කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ බම්බලපිටිය පැත්තට යද්දි ප්‍රසිද්ධ ඉස්කෝලයක් හම්බවෙනවා. මතකද.. එතනම ඉස්සරහ එපාර්ට්මන්ට් එකක් තියෙනවා. මමත් පදිංචිවෙලා ඉන්නෙ එතන. මෙතනට ගොඩක් චීන්නු යන එනවා. හැමෝම වගේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ. ඒක නෙමේ ගැටලුව. එයාලා මෙතන සූදුපොළක් කරගෙන තියෙනවා. ඊටත් වැඩිය හොර සිගරුට් අරක්කු ජාවාරමකුත් කරනවා.
කොළඹ කොල්ලුපිටිය ආර්.එල්. ද මැල් මාවතේ පිහිටි ඇස්ටෝරියා මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරැවකු විසින් මෙකී තොරතුර ලබා දී තිබුණේ කොළඹ නාගරික සුරාබදු කාර්යාලයේ සුරාබදු නියාමක එම්.පී. අරවින්ද මහතා වෙතය. ඔහුගේ හිතවතකු වූ ඔත්තුකරැගේ දැනුම්දීම සිය උසස් නිලධාරියා වූ කොළඹ නාගරික සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතාට දන්වා තිබිණ. ඒ මහතා සුරාබදු නියාමකවරයාට උපදෙස් ලබා දී තිබුණේ කාරණය පිළිබඳ වැඩිදුර සොයා බලන ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක වූ සුරාබදු නියාමකවරයා ඇස්ටෝරියා මහල් නිවාස සංකීර්ණය පිළිබඳව දැඩි සෝදිසියක නිරත වූයේ තනිවමය. එහිදී ඔහු හඳුනාගෙන තිබුණේ මහල් නිවාසයේ පදිංචිකරැවන්ට හැර පිටස්තර අයට එහි ඇතුළු වීමට හැකියාවක් නොමැති බවය. එසේම එහි පදිංචිකරුවන්ට එහි ඇතුළු වීමට හා පිටවීමට විශේෂිත ආරක්ෂිත ඛේතයක් පවතින බවද හඳුනාගෙන ඇත. එහෙත් ඇස්ටෝරියා නිවාස සංකීර්ණයේ පදිංචිකරැවන් සමඟ අමුත්තන්ට ඇතුළුවීමේ හා පිටවීමේ අවස්ථාවක් පවතින බවද හඳුනාගෙන තිබිණ.
මේ ආකාරයට අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව අනාවරණය කර ගැනීමෙන් අනතුරැව කොළඹ නාගරික සුරාබදු කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මහල් නිවාසය වැටලීම සඳහා පිටත් වූහ. නවතම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආරක්ෂාව තහවුරු කොට තිබූ ඇස්ටෝරියා මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශයට අමතරව කළමනාකාරීත්වයද කටයුතු සිදු කරති. එම පිරිසේ සහාය ලබාගෙන කරුණු දක්වා වැටලීම සූදානම් කරනු ලැබීය.
ඇස්ටෝරියා මහල් නිවාස සංකීර්ණය ගොඩනැගිලි දෙකක් යටතේ ක්‍රියාත්මකය. එක් පැත්තක බිම්මහල ඇස්ටෝරියා ෂොපින් මෝල් නමින් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි. ඉහළ මහල් සියල්ල නිවාස හා පදිංචිය සඳහා වෙන්කළ ඒවාය. පදිංචිකරැවන්ට හෝ එහි පැමිණි අමුත්තන්ට රහසේ ඇතුළු වූ කණ්ඩායම මහල් නිවාස සංකීර්ණයේ 28 වැනි මහලේ එක්තරා කොටසක් වෙත ඇතුළු වූයේ කලින් අනාවරණය කරගත් තොරතුරැ අනුවය. එහි ඇතුළුවනවාත් සමඟම පෙනෙන්නට සිටියේ චීන ජාතිකයන් පිරිසකි. බීර සහ දුම්වැටි පානය කරමින් සිටි ඔවුහු තරමක විශාල මේස හතරක් වටා රැස්වෙමින් කැසිනෝ සූදුවේ නිරතව සිටියහ. උත්සව ශාලාවක් ලෙසින් හැඩකර තිබූ පරිශ්‍රය මධ්‍යයේ විශාල රෑපවාහිනී තිරයකි. එම තිරය හරහා දිස්වන පිරිස චීන ජාතිකයන් පිරිසකි. ඔවුහු චීනයේ රුඳී සිටිමින් එම පරිශ්‍රයේ පිරිස හා නව තාක්ෂණය හා එක්වෙමින් කැසිනෝ සූදුවේ නියැලෙති. චීන රටේ සිදුවන කැසිනෝ සූදුව සජීවීව නරඹන මෙහි සිටින පිරිස ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම් සිදු කරමින් සිටිති.
මේ පිරිස අතර චීන ජාතික කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් දස දෙනකු සිට ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීහු වාර්තා කළහ. මේ සියලුම දෙනා චීනයේ සිට මෙරට පැමිණි මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වෙති. ඔවුහු ලංකාවේ වරාය නගරය ඇතුළු තවත් මහල් නිවාස සංකීර්ණ ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කළ අය වෙති. ඔවුන් සතුව තිබූ නීතිවිරෝධී දුම්වැටි 800ක් සමඟ නීතිවිරෝධී බීර ලීටර් 35කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනිණ. මේ අතර සැකකරුවන් දහතුන් දෙනා සමඟ ඇස්ටෝරියා නිවාස සංකීර්ණයේ 28 වැනි මහලේ (A-B) කොටස කුලියට ලබාගෙන සිටි පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වන විට පිරිස සතුව තිබූ රැපියල් හැටපන් ලක්ෂයක මුදලක් සුරාබදු නිලධාරීන් භාරයට ගනු ලැබූ අතර ඒවා කැසිනෝ සූදුව සඳහා ගෙනැවිත් තිබූ බවද අනාවරණය විය. එක් කාන්තාවක සතුව ලක්ෂ 20ක මුදලක් තිබිණි. මහල් නිවාසයේ එම මහල සම්පූර්ණයෙන් මෙකී සූදුව සඳහා වෙන්කර කාලයක සිට පවත්වාගෙන ගිය එකකි. එම පරිශ්‍රයේ ආහාරපාන, මත්පැන් හා සියලු පහසුකම් සැපයීමට කටයුතු යොදා තිබිණ. එහෙත් කොවිඩ්-19ට එරෙහිව සෞඛ්‍ය අංශ හඳුන්වා දුන් ක්‍රියාමාර්ග හෝ නිරෝධායන රෙගුලාසි කිසිවක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නොවිණි.
මෙරට කැසිනෝ සමාජශාලා ඇතත් කොරෝනා අර්බුදය හේතුවෙන් තවමත් ඊට අවසරයක් නැත. එසේම ආණ්ඩුව ප්‍රතිපත්තියක් වශයෙන් කැසිනෝ සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබේ. එවැනි සමාජශාලාවක් පැවැත්වීම සඳහා බදු මුදල පමණක් ලක්ෂ 500 ඉක්මවන බවද වාර්තා වේ. එවැනි පසුබිමක කොරෝනා අවදානම තිබියදී නිරෝධායන රෙගුලාසි සහමුලින්ම උල්ලංඝනය කොට සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලක කැසිනෝ සූදුවේ නියැලීම බරපතළ වරදකි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ බලතල අනුව නීතිවිරෝධී මත්පැන් හා සිගරුට්වලට එරෙහිව අයකු අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් 180,000ක දඩ මුදලක් යටතේ ඇප මත මුදාහැර ඇතත් නඩුව වැඩිදුර විභාගයට ගැනීමට නියමිතය. කැසිනෝ සූදුව, මුදල් ඔට්ටුව, ජාවාරම ඇතුළු චෝදනාවලට එරෙහිව සැකකරුවෝ කොල්ලුපිටිය පොලීසිය භාරයට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
සුපිරි නිවාස සංකීර්ණයේ ප්‍රභූ ගණයේ චීන කැසිනෝ සමාජශාලාව වැටලීමට සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහත්වරැන්ගේ මෙහෙයවීමෙන් සහකාර සුරාබදු කොමසාරිස් ශාන්තදේව සිල්වා, සුරාබදු අධිකාරී ලාල් පද්මසිරි, කොළඹ නාගරික සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහත්වරැන්ගේ අධීක්ෂණයෙන් සුරාබදු පරීක්ෂක සංජය නිශාන්ත, ලක්මාල් සේනානායක, සුරාබදු නියාමකරුවන් වන එම්.පී. අරවින්ද, ධනංජය පුෂ්පකුමාර, ඩී.එම්. ඉන්දික නලින් ප්‍රියංකර, ප්‍රභාත් කෞෂල්‍ය සහ කසුන් කඹුරැගොඩ යන නිලධාරීහු දායක වූහ.
සමන්ත ප්‍රදීප් විල්තෙර