2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

විදුලිබල මණ්ඩලය තවම ගහන පරණ ගේම්

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසුව ජනතාව බලාපොරොත්තු වූයේ රටේ විදුලිබල ගැටලුවලට විසඳුමක් ලැබෙනු ඇති බවය. එහෙත් නව ආණ්ඩුව ගමන් කරනුයේද මෙයට පෙර පැවති ආණ්ඩු ගිය පාරේම බව පෙනෙන්නට තිබේ. මෙයට පෙර නිමිත්තක් වශයෙන් මහ මැතිවරණයෙන් ආණ්ඩුව බලයට පත්වූ ආසන්නයේම ජනතාවට සිදුවූයේ දින දෙකක් පමණ අඳුරේ සිටීමටය. එය රජයට මණ්ඩලයේ ඇතැම් කොටස් දැක්වූ අනතුරු හැඟවීමක්දෝයි සැකයක් මතුවී ඇත.

කෙසේ වුවද මණ්ඩලය තුළ ඇති කර ඇති විදුලිබල අර්බුදය මේ වනවිට උපරිමය දක්වා ගමන් කර ඇත. රජය කොතරම් විසඳුම් ඉදිරිපත් කළද නිලධාරී මාෆියාව උත්සාහ කරන්නේ ඒ සියල්ල යටපත් කරන්නට බවට සේවකයෝ චෝදනා කරති. පසුගිය යහපාලන බලධාරීන් සහ විදුලි ඉංජිනේරුවරුන් ජනතාව වෙත පැටවීමට උත්සාහ කරන මණ්ඩලයේ බර සැහැල්ලු කිරීමට මෙතෙක් කිසිදු ප්‍රතිකර්මයක් යොදන බවක් දක්නට නැත.

ජාතික විදුලි ජාලයේ පුනර්ජනන දායකත්වය 2030 වනවිට සියයට 80 දක්වා ඉහළ නැංවීමට ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇතද නිලධාරීන් ක්‍රියා කරනුයේ එය විහිළුවට ලක්කරමින් බව පෙනෙන්නට තිබේ. මෙවැනි වාතාවරණයකදී නොරොච්චෝලේ මෙගාවොට්ස් 300ක බලාගාරයක් ස්ථාපිත කිරීමට විදුලි බල මණ්ඩලයට කැබිනට්ටුව අනුමැතිය දීම සියල්ලන්ගේම මවිතයට හේතු වී ඇත.

විදුලි බල විෂ්ලේෂකයන් පවසන්නේ ජනන සැලසුම් අනුව 2030 වනවිට විදුලි පාරිභෝජනය ගිගා වොට්ස් පැය 30890ක් වන බවය. ජනාධිපතිවරයාගේ ඉලක්ක අනුව ගල් අඟුරු ඛනිජ තෙල් ආදී සියලු ෆොසිල ඉන්ධන භාවිතයෙන් ජනනය කළ හැක්කේ ගිගා වොට්ස් පැය 6178 පමණකි. ඒ සඳහා නොරොච්චෝලේ මෙගා වොට්ස් 900 බලාගාරය මගින් ගිගා වොට්ස් පැය 6300ක් ජනනය කළ හැකි අතර දැනට අනුමැතිය දී ඇති මෙගා වොට්ස් 300 ස්වභාවික වායු බලාගාරය මගින් ගිගා වොට්ස් පැය 2100ක් ජනනය කළ හැකිය. එසේ තිබියදී දැනට අනුමත කර ඇති මෙගා වොට්ස් 300 ගල් අඟුරැ බලාගාරයේ අවශ්‍යතාවක් නොපෙනේ. එවැනි පරිසරයක මෙය අනුමත කර ගැනීම ජනාධිපතිවරයාගේ පුනර්ජනනීය බලශක්ති සැලසුම්වලට පයින් ගැසීමක් බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වුවද මණ්ඩලයේ පාලකයන් උත්සාහ කරනුයේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවට හදිසි අවශ්‍යතා සඳහා යැයි කියමින් බාහිර පුද්ගලික පාර්ශවවලින් වැඩි මිලට විදුලිය ලබාගැනීමටය. ඒකකය රුපියල් 30ටත් වඩා වැඩි මිලට විදුලිය ලබාගෙන මණ්ඩලයට පාඩු යැයි කියමින් එම නාස්තිය පාරිභෝගිකයන් පිට පැටවීමට ඔවුහු උත්සාහ ගනිති. අවම මිල පාවිච්චි කිරීම වෙනුවට උපරිම මිලකට යාමට එම කූප්‍රකට කොටස් උත්සාහ ගන්නා බවක් දක්නට ඇත.

මේ අතරම අනාවරණය වන්නේ මණ්ඩලය විදුලි බලාගාර නඩත්තු කිරීමේදී දක්වන නොසැලකිල්ල නිසා නිෂ්පාදනයට සිදුවන හානියයි. පවතින බලාගාරවල ප්‍රතිසංස්කරණ කටයුතු දිගටම ප්‍රමාද කිරීම පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබාගැනීමට මග හෙලිකිරීමක් ද යන සැකය මතු වී ඇත.

කැලණිතිස්ස විදුලි බලාගාරයේ යන්ත්‍ර දෙකක් මෙයට වසරකට පෙර අක්‍රීය වීම නිසා ඒවායින් දෛනිකව නිෂ්පාදනය කළ මෙගාවොට්ස් 165ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බව දැනගන්නට තිබේ. කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකෙහි රෝද මෙසේ අක්‍රීය වී තිබේ. මෙගා වොට්ස් 115ක් නිපදවන ගෑස් ටර්බයිනයක් සහ එහි වාෂ්පවලින් ක්‍රියා කෙරෙන දෙවැනි විදුලි ජනන යන්ත්‍රයෙන් මෙගා වොට්ස් 80ක් නිපදවෙන අතර එහි රොටරියද අක්‍රීය වී තිබේ. පසුව එම රොටරි ජනන යන්ත්‍ර දෙකේ රොටරි දෙකේ ලිහිසි තෙල් කාන්දු වීම හේතුවෙන් අලුත්වැඩියාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යවා ඇති බවද දැනගන්නට ඇත. එසේ යවා ඇත්තේ දැනට වසරකට පෙරය. අනතුරුව එහි තවත් අලුත්වැඩියාවක් දෙකම ඉන්දියාවට යවා ඇති අතර මේ වෙනතුරුම අලුත්වැඩියා කර ආපසු එවා නොමැත. ඉන්දියාවේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මේවා යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වී තිබේ.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසා ඇත්තේ ඉන්දියාවේ දැඩි ලෙස කොරෝනා ව්‍යාප්ත වීම මේ ප්‍රමාදයට හේතුව ඇති බවය. එසේ වුවද මණ්ඩලය මුල් දිනවල මේ ගැන අවධානය යොමු කළානම් ඉක්මනින් ගෙන්වා ගැනීමට හැකිව තිබූ බවද විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි. එහෙත් එසේ නොකර කොරෝනා පිට දමා බේරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකා ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති වරලත් ඉංජිනේරු පරාක්‍රම  ජයසිංහ මෙසේ කියයි.

දීර්ඝ කාලයක සිටම නිතර විවේචන එල්ලවන රාජ්‍ය ආයතනය වන්නේ ලංකා විදුලි බල මණ්ඩලයයි. විදුලි බල ක්ෂේත්‍රයේ අර්බුද මෙතරම් උග්‍ර වී ඇත්තේ කළ යුතු දේවල් කළයුතු කාලයේදී නොකිරීම නිසාය. 1995 පමණ වනතෙක්ම සමස්ත විදුලි බල උත්පාදනයෙන් සියයට 95ක්ම නිෂ්පාදනය කළේ ජලාශවලිනි. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ඉදිකරන විට අපේ බලධාරීන් පුනපුනා පැවසුවේ අප විදුලියෙන් ස්වයංපෝෂිත වනවා පමණක් නොව අපට ඉන්දියාවටද විදුලි බලය අලෙවි කර ආදායක් ලබාගත හැකි බවකි. එහෙත් රටේ ඇති වූ සංවර්ධන කටයුතු සහ ජනගහණ වර්ධනය අනුව සිදු වූ විදුලි පාරිභෝජනය ඉහළ යාම නිසා 1996 සිටම ඉල්ලුමට සැපයිය නොහැකි තරම් අර්බුදයක් නිර්මාණය විය.

මෙම අර්බුදය වඩාත් උග්‍රවූයේ 1980දී සැලසුම් කළ ගල් අඟුරු බලාගාරය නිසි කාලයේදී ඉදි නොකිරීම හේතුවෙනි. ජල විදුලිය අවශ්‍යතරමට නිෂ්පාදනය කරගැනීමට නොහැකි වුවහොත් විකල්ප බලශක්තිවලින් කුමන ඒවාට යන්නේදැයි පුළුල් සංවාදයක් ඇති වී තිබුණේ නැත. ආණ්ඩුවල සහ පරිසර සංවිධානවල ඇතැම් ක්‍රියාකාරකම් නිසා ගල් අඟුරු බලාගාර නිසි පරිදි ඉදි නොවූ බැවින් 1996 වනවිට ඩීසල් විදුලිය කරා යොමුවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.

මේ වනවිටද හදිසි මිලදී ගැනීම් ලෙස නම්කර මෙගා වොට්ස් 138ක් පෞද්ගලික අංශයෙන් මිලට ගැනීමට කටයුතු යොදන බව සැලවී ඇත. මෙහිදී සිදුව ඇත්තේ දේශපාලන බලය සහිත ව්‍යාපාරික ප්‍රජාව ඩීසල් විදුලි බලාගාර ඇතිකර ඒවායේ නිපදවන විදුලිය විදුලිබල මණ්ඩලයට අලෙවි කිරීමය. ඔවුන්ටම වාසිවන අන්දමේ ප්‍රතිපත්ති සකස් කර ඉහළ මිලකට විදුලිය මණ්ඩලයට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. මෙහි පුදුමය වන්නේ මෙම පෞද්ගලික බලාගාරවලින් විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන රජයෙන් නොමිලයේ ලබාදීමට කටයුතු යෙදීමය. මෙතෙක් කල් බලයට පත්වූ ආණ්ඩුද, ඇමැතිවරැන් හා මණ්ඩලයේ නිලධාරීහුද මේ කූප්‍රකට ව්‍යාපාරය දිගටම කරගෙන යති. මෙම වැඩපිළිවෙළට කිසිවෙකුත් හරස් නොකපන්නේ එමගින් කාගෙ කාගෙත් මලු පිරෙන නිසාය.

බලශක්ති විශේෂඥ පී. ජේ. ජෝෂප් පළකරන අදහස මෙසේය.

හදිසි මිලදී ගැනීම් වන්නේ කොහොමද? මෙතැන තියන හදිස්සිය මොකද්ද? ලබන වසරට අවශ්‍ය විදුලිය මේ වසරේ මිලට ගැනීම හදිස්සියක් වන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. මෙය සමහර අය වාසි ලබාගැනීමට ඇතිකරගත් හදිසි අවශ්‍යතාවයක්ද යන්න ගැන සැකයි. ඉදිරියට අවශ්‍ය වන විදුලි ධාරිතාව කල් ඇතුව ඇස්තමේන්තු කරලා එය සපයා ගැනීමට පියවර ගත යුතුයි. එසේ නොකර බලා ඉඳලා ඉස්සරහට කළුවරේ ඉන්න වෙනවායැයි බය කරලා නැති අර්බුදයක් ඇති කිරීමටයි මේ කටයුතු කරලා තියෙන්නේ. මේක අද ඊයේ සිදුවූ දෙයක් නෙවෙයි. විදුලි බල මණ්ඩලයේ හැමදාම ඇතිවන දෙයක්. මෙය එක්තරා කූප්‍රකට ජාවාරමක් බවයි කිවයුතු වන්නේ.

මහජන උපයෝගිතා කොමිෂමේ මාධ්‍ය අධ්‍යක්ෂ ජයනාත් හේරත්

කොමිසම මණ්ඩලය උනන්දු කරවන්නේ දිගුකාලීන අඩු වියදම් මූලාශ්‍ර සහිත සැලසුමක් සකස් කිරීමටයි. එහෙත් අපට පෙනෙන දෙයක් තමා මණ්ඩලය මෙවැනි ජනන සැලසුම් අනුමත කරගත්තද ඒවා අනුව ජලාගාර ඉදිකිරීමේ සැලසුම් ක්‍රියාත්මක නොවන බවය. ඩීසල්, පුනර්ජනනීය සුළං බලාගාරද ඉදිවූයේ නැහැ. පසුගිය වසර පහ තුළ මෙගාවොට්ස් 1500 පමණ නිෂ්පාදනය කිරීම ප්‍රමාද වී තිබෙනවා.

වසරකට විදුලිය ඉල්ලුම සියයට 6කින් පමණ ඉහළ යනවා. එනම් මෙගාවොට්ස් 300 පමණ ප්‍රමාණයකින්. මෙම අවශ්‍ය ධාරිතාව නිෂ්පාදනය නොවන විට හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකියි. එවිට සිද්ධ වෙන්නේ කෙටිකාලීනව පෞද්ගලික අංශයෙන් වැඩිමිලට විදුලිය ගැනීමයි. ඒකකය රුපියල් 30කට වඩා ඉහළ මිලකටයි මෙහෙම ගන්නේ. සාමාන්‍යයෙන් පාරිභෝගිකයාට ඒකකය අලෙවි කරන්නේ රුපියල් 15කට පමණයි. ඒ වෙනස තමා පාඩුව කියන්නේ. මේ පාඩුව වාර්ෂිකව විශාලයි.
කොමිසම විකල්ප ක්‍රම යෝජනා කළත් ඒවා ක්‍රියාත්මක වීම ප්‍රමාද බවයි පෙනෙන්නට ඇත්තේ. අපි පසුගිය වසර 5 තුළ අවිධිමත් ලෙස මිලදී ගත් විදුලියට අනුමැතිය දුන්නේ නැහැ. ඒ මුදල් විදුලි බිලට එක්කර පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට අනුමැතිය දුන්නේ නැහැ. ප්‍රමාදය ගැන පාර්ලිමේන්තුවට වාර්තා කර තියෙනවා.

විදුලිබල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසන්නේ විදුලි බල මණ්ඩලය පවසන (හදිස්සිය) ඕනෑවට මවාගත් එකක් බවය. මෙවැනි හදිසි අවස්ථා කීයක් ඇති වුණාදැයි ඔහු ප්‍රශ්න කරයි.

“මේක හරියට කොරෝනාවට පාවිච්චි කරන මාස්ක් එකක් වගේ. එකදිගට මිල ඉහළ යනවා. හැමවෙලාවටම විදුලිය හිඟ වෙනවා. හිඟය ඇති කරන්නේ වැඩි මිලට ගන්න උපක්‍රමයක් වශයෙන්. මණ්ඩලයේ ඉහළ පහළ නිලධාරීන් රුසක් මෙම අක්‍රමිකතාවලට සම්බන්ධයි. දේශපාලන අධිකාරියද මෙහි ඉන්නවා. මේක හරියට සුනඛයන්ගේ ඇඟේ ඉන්න මැක්කන් වගේ එල්ලිලා උරා බොන ක්‍රියා පිළි‍වෙළක්. මේ අක්‍රමිකතා නිසා ජනතාව අමාරුවේ වැටිලා. ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා පැවසුවා මේ මාෆියාව එන්නේ දියවන්නාවේ සිටය කියලා. දියවන්නාවේ කියලා කීවාට එය තුළ තිබෙන පාර්ලිමේන්තුවෙන් කියලා කියන එකයි හරි. එයයි ඇත්ත කතාව.

මේ හදිසි හිඟය හැම වසරකම ඇතිවන එකක්. ලබන වසරේ හදිසි තත්ත්වයක් ඇතිවේ නම් මේ වසරේ සිට එයට පියවර ගත යුතුයි. එහෙත් එහෙම වෙන්නේ නැහැ. පෞද්ගලික අංශයෙන් වැඩි මිලට ගැනීමේදී ලාබය යන්නේ කාගේ සාක්කුවටද?

 යසවර්ධන රුද්රිගු