සර්... වීඩියෝ ක්ලිප් එකක් කරන්න කියලා මගේ කොල්ලෝ දෙන්නා එක්ක ඇවිල්ලා දැන් මොකක්ද මේ කෑලි දෙකක් ගහන්න කියන්නේ...?
මචං මේ අපේ ලොක්කා... උඹටත් කරදර කරන්නේ ඌමයි. අපිටත් කරදරයි. ගහලා දැම්මා නම් ඉවරයි. ගහලා දාපං මචං...
අනේ සර්... ඔයාගේ ප්‍රශ්න ඔයා බලාගන්න. මාව කරත්තෙට නග්ගන්න හදන්න එපා. මට මේ වෙලා තියෙන දේවල් ඇති. සර් ඕන මඟුලක් කරගන්න.
කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන බන්ධනාගාර සැරයන්වරයකු හා හෙරොයින් ජාවාරම්කරුවකු මෙන්ම පාතාල ක්‍රියාකාරිකයකු වන රාමනායක සුද්දා නැමැත්තාගේ දුරකථන සංවාදයකදී මෙසේ සාකච්ඡා වී ඇතැයි හෙළිවී තිබේ. මේ බව අනාවරණය වූයේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය බී වාර්තාව අනුව අධිකරණයට කරැණු දැක්වීමේදීය.
ඝාතන කුමන්ත්‍රණ චෝදනාව එල්ල වී ඇති අනුරුද්ධ නැමැති බන්ධනාගාර සැරයන්වරයා කලක් කුරැවිට බන්ධනාගාරයේ සේවය කළද මීට දෙසතියකට පමණ ඉහතදී සිට පල්ලෙකැලේ බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබ සේවය කරමින් සිටින්නෙකි. ඔහු සහාය ඉල්ලා ඇතැයි කියන රාමනායක සුද්දා මිද්දෙණිය, හෝකන්දයාය, අංක 96/1 ලිපිනයේ පදිංචිකරුවකු වන දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකි.
කුරුවිට බන්ධනාගාර රුඳවියන් අතර මත්කුඩු භාවිත කෙරෙන බවට ලද තොරතුරු නිසා බන්ධනාගාර අධිකාරිවරයා විමර්ශනයක් පවත්වා ඇතැයි කියති. එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙර කී බන්ධනාගාර සැරයන්වරයා බන්ධනාගාරයේ අභ්‍යන්තර සේවාවලින් ඉවත්කර ඇත. තවත් ටික කලකින් ඔහුට ස්ථාන මාරැවක් ලබාදී ඇතැයිද වාර්තාවක සඳහන් වේ. බන්ධනාගාර අධිකාරි හා බන්ධනාගාර සැරයන් අතර විරසකයක් ඇතිවී තිබෙන්නේ මේ හේතුව මත බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ පැමිණිල්ල අනුවය. කුරුවිට පොලීසියේ බී වාර්තාව මගින් මෙකී කරුණු හෙළි වුවද ඝාතන කුමන්ත්‍රණයට සැකකාර බන්ධනාගාර සැරයන්වරයාගේ පාර්ශ්වය හරහා මෙසේද වාර්තා වේ.
මෙම බන්ධනාගාර අධිකාරිවරයා 2006 වර්ෂයේදී පමණ කුරුවිට බන්ධනාගාරයේ සේවය කොට ඇත්තේ වෙනත් තනතුරකය. එවකට එහි සේවය කළ කාන්තාවක හා පැවැත්වූ බව කියන ඇසුරක් හේතුවෙන් විනය නීති උල්ලංඝණය කිරීමේ චෝදනා හමුවේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකර ඇත. එම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයකු වශයෙන් ඉහත කියන සැරයන්වරයා කටයුතු කර තිබෙන අතර කමිටු ප්‍රධානියා දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙයි. එම සිදුවීමෙන් පසුව විනය කඩකිරීමේ චෝදනාවට වර්තමාන බන්ධනාගාර අධිකාරිව සිටින අයට ස්ථාන මාරුවක් ලැබී තිබිණ. ඒ අනුව වටරැක බන්ධනාගාරයටත් අනතුරැව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් පසුව මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයටත් වශයෙන් ස්ථාන මාරැවීම් ලැබී ඇත්තේ කිසිදු උසස්වීමක් සඳහා අවස්ථාව නොලබාමය.
එම සිදුවීමෙන් උරණ වී සිටි ධම්මික දසනායක මහතා ඉකුත් ආණ්ඩුව සමයේ ප්‍රබල දේශපාලනඥයකු මාර්ගයෙන් කුරුවිට බන්ධනාගාරයට ස්ථාන මාරැවීමක් ලබාගෙන තිබිණ. ඊට එක් හේතුවක් වී ඇත්තේ ඔහුගේ පදිංචිය එම පළාත ආශ්‍රිතව වීමය. ඉකුත් වසරේ කුරුවිට බන්ධනාගාර අධිකාරි වශයෙන් සේවයට ආ ධම්මික දසනායක මහතා සේවයේ නිරත නිලධාරීන් කිහිපදෙනකු තෝරාගෙන ප්‍රශංසාත්මක ලිපි පිරිනමා තිබුණේ ඔවුන්ගේ විශිෂ්ට සේවය අගය කරමිනි. ඒ අතර අනුරැද්ධ නැමැති සැරයන්වරයාද සිට ඇත. මේ සඳහා සැරයන්වරයා තෝරාගෙන තිබුණද 2006 වසරේ ඔහුට එරෙහිව සිදුකළ විනය පරීක්ෂණය හා ඉන් සිදුවූ අගතිය පිළිබඳ කෝන්තරය හිතින් මැකී ගොස් ඇත.
මේ අතර කාලයේ නිධන් හෑරීම සම්බන්ධයෙන් චෝදනාවට රුවන්වැල්ල අධිකරණයෙන් කුරුවිට රක්ෂිත බන්ධනාගාරයට යැවූ සැකකරුවෙකි. ඉකුත් අගෝස්තු 15 වැනිදා සැකකරු බැලීමට ලේ ඥාතීන් නොවන අමුත්තන් තුන්දෙනකු පැමිණ ඇත. ඔවුන්ට කිසිදු ලියාපදිංචියකින් තොරව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල්වීමෙන් බන්ධනාගාර අධිකාරි කාර්යාලය වෙත ගොස් කතා කිරීමට හා ප්‍රධාන දොරටුවේ ඇති ජේලර් කාමරය තුළදී අමුත්තන් පෙන්වීමට අවස්ථාව සලසා ඇත. අමුත්තන් පෙන්වීම සඳහා විශේෂ කාමරයක් ඇතත් ජේලර් කාමරයේ මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ බන්ධනාගාර අධිකාරිගේ බලපෑමටය. මෙදිනම තවත් කාන්තාවන් පිරිසකට පෙරකී රැඳවියා බැලීමට ජේලර් කාමරයේදී අවස්ථාව සැලසීමට බන්ධනාගාර අධිකාරිවරයා කටයුතු කර තිබිණි. මේ අතර අගෝස්තු 21 වැනිදා පෙර කී රැඳවියා බැලීමට අවේලාවේ පැමිණි හිතවතුන් පිරිසකට පස්වරු 12.30ට පමණ ජේලර් කාමරයට කැඳවාගෙන තිබුණි. මේ කටයුතු සඳහා බන්ධනාගාර අධිකාරි විසින් ඔහුගේ කාර්යාලයේ ලිපිකරැ යොදවා ඇතැයිද වාර්තා විය.
මේ කරුණුවලට අදාළ සාක්ෂි ප්‍රධාන දොරටුව ඇතුළත හා පිටත සී.සී.ටී.වී. දර්ශන මාර්ග බාධකයේ දොරටු ලේඛනය, අමුත්තන් ලියාපදිංචි ලේඛනය ප්‍රධාන දොරටු බාර නිලධාරීන් හා අමුත්තන් පෙන්වන ජේලර්වරැන්ගෙන් ලබාගත හැකිය. මේ කාලසීමාවේ කොරෝනා වසංගතයට එරෙහිව නිරෝධායන ක්‍රම භාවිත කර නැත. නිලධාරීන්ගේ හෝ රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව තැකීමක් කර නැත. මෙසේ බන්ධනාගාර නීති සෞඛ්‍ය උපදෙස් සියල්ල උල්ලංඝනය කරමින් සිය අභිමතයට කටයුතු කළ ධම්මික දසනායක මහතා සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අප්‍රසාදයෙන් පසුවී ඇත.
රැඳවියකු බැලීමට පැමිණි පිරිසක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සාදයක් පැවැත්වීම, රාජකාරි වෙලාවේ නිල රථයෙන් එවැනි ස්ථානයකට සහභාගී වීම, නිල රථය හෝටල් රථගාලේ නවතා තැබීම, නැවතපිටවීම ඇතුළු සිදුවීම් ගණනාවක සාක්ෂි එක්රැස් වී ඇත. මේ කරුණු සමාජ මාධ්‍ය මගින් හෙළිකිරීමත් සමඟ බන්ධනාගාර අධිකාරිවරයා කුරුවිට පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත. එහි දක්වා ඇත්තේ අනුරුද්ධ නැමැති බන්ධනාගාර සැරයන්වරයා පාතාල ක්‍රියාකාරික රාමනායක සුද්දා සමඟ එක්ව තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවය.
බන්ධනාගාර අධිකාරිවරයා පෙර කී සැරයන්වරයාගේ සේවය අගයමින් ලිපියක් ලබාදී තිබුණේ ඉතා නුදුරු දිනකදීය. එතෙක් ඔහු හා කිසිදු ගැටුමක් පෙනෙන්නට නොවුණද සමාජ මාධ්‍ය හරහා පළවූ වීඩියෝවෙන් හෙළිකළ ඔහුගේ අක්‍රමිකතා හමුවේ මෙම පැමිණිල්ල යොමුකර ඇතැයිද වාර්තා වේ.
රාමනායක සුද්දා නැමැත්තා හෙරොයින් හා වල්ලාපට්ටා ජාවාරමේ නිරත වූවකු බව කියයි. ඔහු ගිය වසරේ දිනක උසාවි පරිශ්‍රයකදී පැනගොස් තිබුණේ බන්ධනාගාර නිලධාරීන්ට රහසේය. ඒ බන්ධනාගාර අධිකාරි දසනායක මහතාගේ කාලයේදීය. පසුව කහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඊට පෙර කුරැවිට බන්ධනාගාරයේදී ඔහුට නිදහසේ කාලය ගෙවීමට බන්ධනාගාර අධිකාරිගේ සහාය ලැබී ඇතැයිද වාර්තාවේ. මේ ආකාරයට නීති විරෝධී ලෙස කටයුතු කළා යැයි කියන බන්ධනාගාර අධිකාරිවරයාගේ පැමිණිල්ලට අදාළ ඝාතන කුමන්ත්‍රණය මුසාවක් බව තතු දන්නෝ පවසති.
කෙසේ නමුත් චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් අරඹා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. එමෙන්ම පැමිණිල්ල සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශනය සිදුකරයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර