2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

කවදාවත් ගුවනින් නොගිය ලංකාවේ ජිම් රීව්ස්

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

සොඳුරු ආඥාදායකයෝ 

.ඩී.රන්ජිත් කුමාර......

අහස් යානයකින් උඩු ගුවනේ යාමට අකමැති, නොඑසේ නම් බියක් දක්වන සුළු පිරිස අතර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චි ද සිටි බව ඔබ දන්නවාද?
මිල්ටන් මියයාමට වසර ගණනාවකට පෙර සංගීත ප්‍රසංග චාරිකා සඳහා යුරෝපීය රටවල්වල සංවිධායකයන් කොතෙක් ආරාධනා කරන්නට ඇද්ද?

අනේ අම්මෝ ප්ලේන්වල යන ගමන්වලට මට කතා කරන්න එපා. බිම යනවා වගේද ප්ලේන් එකක දෝෂයක් වුණොත් මොන දෙයියන්ට කියන්නද? බිම නම් වාහනයක් මුකුත් වුණොත් අයින් කරගත හැකියි. උඩු ගුවනේ ඔය සෙල්ලං බැහැ. මිල්ටන් කාරුණිකව කියූ වාර කොතෙක්ද?

රුසියානු මහා ලේඛක මැක්සිම් ගෝර්කි තමාට ළමා කාලයක් තිබුණේ නැතැයි කියා තිබුණේය. තමාගේ ජීවිතයේ ලොකුම වස්තුව වූයේ අම්මා බව ඔහු කීවා පමණක් නොව අම්මා නමින් ප්‍රකට නවකතාවද ලිවීය. මිල්ටන් මල්ලවආරච්චිට ද කුඩා කාලයේ සුන්දර ළමාවියක් නොතිබූ බව කොතෙක් කියා ඇද්ද?

මගේ පියා මම කිසිදිනෙක දැක නෑ. නමුත් ඔහු කොතැන හෝ ජීවත්වන බව මම දන්නවා. මේ හේතුව නිසා බිළිඳු මා ජීවත් කරන්නට අම්මා ගෙන ගිය ජීවන සටන වචනයට ගලපාගන්නට බැහැ. 1994 අප්‍රේල් මාසයේ එවකට සරසවිය පුවත්පතේ කර්තෘ මාත් උප කතුවරයකු වූ අනුර බණ්ඩාර රාජගුරැ (පසුව ඔහු සරසවිය පුවත්පතේ කතුවරයෙක් විය.) සමඟ මිල්ටන් හමුවීමට උඩහමුල්ලේ ජය මාවතේ ඔහුගේ නිවසට ගිය දිනක මිල්ටන් කීවේය. රාජගුරු විසිතුරු බසින් ලිපිය ලිවීය.

මාව ජීවත් කරවීමට අම්මා සමාගමක වැඩට ගියා. අම්මාගේ ආදරය, සෙනෙහස මැද ජීවත් වූ නිසාදෝ අම්මාගේ උණුසුම ම^සිතට සිහිලැල්ලක් වූ නිසාදෝ මා තනිකර දමා අම්මා රුකියාවට යාම බිළිඳු මගේ සිත පාරන්නක් වුණා. අප සිටියේ මිරිහාන පන්සල් වත්තක තිබූ පොල් අතු සෙවිලි කළ ගෙයක. 1947දී පමණ  එවකට කිරි බෙදාහැරීම %පර්මිට්^ මගින් කළ නිසා මගේ කිරි පිටි හැන්ද දක්වා ඉවර වී තිබුණාලු. කිසිවක් කරගත නොහැකිව අසරණ වූ මගේ අම්මා නුගේගොඩ දුම්රිය පොළ අසල ළමැදේ ගිනි ඇවිලෙමින් සිටියා.

මිල්ටන් එදා අපට පැවසුවේ තමා මිරිහානේ පන්සල් වත්තේ සිටි අම්මා සමඟ පාගොඩ පදිංචියට ගියේ නොයෙක් අගහිඟකම් මැද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනීමට බවයි.
1944 අප්‍රේල් 07 වැනිදා කෝට්ටේ උපත ලැබූ මිල්ටන් සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලාය. 1978.04.21 සරසවිය පත්‍රයට සාකච්ඡාවක් සඳහා මිල්ටන්ගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු මට තම පාසල් කාලයේ රසවත් තොරතුරු කීවේය.

ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙන ගන්නා කාලයේ පාසලේ කැපී පෙනුණු ගායකයා මම. එදා මම ජෝතිපාලගේ හා මිල්ටන් පෙරේරාගේ ගීතත්, මොහොමඩ් රාෆිගේ හින්දි ගීතත් ඩෙස්ක් එකට ගසමින් ගැයුවා.
ගායකයකු ලෙස ප්‍රසිද්ධ වීමට පෙර මිල්ටන් ඩොලැක් වාදකයකු ලෙස සංගීත ප්‍රසංගවල කැපී පෙනී ඇත. එකල ප්‍රසංග වේදිකාවල ජොතිපාලට, මිල්ටන්ට බෙග්ගේ ගීතවලට ඩොලැක් වාදනය කළේ මිල්ටන් මල්ලවආරච්චිය. කෝට්ටේ පැත්තේ මඟුල් ගෙවල්වල, උපන්දින සාදවලට හින්දි ගී ගැයූ මිල්ටන්, පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ හර්බට් රංජිත් පීරිස්ට හමුවන්නේ ලා සිලනියන්ස් ගායක කණ්ඩායමේ මිල්ටන් ගීයක් ගයමින් සිටි අවස්ථාවකය. රංජිත් ඔහු ගැන කොතරම් පැහැදුණාද කීවොත් තමාගේ ශාක්‍යන් කණ්ඩායමට බඳවාගෙන නිත්‍ය ගායකයකු කර ගත්තේය.
මිල්ටන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙන ගන්න කාලයේ ඉංග්‍රිසි ගුරුවරිය වූයේ ට්‍රිලීෂියා අබේකෝන්ය. (පසුව මනමේ කුමරිය වූ ට්‍රිලීෂියා ගුණවර්ධන) ඉංග්‍රිසි පන්තිය පවත්වන අතර පිටුපසට වි හින්දි ගියක් මිමිනූ මිල්ටන්ට අව්වේ දණ ගසා සිටීමට ගුරැතුමියගෙන් අණක් ලැබුණි.

පුදුමය නම් ට්‍රිලීෂියා ගුරැතුමියත් වැලිකල ගුරුතුමියත් (ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදන පී. වැලිකල මහතාගේ බිරිය) නිෂ්පාදනය කළ කැඩුණු කරත්තය නම් පාසල් නාට්‍යයේ මිල්ටන්ට ගීත ගැයීමට අවස්ථාව ලැබීමය.
1984 සරසවිය සම්මාන උළෙලේදී ට්‍රිලීෂියා ගුණවර්ධන කලියුගය චිත්‍රපටයෙන් හොඳම සහාය නිළියගේ සම්මානය ලබද්දී මිල්ටන් මල්ලවආරච්චිට හොඳම ගායකයා ලෙස ඈතින් ඈතට චිත්‍රපටය සඳහා සරසවි සම්මාන ලැබීම දෛවයේ සරදමක් වැනිය.

දිනක් නවලෝක ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ධර්මදාස මහතා හර්බට් රංජිත් පීරිස්ගෙන් මෙසේ ඇසුවේ සුපිරි නිවෙසක සංගීත පැදුරු පාටියක් තිබූ විරාමයකදීය.
කවුද අර ඔයගොල්ලන්ගේ සංගීත ග_ප් එකේ ඉන්න පරණ හින්දි සින්දු කියන ළමයා.
එයාගේ නම මිල්ටන් මල්ලවආරච්චි. හොඳට සින්දු කියන්න පුළුවන් කෝට්ටේ කොල්ලෙක්.

මිනිහා කොහේ හරි රස්සාවක් කරනවද?
නැහැ...
හෙටම පෑලියගොඩ නවලෝක ලී මෝලට එන්න කියපං.
හොඳයි... හර්බට් රංජිත් පීරිස් කියා ඇත.
මිල්ටන්ට ලිපිකරු තනතුරක් ලැබිණ.

නවලෝක ලී මොලේ වැඩකරන අතර මිල්ටන් පැදුරු සාජ්ජවල, පාටිවල සින්දු කියමින්, ඩොලැක් වාදනය කළේ ශාක්‍යන්ස් කණ්ඩායමේ හර්බට් රංජිත්, නිහාල් කුමාර පතිරණ, ජූඩ් පද්මපෙරුම, ලෙනාඩ් පෙරේරා, ජෝ අබේශිකා ආදීන් සමගය. මිල්ටන්ට මුලින්ම ගීතයක් ගයන්න අවස්ථාව ලැබෙන්නේ ලා සිලනියන්ස් ගායක කණ්ඩායමට සමඟ ගීත ගැයීමටය. ඒ 1969 වසරේය. එම ගීතය පටිගත කළ ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු මිල්ටන්ගේ හඬට වශී වී සිටියේය. එදා ගීතය අසා සිටි ගෞරි කෝපරේෂන් අධිපති පැට්රික් කුරේරා, මර්වින් රුද්‍රිගුගේ රෙකමදාරුව අනුව මිල්ටන්ට ගීත තැටියක් සඳහා ගීත හතරක් කිරීමේ වරම ලබා දුන්නේය. එහි මුල් ගීතය වූයේ කරුණාරත්න අබේසේකර රචනා කළ මොහොමඩ් සාලි සංගීතවත් කළ ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ.... ගීතයයි.
ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ - තොටියෙකි මා මේ සීතල වතුරේ.....
පායා එන්න සඳේ මට දී ආලෝකේ - පාළුවෙලා මගෙ ලෝකේ....
ඕ.... ඇයි පාළුවෙලා මගෙ ලෝකේ

තෝරා දෙන්න වහා නැගෙනා මේ ශෝකේ - පාළුවෙලා මගෙ ලෝකේ....
ඒ සමඟම රන් කූඩුව, සංසාර සෙවණැල්ල, මංගලේ නෙත් මංගලේ ගීත ද මිල්ටන් ගැයීය. කරැ රචනා කළ මේ ගීත හතරේම සංගීත අධ්‍යක්ෂණය සාලිගෙනි.

මට මිල්ටන් මල්ලවාරච්චි මුලින්ම හමුවන්නේ මේ ගීත ගැයූ මුල් කාලයේ නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ පිහිටි එකල සිළුමිණ පුවත්පතේ උප කතුවරයකු වූ පී.බී. ඉලංගසිංහගේ (ඉරිදා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කතුවරයෙකි) චමරියේදීය. මෙම චමරියට විජය කුමාරතුංග, ධර්මසේන පතිරාජ, කාලෝ ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, දයා තෙන්නකෝන්, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, සෝමසිරි දෙනිපිටිය, ඩබ්ලිව්. ජයසිරි, ආර්.ආර්. සමරකෝන්, දයා අල්විස් නිතර එක්රොක් වෙති. පී.බී.ගේ චමරියට යාබද නිවෙසේ සිටියේ ගීත රචක, නිවේදක කේ.ඩී.කේ. ධර්මවර්ධනය. සඳ ඇති රැයක පී.බී. ගේ චමරියේ ලොවි බංකුවේ හිඳගෙන මිල්ටන්, වික්ටර් පැරණි ගීත ගයනු ඇසීමට මට ඉඳහිට වාසනාව පෑදුණි.

මිල්ටන්ට සිය අනාගත සහකාරිය හමුවන්නේ ද 1969 වසරේදීය. කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඉගෙනගත් පහළොස් හැවිරිදි ස්වර්ණමාලි මාලතී පණංගල නම් ඇය මිල්ටන්ව මුණගැසුණේ ඩබල් ඩෙකර් බස් එකක යන අතරවාරයේය. මේ මිල්ටන්ගේ ඔරුවක පාවෙන ගීතය ජනප්‍රිය වූ කාලයයි. මිල්ටන්ට ස්වර්ණමාලි පිළිබඳ සිතක් ඇති විය. ඇගෙන්ද ඔහුට ප්‍රතිචාර ලැබුණි. දහසක් බාධක මැද ඔවුහු 1973 දෙසැම්බර් 29 වැනිදා විවාහ වූහ. මේ දෙදෙනාට රනිල්, රන්සිරි, හර්ෂනී, නදීජා නම් දරුවෝ හතර දෙනෙක් සිටියහ.

මිල්ටන් වඩාත් ප්‍රියකළ ගීතය වූයේ කරුණාරත්න අබේසේකර ලියූ එම්.කේ. රොක්සාමි සංගීතවත් කළ මධු මල ලෙස.... ගීතයයි.

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි....

මිල්ටන් ගැයූ විරහ ගීත යොවුන් පරපුර අතර අතිශය ජනප්‍රිය විය. ඇතැම් යොවුන් පෙම්වතුන් පෙම් ලිපිවල, විරහ ලිපිවල ආරම්භය පටන් ගත්තේ මේ ජනප්‍රිය ගීතවල මුල කොටසෙනි. 
මේ ඉන් කිහිපයකි.

මා නිසා ඔබ නොපිරෑ පෙරැම් - මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනා මැද ඉටුවේවි නම් - ආයෙ නාවත් කම් නෑ ඉතිං...
අවසර නැත මට ඔබෙ අත ගන්නට - බැමි බැඳ ඇත ලොව සතර අතේ....
ඔබ නිල් නුවන් තලාවේ - සැලේ කඳුළු මිදිලා

මට ඒ මැදින් පෙනෙන්නේ - අපේ මතක මැවිලා...
ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා...
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ....
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි....
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ....
මධු මල ලෙස මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි...

මිල්ටන්ගේ මේ ගීත වැඩි හරියක් කේ.ඩී.කේ. ධර්මවර්ධනය. කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, අජන්තා රණසිංහ, ක්ලැරන්ස් විජේවර්ධන, සිරි කුලරත්න, සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල, ධර්මසිරි ගමගේ, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රණීත් අභයසුන්දර, උපාලි ධනවලවිතාන ඇතුළු ගීත රචකයන් ලියා ඇති අතර රොක්සාමි, මොහොමඩ් සාලි, ක්ලැන්රස්, ස්ටැන්ලි පීරිස්, වික්ටර් රත්නායක, සරත් දසනායක, සරත් ද අල්විස්, රෝහණ වීරසිංහ ආදීන් සංගීතවත් කොට ඇත.

ලංකා ජිම් රිව්ස් නමින් ප්‍රකට මිල්ටන් ක්‍රිකට් ලෝලියෙකි. හොඳ ක්‍රිකට් මැච් එකක් තිබූ දාට කෝටියක් සල්ලි ලැබුණත් ඔහු ගීත ගයන්නට ගියේ නැත. ඇවිදින ක්‍රිකට් ශබ්දකෝෂයක් වූ ඔහු ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුහද මිතුරෙකි. ගංගොඩවිල සෝම හිමියන්ගේ කල්‍යාණ මිතුරකු වූ මිල්ටන්ගේ නිවෙස සංඝයා වහන්සේලා උදෙසා පැවැත්වූ දාන මාන පිංකම්වලින් පිරී තිබුණි. මිල්ටන් එතරම්ම ආගමට දහමට ලැදි පිංවතෙකි. මේ විශිෂ්ට ගායකයා 1998 මාර්තු 10 දින ජීවිතයෙන් සමු ගත්තේය.