කොළඹ බෞද්ධාලෝක මාවත අවට යළිත් විශාල වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. පොත් බෑග් එල්ලාගෙන යන බාල, තරුණ, මහළු පිරිස්වලින් අවට මාර්ග ජනාකීර්ණ වී ඇත. ඒ කොවිඩ් අවදානම අතරින් පවත්වන 22 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසාය. පසුගිය 18 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ආරම්භ වූ පොත් දැක්ම දිනපතා උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වේ. ප්‍රදර්ශනය වෙනුවෙන්ම නොමිලේ බස් රථ සේවයක්ද ක්‍රියාත්මකය.
වෙනදා මෙන් නිදහසේ රංචු ගැසී ගොස් පොත්පත් ගැනීමට වෙන්වූ ඉඩකඩ කොවිඩ් මාරයා විසින් ගිල ගැනීම නිසා මෙවර ප්‍රදර්ශන භූමිය තුළ මෙන්ම අවටත් අත් සේදීම, මුව ආවරණ පැළඳීම ආදී සෞඛ්‍ය උපදෙස් පුවරැ දැකගත හැකිය. සියලුම දෙනා ප්‍රදර්ශන භූමියට යොමු කරන්නේ සිරුරේ උෂ්ණත්වය පරික්ෂා කර සැනිටයිසර්වලින් අත්වල විෂබීජහරණය කිරීමෙන් පසුවය. ප්‍රදර්ශන ශාලාවලදී ද වෙන් වෙන්ව විෂබීජහරණය සිදුවේ.
ශබ්ද විකාශන යන්ත්‍රවලින්ද දුරස්ථභාවය පවත්වාගැනීම, මුව ආවරණය පැළඳීම ආදියේ වැදගත්කම පෙන්වා දේ. ඒ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් ජනතාව දෙස බලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් කඩනවාද යන්නයි. කෙසේ වුවත් තරැණ පෙළට නම් කොවිඩ් අවදානම අමතක වී ඇති බව පෙනේ. කල්ලි ගැසී අයිස් ක්‍රීම්, නූඩ්ල්ස් කමින් ප්‍රදර්ශන භූමියේ සැරිසරන පිරිස් සුලභය.
සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ ප්‍රදර්ශන ශාලා දෙකක් පිහිටා ඇති අතර පිටත ගොඩනැගිලිවල ප්‍රදර්ශන ශාලා 13ක් පිහිටා තිබේ. ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව 416කි. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ප්‍රදර්ශන භූමියේ සෑම පරිශ්‍රයකම එක ලෙස දැකගත නොහැකිය. ඒවා බහුලව ක්‍රියාත්මක වන්නේ සිරිමා බණ්ඩාරනායක ශාලාවේදී පමණි. පෝලිමේ ගොස් දෑත් විෂබීජහරණය කර එයට ඇතුළු විය යුතු වුවත් ඒ අසලම පිහිටි විවෘත ශාලා වන C හා D ශාලාවල ඒ නීති ක්‍රියාත්මක නොවේ. මේ නිසා එම ස්ථානවල සෙනග පොදිකමින් ගැවසෙනු පෙනේ.
මේ ගැන අපට පැවසුවේ ප්‍රමුඛ පොත් ප්‍රකාශකයකු වන සුරස පොත් අධිපති ප්‍රේම් දිසානායකයි. සෞඛ්‍ය නිලධාරීන් ප්‍රදර්ශන පරිශ්‍රයේ විවිධ ස්ථානවලට විවිධ නීති ක්‍රියාත්මක කරනවා. මේ නිසා නරඹන්නන්ට හිරිහැර සිදුවෙනවා. සිරිමා බණ්ඩාරනායක ශාලාවට ඇතුළු විය යුත්තේ පෝලිම්වල තෙරපී සිට කොටස් වශයෙන්. ශාලාව ඇතුළත තදබදයක් නෑ. නමුත් පෝලිමේ තදබදයේ සිටගෙන සිටිය යුතුයි. මේ නිසා ඇතුළේ ප්‍රදර්ශන කුටිවලට එන්නෙත් සීමිත පිරිසක් ඒක පොත් අලෙවියටත් බලපානවා
තම අලුත්ම ප්‍රකාශන ගැන පැවසූ ඔහු මෙසේද සඳහන් කළේය. අපි ප්‍රදර්ශනය ඉලක්ක කර පොත් 50ක් නිකුත් කළා. වැඩිම ඉල්ලුම තිබෙන්නේ නවකතා සහ පරිවර්තනවලටයි. අලුතෙන් ආපු නවකතා කිහිපයකුත් පාඨක අවධානයට ලක්වෙලා. දිලීප ජයකොඩිගේ මිෂන් අයින්ස්ටයින්, සමන් අතාවුද හෙට්ටිගේ වසාවාසි වියට්නාම් නවකතාව, පී. බී. ජයසේකරගේ පින් මද බිසව් පොත්වලට වැඩි ඉල්ලුමක් තිබුණා. පාඨකයන්ගේ බුද්ධි වර්ධනයට ගැලපෙන ගුණාත්මක කෘති ඉදිරිපත් කිරීමටයි අපි හැමවිටම උත්සාහ කරන්නේ. පොත් මුද්‍රණයට කොරෝනා බාධක පවතිද්දිත් උසස් ප්‍රමිතියෙන් යුත් කෘති රාශියක් අපි පාඨකයන්ට ලබාදුන්නා.
පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්ම පළකළ පොත් ප්‍රමාණය අඩු කළද පාඨකයන් සඳහා උසස් පොත් රාශියක් ලබාදුන් බව සරසවි ප්‍රකාශන කළමනාකරැ ශ්‍රීපාලි පෙරේරා පැවසුවේය. කෙටිකතා, පරිවර්තන, නවකතා සහ ළමා පොත් රාශියක්ද සරසවි ප්‍රකාශකයන් එළිදක්වා තිබේ. ස්වර්ණ පුස්තක නිර්දේශිත පොත් දෙකක් සරසවි ප්‍රකාශන අතර තිබෙනවා. සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය සහ සුරත්ද මැල්ගේ තී හා තා. ඒ පොත් දෙකට ලොකු ඉල්ලුමක් තියෙනවා. සුරත් ද මැල්ගේ නවකතාවට තරුණ පෙළ අතර ඉහළ ප්‍රසාදයක් හිමිව තිබෙන බව පේනවා. සුනේත්‍රාගේ සිලෝනාගමනය සහ ටෙනිසන් පෙරේරාගේ කොරෝනා කාලේ අබිරහස් ජීවිත කියා අලුත් නවකතා පොත් දෙකක් මෙවර අපි පළ කළා. සම්මාන ලේබලය තිබෙන පොත්වලට කාලීනව ඉල්ලුම පැවතුණත් පාඨකයන්ගේ හිතට අල්ලන සම්මාන නැති හොඳ පොත්වලටත් හැමදාම ඉල්ලුමක් තිබෙනවා ශ්‍රීපාලි වැඩිදුරටත් කීවේය.
මෙවර ස්වර්ණ පුස්තක හා විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි වුණේ ගොඩගේ ප්‍රකාශකයන් පළ කළ එරික් ඉලෙයප්පආරච්චිගේ පේත නවකතාවටයි. ගොඩගේ ප්‍රකාශනයකට ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුණේ ප්‍රථම වතාවටය. ගොඩගේ ප්‍රකාශනවල අලෙවිය ගැන අපට පැවසුවේ එහි ව්‍යාපෘති සම්බන්ධීකාරක අනුරසිරි හෙට්ටිගේය.
පේත නවකතාවේ පිටපත් 20,000ක් මුද්‍රණය කර තිබෙනවා. දැනට එහි අලෙවිය වන ආකාරය දෙස බැලූ විට තවත් මුද්‍රණ වාර සිදු කිරීමට අවශ්‍ය වන බව පේනවා. එයට අමතරව රජත පුස්තක සම්මාන හිමි වූ මැරීන් ඩ්‍රයිව් කෙටිකතා පොතටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. හොඳම යොවුන් කෘතිය වශයෙන් රජත පුස්තක හා ගොඩගේ සම්මාන හිමිවූ ඒත් අපි පියාඹමු (සුජාතා අලහකෝන්) පොතත් වැඩියෙන් අලෙවි වන පොත් අතර තිබෙනවා
සෑම ප්‍රකාශකයෙක්ම පාහේ පොත්වලට ලබාදෙන්නේ 20%ක වට්ටමකි. ඒ හැරැණු විට ගුණසේන, සරසවි ඇතුළු ප්‍රධාන ප්‍රකාශකයන්ගේ ලාබ කළ පොත් (Bargain) අලෙවි කුටි ප්‍රදර්ශන භූමියේ වෙනම මුල්ලක පිහිටා තිබේ. පොත්වල වට්ටම ගැන අප සමඟ කතා කළේ පාඨකයෙක් හා නිදහස් ලේඛිකාවක්ද වන වේයන්ගොඩ පදිංචි රැක්ෂිලා වෙත්තමුණිය.
වෙනදට වැඩිය පොත්වල මිල අධිකයි. හැමතැනම වට්ටම 20%යි. මටනම් පේන්නේ පාඨකයා රැවටීමකට ලක්කිරීමක් සිදුවෙන්නේ. පාඨකයා මේ මාෆියාවට හසුවෙනවා. දුරබැහැර ඉඳන් වාහන අරන් පොත් ගන්න එන පාඨකයා අසරණ වෙනවා. මමනම් කියන්නේ ප්‍රකාශකයන් පාඨකයන්ට වැඩි සහනයක් ලබාදිය යුතු බවයි. පොත්වල මිල ඉහළ ගියත් අපේ පඩි වැඩිවෙලා නෑනේ. මේ නිසා සාමාන්‍ය පාඨකයාට මේ මිල දරාගැනීම අපහසුයි. මමත් ගන්න හිතාගෙන ආපු පොත් ගොඩක් ගැනීමට බැරි වුණා.
පාඨකයන් පොත් බෑග් අතේ තබාගෙන ඇවිද්දත් ඒවායේ බරනම් එතරම් නැති බව අපටත් දැනුණි. කොවිඩ් වසංගතය නිසා බොහෝදෙනාගේ ආදායමත් පහළ බැස තිබෙන බව කිව යුතු නොවේ. ප්‍රදර්ශන භූමියේ ආශිර්වාද ප්‍රදර්ශන කුටියේදී අපට හමුවූයේ ප්‍රවීණ පරිවර්තක කුමාර සිරිවර්ධනය. ඔහු තම අදහස් දැක්වූයේ මෙලෙසයි.
මම ප්‍රදර්ශන 22කටම ගිය කෙනෙක්. පසුගිය ප්‍රදර්ශන දෙස බලනවිට 18දා ප්‍රදර්ශනය ආරම්භ වූ දා උදේ වරුවේ හිටි තරම් සෙනඟ පසුගිය අවුරුදු 10කම හිටියේ නෑ.
පොත්වල මිල ගණන් එක පැත්තකින් වැඩියි. නමුත් සමාජයේ හැම බඩුවකම මිල ඉහළ ගිහින්. මේ දවස්වල කඩදාසිවල අධික මිල ගැන කවුරැවත් කතා කරන්නේ නැහැ. මට නම් පේන්නේ මගේ පරිවර්තන පොත් පළකරන කිසිම ප්‍රකාශන ආයතනයක් ඒ පොත්වලට අසාධාරණ මිල ගණන් සඳහන් කර නෑ. සූරිය, දයාවංශ ජයකොඩි, සරසවි, ආශීර්වාද ආයතනවල පොත් මිල ගණන් දිහා බැලුවම ඒක පේනවා. නමුත් අලුතින් පැමිණි කුඩා ප්‍රකාශන ආයතන පිට මුද්‍රණාලවලින් තම පොත් මුද්‍රණය කර ගැනීමේදී ඉහළ මිලක් වැයවෙනවා ඇති. පොත්වලට ආදරය කරන පාඨකයො නම් මිල ගැන හිතන්නෙ නෑ. සමාජ මාධ්‍යවල එක්තරා කල්ලියක් ප්‍රදර්ශනයට විරුද්ධ මත පතුරුවනවා.
කවි පොත් සල්පිල ලේඛකයන්, කවීන් හා පාඨකයන් හමුවන තැනක් බවට පත්ව තිබේ. මෙවරත් එහි ගැවසෙන පිරිස අධික බව අපට නිරීක්ෂණය වුණි. කවි පොත් සල්පිල සංවිධානය කරන කවියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ඒ ගැන මෙසේ පැවසුවේය. කලින් අවුරුදුවලට වඩා වැඩි පොත් ප්‍රමාණයක් අපට ලැබී තිබෙනවා. සෑම කවි පොතක්ම වගේ අපට අලෙවියට ලැබිලා. පැරණි කවීන් වන මහගම සේකර, මොනිකා රැවන්පතිරණ, රත්න ශ්‍රී විජේසිංහගේ පොතුත් මෙහි තිබෙනවා. පාඨක පැමිණීමත් ඉහළයි. පාසල් ළමයි, විශ්වවිද්‍යාල සිසුන් විශාල වශයෙන් අපේ කුටියට එනවා. වෙනදා එන පාඨක පිරිස වගේම අලුත් තරැණ පාඨක පිරිසකුත් අපේ කුටියට දිනපතා ඇදී එනවා. කවි පොත් අතරින් රජත පුස්තක සම්මානය හිමිවූ අනුරාධා නිල්මිණිගේ රිදුම් පිරිමැදුම් පොත වැඩි පාඨක ආකර්ෂණයක් දිනා තිබෙනවා. ඉලක්ෂ ජයවර්ධනගේ කඩා වැටෙනා තරැවන් පොතටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා.
පොත් දැක්මේදී සෞඛ්‍යාරක්ෂිත නීති රීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සෑම පහසුකමක්ම සංවිධායකයන් විසින් සපයා තිබේ. ඒත් විශේෂයෙන් තරැණ පිරිස් ඒවා එතරම් ගණනකට නොගන්නා බව පෙනේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ පොත් ප්‍රදර්ශනයට පැමිණෙන සියලුම දෙනා කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදිය යුතු බවත්, එම ස්ථානය තුළ කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත්ය. මේ නිසා ප්‍රදර්ශන සංවිධායක කමිටුව මේ උපදෙස් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුව පවතී.
කුසුම්සිරි විජයවර්ධන