2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

මංතීරු නීතිය: රියැදුරන් කියන දේ

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

කොළඹ නගරය ගතහොත් එහි ඇති වාහන තදබදය විශාල සමාජ ආර්ථික ගැටලුවක් බවට පත්ව තිබේ. උදෑසන, දහවල හා සන්ධ්‍යාවේ වාහන තදබදයට අනුව පැයක ධාවන කාලය කි.මී. දහයට අඩු බව සොයාගෙන තිබේ. එය පයින් ගමනකට සමානය. මේ මගින් රටට අහිමි වන මිනිස් ශ්‍රමය කොපමණද? මේ මගින් ජනතාවට ඇති වන පීඩනය කොපමණද?

කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුම් ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වූ බව අපට මතකය. එහෙත් ඒ එකක්වත් සාර්ථකව ක්‍රියාත්මක වී නැත. අඩුම තරමින් මංතීරැ නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නේනම් බොහෝමයක් ගැටලු නිරාකරණය කරගත හැකිය. මීට පෙරද එක් වතාවක් මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු ලැබීය.

මංතීරු නීතිය සකස් කර ඇත්තේ කරුණු දෙකක් මූලික කරගෙන යැයි කියන්නට පුළුවන. එක රථවාහන අනතුරු අවම කිරීමය. දෙක මහා මාර්ගවල ඇති වාහන තදබදය අවම කිරීමය. මංතීරුවක වාහනයක් පසුපස අනෙක් වාහනය ධාවනය කළ යුතුය. ඉස්සර කිරීමට අවශ්‍යනම් අවස්ථාව එනතුරු බලා සිටිය යුතුය. රථවාහන අනතුරු වැඩියෙන්ම සිදුවන්නේ වාහන ඉස්සර කිරීම නිසා යැයි සමීක්ෂණවලින් හෙළි වී ඇත. පොලීසිය පෙන්වා දෙන පරිදි මංතීරු නීතිය වැඩියෙන්ම උල්ලංඝනය කරන දෙපිරිසක් සිටිති. එක පිරිසක් යතුරුපැදිකරුවෝය. අනෙක් පිරිස ත්‍රිරෝද රථකරුවෝය. මේ දෙපිරිසම කුඩා වාහන භාවිත කරන බැවින් ඕනෑම තැනකින් රිංගා යා හැකිය. නමුත් මොවුන් එසේ සිදු කරන්නේ නැත. එහෙත් සියලු දෙනා මෙලෙස නීතිය කඩ කිරීමට ගියහොත් නැවත අවුලක් මතුවනු ඇත. එබැවින් හොඳම තීන්දුව විය යුත්තේ නීතිය කාටත් සමාන ලෙස අකුරටම ක්‍රියාවේ යෙදවීමය. අනෙක් අතට එය රට පුරාම ක්‍රියාත්මක වීමද වැදගත්ය.

මොකද්ද මේ මංතීරු නීතිය?  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න

මංතීරු නීතිය කියලා වෙනම නීතියක්‌ නැහැ. එය නීති කිහිපයක එකතුවක්‌. එය මෝටර් රථ සහ වාහන පනතට අදාළයි. මේ නීතියට අනුව හැම විටම බර වාහන ගමන් කරන්න ඕනේ පාරේ වම් පැත්තෙන්. දුර ගමන් යන වාහන, වේගයෙන් යන වාහනවලට දකුණු පස මංතීරුවල ගමන් කරන්න පුළුවන්. යම් වාහනයක්‌ දකුණු මංතීරුව හිර කරගෙන ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස වාහන පැදවීම වරදක්‌. ඒ වගේම මං තීරු කිහිපයක්‌ තිබෙනවිට මංතීරැ හරහා අපරික්‌ෂාකාරීව ගමන් ගන්නවා නම් මංතීරු නීතියට අනුව එය වරදක්‌. මෝටර් රථ හා වාහන පනතට අනුව එය අපරික්‌ෂාකාරීව රිය පැදවීමේ වරද වෙනවා.

වම් මංතීරුවේ තිබෙන වාහනයකට දකුණට යන්න අවශ්‍ය නම් වම් පැත්තේ තිබෙන වාහනය එකපාරටම දකුණට කපලා ගන්නවා නම් ඒක වරදක්‌. විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලට මංතීරු කපාහැර සෙසු වාහනවලට ඉදිරියට යෑම කළ නොහැක. නමුත් මාර්ගයේ වම් පැත්තේ තදබල ලෙස වාහන හිරවීමක්‌ තිබෙනවා නම් එවැනි අවස්‌ථාවක මාර්ගයේ දකුණු පැත්ත පැහැදිලිවම තිබෙනවා නම් පමණක්‌ යම් වාහනයක්‌ දකුණු පැත්තෙන් ඉදිරියට යෑම වරදක්‌ නොවේ. කොළඹ සිට ඉතා දුර ප්‍රදේශයක්‌ බලා යන වාහනයකට දකුණු පස මාර්ගය පැහැදිලිවම තිබේ නම් පමණක්‌ දකුණු පසින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් එසේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ දකුණු පසින් ධාවනය වන වාහනයකට අනතුරක්‌ සිදු නොවේ යැයි එම අවස්‌ථාවේදීම ස්‌ථිරවම නිගමනයකට පැමිණිය හැකි නම් පමණි.

පසුගිය 14 වැනිදා සිට කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කළ අතර උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය යන මාර්ගවල මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මේ වනවිට ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව බස්රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වෙනුවෙන් එක් මංතීරුවක් වෙන්කර ඇති අතර සෙසු රථවාහන සඳහා අනෙක් මංතීරු වෙන්කර තිබිණ. එහෙත් යළිත් පසුගිය 23 වැනිදා සිට බස් ප්‍රමුඛතා මංතීරුවෙහි වෙනසක් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා තිබිණි. ඒ අනුව බස් මංතීරුවේ ධාවනය කළ හැකි වන්නේ මගී ප්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණි.

රජය විසින් හඳුන්වා දුන් මෙම මංතීරු නීතිය පිළිබඳව දේශයේ අප රියදුරන් සහ මගී ජනතාවගෙන් විමසීමක් කළෙමු.

මංතීරු නීතිය අපට නම් හොඳයි
දිනේෂ් - කොට්ටාව

මංතීරු නීතිය ඇත්තටම හොඳයි. එය හොඳ ක්‍රමවේදයක්. ඇතැම් දවස්වල එන්න ගියාම ගොඩක් වෙලාවට අපි ට්‍රැෆික් ලයිට්වල හිර වෙලා පුදුම කට්ටක් කන්න වෙන්නේ. ඒ වුණාට මංතීරු නීතිය ක්‍රියාත්මක වෙද්දි ඒ කිසිවක් නැහැ. ඇත්තටම මේ මංතීරු නීතිය දිගටම ක්‍රියාත්මක කරනවනම් හොඳයි. පසුගිය දිනවල බස් ප්‍රමුඛතා මංතීරුවෙම තමයි ත්‍රිවිල්, මෝටර් බයිසිකල් ධාවනය වුණේ. නමුත් දැන් ඒ ක්‍රමයත් වෙනස් වෙලා තියනවා. ඒ නිසා මේ ක්‍රමවේදයේ නරකක් මම දකින්නේ නැහැ.

ඇත්තටම හොඳයි: තවත් විධිමත් විය යුතුයි
ඉඳුනිල් - ඒකල

පාසල් ළමුන් ප්‍රවහනය කරන එක තමයි මගේ රැකියාව ලෙස කරන්නේ. ඇත්තටම මේ මංතීරු නීතිය හොඳයි. නමුත් අපිට දැන් වෙනදට වඩා විනාඩි 10ක් විතර පරක්කු වෙලා තමයි ළමයි ඉස්කෝලෙට දාන්න වෙලා තියෙන්නේ. ඊටවඩා පසුගිය දිනවල බස් ප්‍රමුඛතා මංතීරුවෙම තමයි ත්‍රීවිල් මෝටර් බයිසිකල් ආවේ. ඒ වෙලාවට නම් ඇත්තටම එය අපිට කරදරයක්. නමුත් දැන් පසුගිය 23 වැනිදා ඉඳන් ඒ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. මම කියන්නේ මේ මංතීරු නීතිය තවත් විධිමත් කළොත් හොඳයි කියලා. සමහර ළමයින්ට පාසල් පටන් ගන්න විනාඩි දෙක තුනකට කලින් තමයි නැත්තම් යන්න වෙන්නේ. ඒ නිසා මේ නීතිය හොඳයි. හැබැයි එය තවත් කාලීන කළ යුතුයි.

කලින් තිබුණු තරම් දැන් ට්‍රැෆික් නෑ
නලීන් - කුලියාපිටිය

මම දිනපතාම කුලියාපිටිය නගරයේ ඉඳන් කොළඹට කාර්යාල ප්‍රවහන සේවා සපයනවා. ඇත්තටම මංතීරු නීතියේ හොඳක් වගේම නරකක් මම දකින්නේ නැහැ. ආමර් වීදිය, බොරැල්ල එහෙම වෙනදා වගේ නැහැ. නමුත් ඇතැම් කාර්යාල සේවක සේවිකාවන් තමන්ගේ රැකියා ස්ථානයෙන් බහින වෙලාව විනාඩි 20ක් විතර පරක්කු වෙලා තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවල ඒ අයගෙන් යම් යම් මැසිවිලි නැගෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය මීට වඩා විධිමත් විය යුතුයි කියන එක තමයි මගේ අදහස. කලින් තිබුණ තරම් ට්‍රැෆික් එකක් නැහැ. නමුත් කොළඹට ඇතුළු වෙද්දි යම් ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදය වළක්වාගන්න යම් වැඩපිළිවෙළක් ඇති කරනවනම් හොඳයි ඇත්තටම.

මගීන්ගෙන් අපි බැණුම් අහනවා
චන්දන - නුවරඑළිය

මම මොරටුව කොටුව පෞද්ගලික බස් රථ රියදුරෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මංතීරු නීතිය නිසා ඇත්තටම තදබදය වැඩි වෙලා තියනවා. ඒ නිසා බොහෝ වෙලාවට මගී ජනතාවගෙන් බැණුම් අහන්න වෙලා තියෙන්නේ අපිට. ඒ වගේම තමයි දැන් බස් යන ලේන් එකේ බස් විතරක් නෙවෙයිනේ යන්නේ. ඒක නිසා ඒ යන ත්‍රීවිල් බයික් එහෙන් මෙහෙන් දානවා. එතකොට බොහොම අමාරැවෙන් තමයි අපි අනතුරක් වෙන එක නවත්තගන්නේ. ඒ නිසා මේ මංතීරු නීතිය ගැන අපිනම් සතුටු වෙන්නේ නැහැ. තිබුණ ක්‍රමය මීට වඩා හොඳයි.

පාරවල් පොඩි නිසා අපේ රටට ගැලපෙන්නෙ නෑ
සුනිල් - ගොතටුව

මම දැන් අවුරුදු 30ක් විතර ත්‍රීවිල් රස්සාව තමයි කරන්නේ. මේ රජය විසින් ක්‍රියාත්මක කළ මංතීරු නීතිය හොඳයි. නමුත් එය අපේ වගේ රටකට ගැලපෙන්නේ නැහැ. මොකද අපේ රටේ තියෙන්නේ පොඩි පාරවල්. ලේන් දෙකයි තියෙන්නේ සමහර තැන්වල. එහෙම තැනක මංතීරු නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. පාරවල් ලොකු වුණා නම් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ත්‍රීවිල් දුවනවා කොළඹ. ඒ අයට විවිධ ගැටලු තියෙනවා.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02