රට පුරා සිදු කරන විවිධාකාර අපරාධ අකටයුතුකම් පිළිබඳව හෙළි කරමින් ජනතාව දැනුම්වත් කරන හා වගකිවයුතු පාර්ශ්වවල අවධානයට යොමු කරන මාධ්‍ය වාර්තාකරණය ප්‍රබල කාර්යයකි. රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය හරහාත් අන්තර්ජාලයේ වෙබ්අඩවි ඔස්සේත් පුවත්පත් පිටු මගිනුත් එවැනි වාර්තා පළ කරන බව දකින්නට හැකිය.
පාරිසරික විනාශය, සත්ත්ව හිංසනය, වැලි හා පස් ජාවාරම්, ප්‍රවාහන හෝ මගී ගැටලු මෙන්ම මහජනතාවට බලපාන විවිධ අඩුලුහුඬුකම් හෝ සමාජ විරෝධී ජාවාරම් අක්‍රමිකතා මෙවැනි මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරයි. මේ සඳහා පෞද්ගලික රෑපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවල ප්‍රවෘත්ති කණ්ඩායම් විශේෂ උත්සාහයක නිරත වෙති. එවැනි ඉදිරිපත් කිරීම් හරහා අදාළ නාලිකා වෙත ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයද ඉහළය.
කෙසේවෙතත් මේ සටහන එකී මාධ්‍ය භාවිතය පිළිබඳ නොවුණද, රූපවාහිනී නාලිකාවක් හරහා හෙළිකළ ජාවාරමක් සම්බන්ධයෙනි. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ වැටලීමට අදාළ තොරතුර එම මාධ්‍ය ආයතනයේ අදාළ ප්‍රවෘත්ති කණ්ඩායම වෙතින් ලැබුණු බවට කොළඹ අපරාධ කොට්ඨාසය තහවුරු කරයි. එම කොට්ඨාසය වාර්තා කරන පරිදි ලීසිං සමාගම් හරහා මිලට ගන්නා විවිධ වර්ගයේ මෝටර්රථ නීතිවිරෝධී ආකාරයට උකස් ගන්නා ස්ථානයක් පිළිබඳව එක්තරා රෑපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති අංශයට දැනගැනීමට ලැබීමෙන් අනතුරැව එම තොරතුර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දන්වා ඇත. එහිදී එම කරැණු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දන්වා අවශ්‍ය වැටලීම කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් නන්දන මහතා විසින් උපදෙස් ලබාදී තිබුණේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා වෙතය.
වැඩිදුර කරැණු සොයා බැලීමේදී කිරිබත්ගොඩ මාකොළ පාරේ ප්‍රධාන පාරට මුහුණලා තිබූ රථවාහන අලෙවි කරන ස්ථානයක් හඳුනාගැනීමට හැකිව තිබේ. පුද්ගල නමක් යටතේ මෝටර් ට්‍රේඩර්ස් යනුවෙන් ව්‍යාපාරය පවත්වාගෙන යන අතර ඒ පිළිබඳ සොයා බැලීමේදී වසර 34ක් පුරාවට ව්‍යාපාරය පවත්වාගෙන යන බවට හඳුනාගෙන ඇත. සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමඟ පෙර කී රෑපවාහිනී නාලිකාවේ කණ්ඩායමක්ද වැටලීම් අවස්ථාවට සහභාගි වෙමින් අවශ්‍ය පටිගත කිරීම සිදුකරගෙන තිබිණි.
අදාළ නිලධාරීන් පිරිස සැකසහිත ආයතනයට ඇතුළු වී තිබුණේ පැමිණිලිකාරිය සම්බන්ධව දැනුම්වත් කරමිනි. එහිදී ආයතනයේ කළමනාකරැ කියා තිබුණේ ආයතනය 1986 වසරේ සිට පවත්වාගෙන යන බවකි. ව්‍යාපාරය පවත්වාගෙන යාමට අදාළ ලියකියවිලි රුසක් ද පොලීසිය හමුවේ පෙන්වා තිබිණි. කළමනාකරුගේ මැදිහත්වීම මත ව්‍යාපාරයේ හිමිකරැ පැමිණ ස්වකැමැත්තෙන් ව්‍යාපාරය පිළිබඳව කරුණු දක්වා තිබේ. එහිදී හෙළිකර තිබුණේ ලීසිං පහසුකම යටතේ මිලට ගත් රථවාහන හෝ වෙනත් ඕනෑම වාහනයක් උකස් ලෙස ලබාගන්නා බවය. රථයේ හිමිකරැට අවශ්‍ය මුදල ගෙවන බවත් වුවමනා කරන ඕනෑම වෙලාවක නියමිත මුදල් ගෙවා යළිත් වාහනය රුගෙන යා හැකිව තිබෙන බවත් ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් සිදුවන්නේ ජාවාරමක් බව අමුතුවෙන් කිවයුතු නැත. ලීසිං පහසුකම යටතේ වාහනයක් මිලදී ගැනීමෙන් පසුව රථයේ පරම අයිතිකරැ ලීසිං සමාගමය. වාරික මුදල් ගෙවා සම්පූර්ණ වෙන තෙක් ගැණුම්කරැට අයිතිය හිමිවීමක් නොමැති අතර ඊට පෙර වාහනය වෙනත් පාර්ශ්වයකට අලෙවිය හෝ හිමිකම් පැවරීම සපුරා තහනම්ය. යම් පාර්ශ්වයකට පැවරීමක් සිදුකරන්නේ නම් ලීසිං ආයතනය දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම ආයතනය තුළ එවැන්නක් සිදුනොවන බව අනාවරණය වීමත් සමඟ ආයතන පරිශ්‍රය පොලිස් බාරයට ගැනිණ. එම ආයතන භූමියේ ඒ වන විටත් උගසට ගෙන තිබූ රථවාහන 170ක් ගාල් කර තිබුණු බවට හඳුනාගත් අතර ඒවා ලේඛනගත වූ ඒවාය. එම වාහන අතර මෝටර්රථ, ලොරි රථ මෙන්ම අවමංගල්‍ය රථ ද විය. පොලිස් අත්අඩංගුවට ගැනුණු පරිශ්‍රයට පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් ආරක්ෂාවක් යොදවා වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.
ඉන් අනතුරැව කිසිවකුටත් ඇතුළුවීම හෝ පිටවීම තහනම්ව තිබියදී උගස් තබා ඇති වාහන හිමිකාර පිරිස එම ස්ථානයට පැමිණියහ. ඔවුන් සිය අනන්‍යතාව පෙන්වා දෙමින් පුන පුනා කියා තිබුණේ මෝටර්රථය තමාගේ නමින් ලියාපදිංචි කොට ඇති බවත් හදිසි මුදල් අවශ්‍යතාවකට වාහනය උගස් කළ බවත්ය. සිය ව්‍යාපාරික කටයුතු අවසන් කර මුදල් ලබාගත් වහාම යළිත් උකස බේරාගන්නා බව ඔවුහු ප්‍රකාශ කළහ. මේ අතර තවත් අයකු කියා තිබුණේ තමා කාලයක පටන් මේ ආයතනය හා ගනුදෙනු කරන බවය. මුදල් අවශ්‍ය ඕනෑම අවස්ථාවක පැමිණ මෝටර්රථය උකස් කරන බවත් එය විශ්වාසයෙන් යුතුව කාලයක පටන් සිදුකරන බවද ප්‍රකාශ කර ඇත.
මේ තොරතුරු වාර්තා වීමත් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට කරැණු දන්වා අදාළ රථවාහන සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටියහ. ඒ අනුව එම වාහන මොනයම් හෝ අපරාධයක් සඳහා යොදාගෙන ඇත්දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකය. මෙම විමර්ශන අතරතුර වාහන ලියාපදිංචි පුද්ගලයා වෙනත් අයකු වුවද එහි පරම අයිතිකරැ ලීසිං සමාගම බව හඳුනාගෙන තිබේ.
පවතින නීතිය උල්ලංඝනය කරමින් සිදුකර තිබූ ක්‍රියාව පසුපස පවතින සිවිල් ආරවුල් රාශියකි. මේ සම්බන්ධයෙන් ලීසිං සමාගම් වෙත දන්වා එම ආයතනවලින් ලබාගන්නා ප්‍රකාශ පදනම් කොටගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර