2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

බන්ධනාගාරයේ රජුන් තනන ලෝකල් බඩු

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

කුඩු අහේනියත් සමඟම රහසේ නිපදවන ලෝකල් බීඩියට අද බන්ධනාගාරවල ඇත්තේ ඉහළම ඉල්ලුමකි. ලෝකල් බීඩියක් හිරකාරයකුට රජ බොජුනක්ය. උගුරු තුනක් උරන කෙනෙකුට ඒ තරම් රජ සැපක් තවත් නැති තරම්ය. මේ දිනවල හිරගෙවල්වලට කුඩු සුනාමියය. එහි බලපෑම කොතරම්ද කියනවා නම් ලෝකල්  ඔතන දුම්කොළයකට හිරගේ තුළ ඇති වටිනාකමද අහස උසටය. තහනම් බඩුවලට හතරවටින් වැට බැඳී වැඩි කලක් නොවූවද තාප්පවලින් හිරගෙවල්තුළට වැටෙන පාර්සල්වල නම් අඩුවක් අසන්නට නැත. පාර්සල් විසිකළ පුද්ගලයන් ගණනාවක්ම කොටුකර ගත් අවස්ථාද එමටය. ඒත් පාර්සල් වැටීම නම් ඉඳහිට හෝ අසන්නට නැත්තේද නැත.

ලෝකල්වලට ඇති ඉල්ලුම නිසාම ඒ සෑම පාර්සලයකම දුම්කොළ බෝල ඔතා තිබුණු බව කියන්නේද නිලධාරීන්ය. කොළඹ බන්ධනාගාරවලින් පමණක් නොව මහර, කළුතර, මීගමුව, දුම්බර, මාතර, අඟුණකොළපෑලැස්ස, වාරියපොළ ඇතුළු බන්ධනාගාරවල තාප්පවලින් දිගින් දිගටම පාර්සල් වැටුණු බවක් අසන්නට ඇතත් ඒවායින් බොහොමයක්ම රැඳවියන්ගේ අතට නම් අසු නොවුණු බවද සඳහන්ය.

කුඩු අහේනියත් සමඟම උඩින් වැටෙන පාර්සල් බොහොමයකම දුම්කොළ තිබී ඇත්තේ ඊට ඇති ඉහළම ඉල්ලුම නිසාය. අද වනවිට බන්ධනාගාරවල කුඩු වෙනුවට ඇති එකම ආදේශය ලෝකල්ය. 2008 වනතුරුන්ධනාගාර රුඳවියන්ට දුම්කොළ ආශ්‍රිත සිගරට්, බීඩි වැනි දේවල් ලබාදුන්නේ කුඩු උවදුර බන්ධනාගාර ගිලගන්නට පෙරය.


2012 දී පමණ දුම්කොළ ආශ්‍රිත ද්‍රව්‍ය තහනම් භාණ්ඩ ගණයට ඇතුළත්වීමත් සමඟම ලෝකල්වලට ඉහළම තැනක් හිමිවූ බව නම් සැබෑය. ඒ බැව් කියන්නේද හිටපු නිලධාරීහුය. තහනමට පෙර බීඩියකට හෝ බීඩි මිටියකට බන්ධනාගාර තුළ නොකළ හැකි දෙයක් නොවීය. අද වනවිට ලෝකල් බීඩියටද අත්ව ඇත්තේ එවැනිම ජනප්‍රියතාවයක්ය. ඒ අනුව, ලෝකල් බීඩිය බන්ධනාගාර හොල්ලන තරමේ කළ නොහැක්කක් නොමැති තරම්ය.

ආරක්ෂක ලේකම්වරයාගේ පාතාලය හා මත්කුඩු තුරන් කරන මෙහෙයුමේ ප්‍රබලතාවය කොතරම්ද කියනවා නම් බන්ධනාගාර තුළට මත්කුඩු ඇතුළු තහනම් බඩු ඇතුළු වන හැමතැනකම වැටවල්ය. ලෝකල්වලට ඇබ්බැහිවූවන්ගේ ඉල්ලුම එන්ට එන්ටම වැඩි වී ඇත්තේද ඒ නිසාය. තහනම්බඩුවලට වැටී ඇති තහංචිය නිසාම ලෝකල් හදන්නට අමුද්‍රව්‍ය නොමැතිකමද බිස්නස්කාරයන්ට නම් ගැටලුවක්ය. ජාවාරම්කුවෝ අවුලක බවද සඳහන්ය. ඒ නිසාම එළියෙන් දුම්කොළ එන එකම මාර්ගය බවට අද පත්ව ඇත්තේ බන්කර්ය.

සිරකරුවන් අධෝ මුඛයේ සඟවා තහනම් බඩු අදින්නේද ඒ නිසාය. ඉකුත් 20දා එවැනි බන්කර්කාරයෙකුට අත් වී ඇති ඉරණමද බිහිසුණුය. අලුත්කඩේ අධිකරණය මගින් රිමාන්ඩ් කළ රැදවියකු ගෙනාවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටය. මේ දිනවල හොර බඩු හොයනවා වාගේම බන්කර් ගැනද නිලධාරීන් ඉන්නේ දැඩි සෝදිසියෙනි.

මෙම රැඳවියා ගැන සැකසිතූ නිලධාරීන් ඔහු ඇතුල් කළේ බන්ධනාගාර රෝහලටය. රෝහල මගින් ඔහුගේ බන්කරයේ (ගුදයේ) යමක් ඇති බව දැනී වහාම යැව්වේ කොළඹ ජාතික රෝහලටය. රෝහලින් සිදුකළ සැත්කමෙන් එළියට ආවේ ජංගම දුරකතනයක් බව හෙළිවූයේ කවුරුත් පුදුමයට පත් කරමිනි. දැන් දැන් බන්කර්වලින් තහනම් භාණ්ඩ එන ප්‍රමාණයද වැඩි බව නිලධාරීන්ට ඉවෙන් මෙන් දැනී ඇත්තේද නිකමට නොවේ. ඇතුළට එන එකා ගමන් කරන තාලෙන් හා හැසිරෙන විලාශයෙන් සියල්ල හෙළිවන්නේද අත්දැකීම් නිසාය.

ඉඳහිට අසු නොවන අයුරින් ඇතුළට දුම්කොළයක් යන්නට බැරි නැත්තේ සූක්ෂම ක්‍රම හා විධි දිනෙන් දින වෙනස්වීම නිසාය. නැතහොත් දූෂිත නිලධාරීන්ගේ අතමිට මොලවන ගනුදෙනුවේ බර වැඩි නිසාය. එහෙමත් නැත්නම් තහනම් භාණ්ඩ උඩින් වැටීමය.

පසුගියදා වැලිකඩ කාන්තා අංශයේ කාන්තා රැඳවියකට (දෙමටගොඩ චමින්දගේ නැන්දම්මා) උඩින් වැටෙන බඩු ගන්නට උදව් කළ බවට චෝදනා කොට කාන්තා නියාමකවරියක මීගමුවට මාරුකර පරීක්ෂණයක් ආරම්භ ඇත්තේද එවැනි දූෂිත ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණිනි. කොහොම වුවත්, හිරගෙවල්වල ලෝකල් වුවද නැත්තේම නැත. එකක් රුපියල් 20ට 25ට අලෙවි වන බව කියන %ලෝකල් මිටියක්& (10) රුපියල් 200කට අලෙවි වන බව නම් රහසක් නොවේය. බන්ධනාගාර තුළ අද දුම්කොළයක් හොයාගන්නට නැතත් අලෙවිය නම් ඉතා ඉහළය. එවැනි එක් දුම්කොළයකට අද ගෙවන මුදලද රුපියල් 3000කට ආසන්නය. ඒවායේ අලෙවිය ඉහළ ගොස් ඇති අයුරුද අරුම පුදුමය. දූෂිත නිලධාරයකු දෙන්නකු දුම්කොළයක්, දෙකක් කකුලේ බැදගෙන එහෙමත් නැත්නම් හිස් වැස්මේ සඟවාගෙන ගෙන යන්නට උත්සාහ කරන්නේද ඒ නිසාය.

රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන්ද කෙසේ හෝ ඇතුළට දුම්කොළ ටිකක් පන්නන්නට උත්සාහ දරන්නේද ඒ නිසාය. එවැනි උත්සාහයන් නිලධාරීන් විසින් ව්‍යවර්ථ කළ අවස්ථාද එමටය. ඒත්, තවදුරටත් වරින්වර එවැනි දේ සිදු නොවන්නේද නොවේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට හා මීගමුව බන්ධනාගාරයට පැමිණ ඇති අමුත්තන් දෙදෙනකු ගෙනා පාවහන් තුළ සඟවා තිබූ දුම්කොළ තොගයක් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩි දිනක්ද නැත. අවසානයේ අමුත්තන් දෙදෙනා පොලිස් කූඩුවේ ලගින්නටද සිදුවිය. ඇතුළේ දුම්කොළ නැති තරමට ලෝකල් හැදෙන ප්‍රමාණයද අවමය. ඉල්ලුම වැඩි වුවද සැපයුම අඩුය. ඒ නිසාම බන්ධනාගාර තුළ ගැටුම් නැත්තේද නොවේ.

දැන් හැදෙන ලෝකල් බීඩි මිටියක ප්‍රමාණය ඇඟිල්ලකට සමානය. ලෝකල් බීඩියක් ඉරටුවක් තරම්ය. මේ ලෝකල් එකකින් අඩුම තරමේ උගුරු තුනකට වඩා උරන්නට බැරිය. කුඩු අහේනිය නැතහොත් කුඩු සික් වැළඳුණු එකට මේකෙන් උගුරු තුනක් වුවද ප්‍රමාණවත්ය. මේ සියලු ගනුදෙනු කුඩු වගේම ඊෂිකෑෂ්වලටය. එදා බීඩියකින් හිරගේ ඇතුළේ කරගත් දේවල් අද ලෝකල් එකකට කරගත හැකි බවට තොරතුරුද දන්නේ නිලධාරීන්ය.

හිරගෙවල් තුළද ඇති හැකි අය හා නැති බැරි අයද එමටය. ඇති හැකිවුන්ගේ අතපය මිරිකීම, පවන් සැලීම, නෑමට වතුර ඇද දීම, රෙදි සේදීම, වැසිකිළියට වතුර ගෙනත් දීම, කෑම ගෙනවිත් දීම පමණක් නොව සබන් කෑල්ලකට හෝ කුස්සියෙන් යමක් ගැනීමට අවශ්‍ය වන්නේ ලෝකල් එකක් පමණි.

අද ලෝකල් බීඩියකට හිරගෙය තුළ කළ නොහැකි දෙයක් නැත්තේද ඒ නිසාය. ලෝකල් හැදෙන හැටිද අපූරුය. අවශ්‍ය වන්නේ දුම්කොළ කුඩු ටිකක් හා අහක දාන තේ කුඩු ටිකක්ය. ඇලුමිනියම් තැටිය නොහොත් බෙලෙක් කෑම පිඟානට දුම්කොළ කෑලි දමා, යටින් පහන් දැල්ලකින් රත්කරගෙන, එම දුම්කොළ කැබලි කුඩුකර, තේ කුඩු සමඟ මිශ්‍රකර පත්තර කොළයකින් සෑදූ ගොට්ටකට දමා දුම් ඉරීම යනු ලෝකල්ය.

මෙම ලෝකල්වලට දාන දුම්කොළ රත්කර ගැනීම සඳහා වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ බුදු පහන් බවද සඳහන්ය. ඉරටුවක නොහොත් ටූත් පික් එකක ප්‍රමාණයට නිපදවෙන ලෝකල් එකකින් ඉරීමට හැක්කේ උගුරු තුනක් පමණක් බවද කියති. ලෝකල් එතීමට ගන්නේ එක්තරා ජාතික පුවත්පතක පිටු පමණක් වීමද විශේෂය. ඒ තුනී නිසාය. එම පුවත්පත් ගෙනැවිත් දෙන්නේද ඔෆීස් පාටි සිරකරුවන්ය. තුනී පිටු සහිත මෙම පත්තර කොළ ගෙනැවිත් දෙන සිරකරුවන්ටද සන්තෝසම් ලැබෙන්නේය. සමහරවිට ලෝකල් මිටියක් වන්නටද පුළුවන.

ලෝකල් එතීම වැඩිපුරම සිදුවන්නේ රාත්‍රී කාලයේදී සිරකුටිවලදීය. ඊට කිහිප දෙනකුගේම සහාය ලැබීමද විශේෂත්වයකි. ලෝකල් බීඩි මිටියකට බීඩි 10ක් පමණ අඩංගුය. මීට පෙර කුඩු අහේනියක් නැති කාලේ ලෝකල් එකක් රුපියල් 10කට අලෙවි වී ඇති අතර, ඊට පෙර බීඩියක් ුපියලකට, දෙකකට අලෙවි වී ඇති බවට විශ්‍රාමික නිලධාරීහු කීප දෙනකුම පැවසුවේ හිරගෙදර බීඩියක ඇති බලයද හෙළිකරමිනි.

මේ වනවිට හිරගෙවල්වල වැටලීම් එකසිය ගානටය. එක් පැත්තකින් බන්ධනාගාර නිලධාරීහුය. බන්ධනාගාර බුද්ධි අංශද, රාජ්‍ය බුද්ධි අංශද, එස්.ටී.එෆ්. භටයන්ද, තවත් පැත්තකය. පැය 24 පුරා මෙහෙයුමේය. ඒත් අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට පසුගියදා පාන්දර උඩින් වැටුණු තහනම් බඩු පාර්සලයක් ගැන පරීක්ෂණයක් පැවැත්වෙන්නේ සී.සී.ටී.වී. කැමරා රැසක්ද සවිකර තිබියදීය.
කෙසේ වුවද අද වනවිට බූස්සේ පාතාලයන් නිහඬය. ඒත්. හිරගෙවල් තුළ සිටිමින් ඔවුන්ගේ ගෝලබාලයන් කරන මත්ද්‍රව්‍ය ජාවාරම්වල අඩුවක් නැති බව පෙනෙන්නේ පොලිස් වැඩලීම් දකින විටය.

 ජයන්ත සමරකෝන්