයන් රැඩිකල්වීම ගැන රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදී තිබූ වාර්තා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවල ජනාධිපතිගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද යන්නය. එයට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම් පවසා සිටියේ ජනාධිපති ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැති බවය. එතුමා කැමැති වුණේ නැහැ මුස්ලිම් දේශපාලනඥයන් සමග අර්බුදයක් ඇතිකර ගන්න ඔහු වැඩිදුරටත් එසේ පිළිතුරු දී තිබිණ.
ඔහු තවදුරටත් පවසා සිටියේ 2019 මාර්තු 19දා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන අයි.එස්. සාමාජිකයන් පිළිබද තමන් අවධානය යොමුකළ අතර රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදෙනු ලැබූ තොරතුරු පිළිබඳ ජාතික බුද්ධි ප්‍රධානියාද විශේෂ අවධානය යොමුකළ බවය. විශේෂයෙන් නැගෙනහිර පළාත තුළ අරාබිකරණය වීම සිදුවීමත් සමග එලෙස පුහුණුව ලබා පැමිණෙන අයගෙන් රටේ සංහිඳියාවට බාධාවක් ඇති බවට වැටහීමක් තිබුණු බවද ඔහු පවසා ඇත. ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් පුහුණුව ලබා පැමිණෙන අය පිළිබඳ ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරමට නෛතික රාමුව ප්‍රමාණවත් වූ නමුත් දේශපාලන ගැටලු තිබූ බව ඔහු කොමිසම හමුවේ පැවසීය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා තිබුණේ ඒ ප්‍රශ්න මොනවාද යන්නය. එයට පිළිතුරැ ලෙස හිටපු ලේකම් මෙසේ පවසා තිබිණ.
ජනාධිපතිවරයා සමග මම පෞද්ගලිකව කතා කළා ස්වාමීනි! අයි එස් පුහුණුව ලබා පැමිණෙන අය සහ මෙරටට පැමිණෙන දේශකයන් ගැන. සමහර අය වීසා අරන් තියෙන්නේ මෙහෙන්.
හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳ කුමන ප්‍රතිචාරයක් දැක්වූවාදැයි කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ ඕවා ගැන වෙනම පරෙස්සමෙන් කරන්න ඕනෑ. මුස්ලිම් දේශපාලනඥයන් තරහ කරගන්න බැහැ. යනුවෙන් බවය. එයට හේතුව කුමක්ද යන්න ජනාධිපතිගෙන් විමසුවේ නැතිදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ විට හිටපු ආරක්ෂක ලේකම් කියා ඇත්තේ තමාට විධායක ජනාධිපතිගෙන් ඊට වඩා දෙයක් අසන්නට බැරි බවය.
මේ වගේ කාරණයකට ඉබිගමනින් නොව ඉතා ඉක්මණින් පියවර ගන්න ඕනෑය කියලා ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළේ නැතිදැයි යළි විමසූ විට ආරක්ෂක ලේකම් මෙසේ පිළිතුරු දී තිබිණ.
අපි මේ වගේ දෙයක් ආවම ආරක්ෂක මණ්ඩලයේ කතා කරනවා. මට පුද්ගලිකව කතා කරන්න බැහැ. යම්කිසි කණ්ඩායමක් අපි අතර නෝක්කාඩුවක් ඇති කරන්න කටයුතු කළා. ඉන්පසු අපි ඈත් වුණා. එතුමා විරසක වුණා මාත් එක්ක. මට ඔහු ගැන කලකිරීමක් ඇතිවුණා. මම කොහොමත් හිටියේ අයින් වෙන්න. සහරාන්ට පින් සිද්ධවෙන්න ඒක ඉක්මන් වුණා.
එලෙස ජනාධිපති විරසකවීමට හේතුව ලෙස ඔහු කොමිසම හමුවේ මෙසේද ප්‍රකාශ කර තිබිණ.
යම් දේශපාලනඥයන් පස් දෙනෙක් මගේ වැරදි ජනාධිපතිට කියලා විරසකයක් ඇති කළා. මට නම් කියන්න බැහැ. මට ජීවිත තර්ජන තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුරටත් කරැණු සොයා නොලැබුවේ ඇයිදැයි විමසූ විට ඔහු පිළිතුරු දී ඇත්තේ තමා තම රාජකාරිය නිසි පරිදි කළ අතර, ආරක්ෂක අමාත්‍යංශය විශාල අමාත්‍යංශයක් වන නිසා එහි වැඩවලින් බුද්ධි තොරතුරුවලට අදාළ සියයට 10ක් වැනි සුළු ප්‍රමාණයක් බවයි. ඔහු මෙසේද පවසා ඇත.
මම හිතනවා මම මගේ රාජකාරිය හරියටම කළා කියලා. බුද්ධි තොරතුරු ගැන හැර අනිකුත් රාජකාරි මම හරියටම කරලා තියෙනවා. කොමිසමට අවශ්‍ය නම් හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් වාර්තාවක් ලබාගන්න පුළුවන්.
තමා තම රාජකාරිය නිසි පරිදි ඉටුකර ඇති අතර රාජකාරිය පැහැර හැර නොමැති බවද ඔහු කියා ඇත. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ වගකීම තමා ප්‍රතික්ෂේප කරන බවද ඔහු කීවේය.
පසුගිය 21දාද පාස්කු ප්‍රහාර කොමිසම ඉදිරියේ වැඩිදුරටත් සාක්ෂි දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අතර තිබුණේ පියපුතු සම්බන්ධයටත් එහා ගිය දැඩි එකමුතුකමක් බවය. පස්වැනි දිනට සාක්ෂි දුන් ඔහු පවසා ඇත්තේ ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවනතුරු ඒ ගැන බුද්ධි අධ්‍යක්ෂ හෝ ජාතික බුද්ධි ප්‍රධානියා තමාට සනාථ නොකළ බවකි. මෙම ප්‍රහාරයට සියයට හැත්තෑ පහක් පමණ රාජ්‍ය බුද්ධි අංශය වගකිව යුතු වුවද එහි ප්‍රධාන චූදිතයා තමා බවට පත් කිරීම ඉතාම අසාධාරණ බවද කීවේය.
ඔහු පැවසූ වැදගත් දෙයක් වූයේ 2018දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහරාන් හෂීම් පිළිබඳ සම්පූර්ණ විමර්ශන සිදුකිරීම පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ඉවත් කොට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලබාදෙන ලෙස ආරක්ෂක කවුන්සිලයේදී නියෝග කළ බවය. එසේම සහරාන් සහ තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ විමර්ශන සිදුකරමින් සිටි ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිරභාරයට ගැනීමට ජනාධිපති කටයුතු කළ බවද අනාවරණය කළේය. යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය බුද්ධි අංශය සියයට සියයක්ම දේශපාලනීකරණය වූ අතර එයට හිටපු ජනාධිපති වගකිව යුතු බවද කීවේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල කොළඹින් පිටත යන අවස්ථාවලදී ඔහු හා සම්බන්ධතා පැවැත්වීමට තමා උනන්දු නොවූ බවය.
මම සාමාන්‍යයෙන් ඔහු එක්ක අඩුවෙන් සම්බන්ධ වුණේ. මට එච්චර අවශ්‍ය වුණේ නැහැ එහෙම සම්බන්ධතා තියාගන්න.
තමා හා හිටපු ජනාධිපති අතර විරසකය මුලින්ම ඇතිවූයේ 2019 ජනවාරි මාසයේ අන්තිම දිනවල වන අතර එම විරසකය ක්‍රමයෙන් වර්ධනය වූ බව ඔහු පැවසුවේය. තමා කිසිවිටෙක ඔහු හමුවීමට හෙලිකොප්ටරයකින් නොපැමිණි වග පැවසූ හිටපු ලේකම්වරයා තමා 2019 අප්‍රේල් 14 දින ඔහු හමුවීමට දියතලාවේ සිට කොළඹ පැජන්ට් පාරේ ජනපති නිවෙසට හෙලිකොප්ටරයකින් ආ බව පැවසීම අසත්‍යකැයිද කීවේය.
ඔබ එහෙම ආවේ දෙදෙනා අතරේ විරසකයක් නැති නිසා නොවේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර වූයේ විරසකය තිබුණේ තමාගේ පැත්තෙන් නොව ජනපතිගේ පැත්තෙන් බවය. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ හිටපු අගමැති රනිල් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට තමාට සිදුවූයේ දේශපාලන වශයෙන් තිබූ විරසකය නිසා බවද හේ පැවසීය. එයට උදාහරණයක් ලෙස ඔහු කීවේ අරලියගහ මන්දිරයේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමාට සහ උදය ආර්. සෙනෙවිරත්නට පැමිණෙන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබුණද ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට කතාකර තමන් දෙදෙනාටම එම රැස්වීමට නොයන ලෙස පැවසූ වගද කීවේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ විලාශය තවදුරටත් හෙළිවූයේ පසුගිය 23දා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර දෙවැනි දිනයටත් පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි දීමේදීය. ඔහු මෙහිදී පැවසුවේ සහරාන්ලා ඇතුළු අන්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙස හිටපු ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බවය.
ඒ විමර්ශන නිලන්ත මොනිටර් කරාවි. යනුවෙන් ඔහු පැවසුවේ යැයි සාක්ෂිකරු කීය. ඒ නිසා තමා ඉන්පසු ඒ පිළිබඳ කටයුතු නොකළ බව ඔහු පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ 2018 ඔක්තෝබර් 23දා හවස ආරක්ෂක කවුන්සලය පැවැත්වීමට නියමිතව සිටි නිසා තමා එයට සහභාගි වීමට සූදානම්ව සිටි බවය. එහෙත් තමාට රැස්වීමට පැමිණෙන ලෙස දැනුම් නොදුන් බැවින් තමා හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්නට කතාකර විමසූ විට ඔහු පැවසුවේ ඔයාට මට කියාගන්න බැරැව හිටියේ. ඔයාට එන්න එපා කියන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා යනුවෙන් කී බවය. තමන් ඒ වෙලාවේ එයට හේතු නොවිමසූ නමුත් තමන්ට ඒ වෙලාවේ සිත් රිදීමක් ඇතිවූ බවද එහෙත් පසුව එය සමනය කරගත් බවද පූජිත ජයසුන්දර පවසා තිබේ.
එසේ කියන්නට හේතුව එදා කියන්න නොදැන සිටියත් දැන් දන්නා නිසා කියන්න පුළුවන්දැයි කොමිසම විමසූ විට ඔහු පිළිතුරු දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට තමා ලබාදුන් ස්ථාන මාරැ නියෝගය එයට හේතු වූ බවය. එසේ වුවද තමා එම නියෝගය ලබාදුන්නේ ජනාධිපතිගේ උපදෙස් මත බව ඔහු කීවේය.
නිශාන්ත සිල්වා කියන්නේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන අතර අපරාධ පිළිබඳ බොහෝ විමර්ශන සිදුකළ නිලධාරියෙක් ඔහු මාරු කරන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. මම ඒ ගැන ඒ කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සමගත් කතා කළා. පසුව ඔහු සමඟම ජනාධිපති මුණගැසෙන්නට ගිහින් මේ නිලධාරියා පිළිබඳ කිසිදු විනය ප්‍රශ්නයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත්ව නැති බවත් එවැනි අයෙක් මාරු කිරීමෙන් ගැටලු රැසක් මතුවිය හැකි බවත් පෙන්වා දුන්නා. එහිදී ජනාධිපතිවරයා එකඟ වූ නමුත් ඔහු විදේශගතව සිටින අවස්ථාවක නැවත ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මට කතා කරලා කිව්වා අර මාරුවීම කරන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දුන්නා කියලා. ඉන්පසු මම පොලිස් කොමිසමටත් මේ පිළිබඳව ලිඛිතව දන්වලා ඔහු මීගමුවට මාරු කළා.
ජනාධිපතිවරයා යළි ලංකාවට ආපු ගමන් මට කතා කරලා ඇහුවා ඇයි නිශාන්ත මාරු කළේ කියලා. එහෙම දෙයක් කරන්න කිව්වේ කවුද කියලත් ඇහුවා. මම ඒ පාර කිව්වා ඔබතුමාමනේ කිව්වේ කියලා. ඒ පාර මම එහෙම දෙයක් කිව්වේ නැහැ. වහාම මේක වෙනස් කරන්න මම ආරක්ෂක ලේකම්ටත් කතා කරන්නම්කෝ කියලා කිව්වා. පැය විසිහතරක් යන්නත් කලින් ඒ මාරුව කැන්සල් කළා. එතැනින් පස්සේ තමයි මාව ආරක්ෂක කවුන්සලයට කැඳෙව්වේ නැත්තේ.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමා පසුව දැනගත් ලෙසට සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරුත් මේ ගැන බලපෑම් කර තිබූ බවය.
ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස්පති පැවසුවේ සිදුවූ විනාශයට මෙයද හේතුවන්නට ඇති බවය. එසේම තත්ත්වය පිළිබඳ 2012, 2013 කාලයේ සිටම අවධානයට ලක් නොකිරීම මෙයට හේතුවූ බවද ඔහු කියා ඇත.
තමන් අවස්ථා කිහිපයකදීම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජනපති හමුවීමට රැගෙන ගොස් සහරාන්ලා හා මුස්ලිම් අන්තවාදය ගැන තොරතුරු ඉදිරිපත් කළ බව හෙතෙම පැවසුවේය. ජනාධිපති බොහොම සාවධානව ඒවාට සවන් යොමුකළ නමුත් පසුව ඔහු පැවසුවේ මේක මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක්නේ. රජයෙත් මුස්ලිම් මැති ඇමැතිවරැ ඉන්නවා. ඒ අයගේ බලපෑම් එන්නත් පුළුවන්. අනික මේ අය තවම අපේ රටේ කරන්නේ දේශන පැවැත්වීම විතරයිනේ. වෙනත් රටවල තමා ගැටුම් ඇතිවෙලා තියෙන්නේ. අපි අවුරුදු තිහක් යුද්ධයකට මුහුණ දුන්නා. ඒ වගේ තත්ත්වයක් නැවත ඇතිවෙන්නේ නැහැ. මේ ගැන විමර්ශන ඉතාම පරිස්සමෙන් කරන්නකෝ යනුවෙන් යැයි ඔහු කීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට පසු දවසක ආරක්ෂක කවුන්සලයේදී ජනාධිපති මේක හරි පරෙස්සමෙන් කරන්න ඕනෑ වැඩක්. ඒ හින්දා පොලිසිය මේ අන්තවාදීන් ගැන විවෘත විමර්ශන කිරීම නවත්වන්න! ඒ වැඩේ නිලන්ත මොනිටර් කරයි කියලා කීවා යනුවෙනි.
2017 අන්තිම සිට තමාට එල්ලවන බලපෑම් වැඩිවූ අතර ජනාධිපති හා අගමැති අතර ඇතිවූ විරසකය නිසා එකම කරුණක් ගැන තමාට දෙදෙනා උපදෙස් දෙකක් දීමෙන් තමා ලොකු අපහසුතාවලට පත්වූ අතර තම රාජකාරිය සමබරව කරගෙන යාමට අපහසු වූ බවද ඔහු කියා සිටියේය. තමා බොහෝවිට පිළිපැද්දේ ජනාධිපති දුන් උපදෙස් බවද ඔහු කියා ඇත.
ඔබේ සේවා කාලය තුළ කට අරින්න බැරි වුණත් දැන් කට අරින්න පුළුවන්නේ. දැන් කට ඇරලා කියන්න ඔබට ඒ කාලේ රාජකාරි කිරීමේදී දේශපාලන බලපෑම් ආවද කියලා.
කොමසාරිස්වරයකුගේ විමසුමකට පිළිතුරු දුන් පොලිස්පති පවසා සිටියේ තම සේවා කාලය අවසන් භාගයේදී එනම් 2017 අවසන සිට 2019 තමන් අත්අඩංගුවට පත්වනතුරු රාජකාරි කටයුතුවලදී දේශපාලන බලපෑම් ඇති වූ බවය.
යසවර්ධන රුද්රිගු