2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

අපි වාසනාව විකුණනවා: ඒත් අපි ගැන බලන්න කවුරුවත් නෑ

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

ආර්ථික වශයෙන් කලබලයට වැටී ඇති ජනසමාජයේ වැඩි දෙනකු ඉරණම ගැන තබන්නේ දැඩි විශ්වාසයකි. නපුරක් වන තැන කරැමය කියා ද වාසියක් වන තැන වාසනාව කියා ද හිත හදාගන්නත් තුටු පහටු වන්නත් ඔවුහු පුරුදු වී සිටිති. එසේ වාසනාව සොයා යන්නන්ගෙන් වැඩිදෙනා ලොතරුයි ගැන තබන්නේ ලොකු විශ්වාසයකි.

රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් සොයාගැනීම සඳහා ලොතරැයි අලෙවිය මගින් සිදුවන්නේ සුවිශාල සේවයකි. රටේ සංවර්ධනය වෙනුවෙන් මෙන්ම සෞඛ්‍ය සේවා, රණවිරුවන්ගේ සුබසාධනය, ගොවි ජනතාව ආදී වශයෙන් විවිධ ජනකොටස්‌වල සුබසාධනය හා දියුණුව උදෙසා ලොතරුයි ආදායම යොදවා ගැනෙයි. එසේම ජනාධිපති අරමුදල සඳහා ද ප්‍රධාන අරමුදල් සම්පාදන මාර්ගයක්‌ වනුයේ ලොතරුයි අලෙවියෙන් ලැබෙන ආදායමය. හදවත් සැත්කම් සඳහා ආධාර ලබාදීම ඇතුළු දහසකුත් එකක්‌ සුබසාධන කටයුතු සඳහා එම ආධාර ලබා දෙයි.

ඇතැම් අය පුරුද්දකට මෙන් ලොතරුයි මිලදී ගනිති. තවත් අය ඉඳහිට ලොතරැයිපත් මිලදී ගෙන තම වාසනාව උරගා බලති. සමහරැන් තම දිනචර්යාව ආරම්භ කරන්නේද දවසේ මුල්ම ගනුදෙනුව කරන්නේද ලොතරැයි හරහාය. උදෑසන ලොතරුයි කූඩු අසල සිටින පිරිස එයට සාක්ෂි සපයති. වාසනාපත්වලින් සෙතක් රටට සමාජයට ලැබෙනවා නම් එය හිතකරය.

පාගමනින්, පාපැදියෙන්, වාහනවලින්, යතුරුපැදියෙන් මෙන්ම මගීන් ගමන් ගන්නා වූ බස්, දුම්රිය ආදියේද වාසනාපත් විකිණීම සිදුකෙරෙයි. මේ ආකාරයට අලෙවි වන වාසනාව අපට ලබාදෙන අලෙවිකරුවන්ට පමණක් නොව ඒවා මිලදී ගන්නා පුංචිපහේ අහිංසක මිනිසුන්ට ද මෙයින් සෙතක් නැත. 

ඒ අහිංසකයෝ දුකේය. ඒ පිළිබඳව කතා කරන්නට රටෙත් ගමෙත් එකකු නැත. වාසනාපත්වලට මුවා වී වාසනාපත් හරහා ධන කුවේරයන් වන මිනිසුන් ගැන මෙන්ම දහඩිය හෙළමින් මේ වාසනාව අපට ලබාදෙන වාසනාව අහිමි වාසනාපත් අලෙවි කරන කුඩා මිනිසා ගැන සොයන්නට ද කාලය එළඹ ඇත.

ලොතරුයිපත් අලෙවිකරුවන්ට ඇති දුෂ්කරතා පිළිබඳව දේශයේ අපි ලොතරුයිපත් අලෙවිකරැවන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළෙමු.

අලෙවිය බාගෙට බැහැලා

කරුණාරත්න - හුණුපිටිය

මේ රටට කඩා වැදුණු කොවිඩ් වසංගතයෙන් පස්සේ ලොතරුයිපත් වෙළෙඳාමේ යම් අඩුවීමක් වෙලා තියෙනවා. ඉස්සර දවසකට ටිකට් 1500ක් විතර වික්කා. දැන් 500ත් 800ත් අතර වගේ ප්‍රමාණයක් තමයි අලෙවි වෙන්නේ. ඒකත් බොහොම අමාරැවෙන් තමයි අරගෙන යන්නේ. ලොතරුයි මණ්ඩලයෙන් අපිට කිසිම සහනයක් ලබා දීලා නැහැ. අපි මේ රටට මුදල් ගෙන එන පිරිසක්. නමුත් අපි ගැන කවුරැත් කතා කරන්නේ නැහැ. මම දැන් අවුරුදු 10ක් විතර මේ ලොතරුයි වෙළෙඳාම කරනවා. ඉස්සරහට ලොතරුයි මණ්ඩලයෙන් ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා. ඒත් ලබාදෙන්නේ ඉක්මනට කැපිලා යන්න. දැන් මට වකුගඩු අමාරුවක් තියෙනවා. මේ ණය මුදල අරගෙන මට මොනව හරි අනතුරක් වුණොත් මොකද වෙන්නේ. ඒ නිසා මේ අපි වගේ ලොතරැයි අලෙවිකරුවන් ගැනත් බලලා මොකක් හරි සහනයක් ලබාදුන්නා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

අපිව මණ්ඩලයෙන් අගය කළොත් සතුටුයි

උදයශාන්ත - ලේක් හවුස් ආයතනය අසල

මම දැන් අවුරුදු 20ක් විතර ලොතරුයිපත් අලෙවි කරන එක තමයි කරන්නේ. බිස්නස්වල යම් අඩුවක් තියෙනවා. ඒ ඇරෙන්න කියන්න තරම් වරදක් නැහැ. හැබැයි ලොතරැයි මණ්ඩලයෙන් යම් ඇගයීමක් කරනවා නම් අපි සතුටු වෙනවා. මහ ලොකු ලාභයක් මේ ලොතරුයිපත් අලෙවියෙන් අපිට එන්නේ නැහැ. පසුගිය කාලයේ කොවිඩ් වසංගතය නිසා බිස්නස්වල අඩුවක් තිබුණා. නමුත් දැන් සුපුරුදු පරිදි බිස්නස් තියෙනවා. උදේ 7 වෙද්දි මම කවුන්ටර් එක අරිනවා. වාර්ෂිකව හරි මේ ලොතරුයිපත් අලෙවිකරැවන් අගය කිරීමක් කරනවා නම් හොඳයි.

සහනයක් ලැබුණොත් ලොකු දෙයක් 

රංජිත් - ඩී.ආර්. විජයවර්ධන මාවත

කොරෝනා කාලයෙන් පස්සේ ලොතරැයිපත් අලෙවියෙහි යම් අඩුවක් තියෙනවා. මිනිස්සු දැන් දිනුම් ඇදීම් වෙන්නේ නැහැ කියලා ලොතරැයිපත් ගන්න එක අඩුවෙලා තියෙනවා. පසුගිය පෙබරවාරි, මාර්තු මැද වගේ වෙද්දි ලොතරුයිපත් 1000ක් 12000ක් විතර අලෙවි කළා. නමුත් දැන් ලොතරැයිපත් 500ක් වගේ තමයි විකුණන්න පුළුවන් වෙන්නේ. ලොතරැයි මණ්ඩලයෙන් මේ ලොතරැයිපත් අලෙවි කරන අයට යම් සහනයක් දෙනවා නම් හොඳයි. 

අපිත් මේ කාටවත් බරක් නැතුව රටට යම් මුදලක් සොයා දෙන රුකියාවක් තමයි කරන්නේ. ඉදිරියේදි යම් සහනයක් ලබා දෙනවා කියලා කියනවා. 

ණය මුදලක්. ඒත් ලොකු විශ්වාසයක් තියන්න අමාරැයි. කොහොම වුණත් රජය මගින් හරි ලොතරැයි මණ්ඩලය මගින් හරි අපි වගේ ලොතරුයිපත් අලෙවිකරැවන්ට යම් සහනයක් ලබා දිය යුතුයි කියන එක තමයි කියන්නේ. එහෙම නැතුව අපිට වෙන ප්‍රශ්න නැහැ.

අපි කරන්නෙත් රටට මුදල් සොයාදීමයි

නිලන්ති මංගලිකා - ඇල්පිටිය

හැමෝටම වාසනාව වික්කට අපිට එහෙම එකක් නැහැ. ලොතරුයි අලෙවි කරන අපි දිහා කවුරැවත් අවධානය යොමු කරන්නේ නැහැ. අලෙවි නියෝජිතයන්ට හොඳයි. නමුත් මේ අපි වගේ ලොතරැයිපත් අලෙවිකරැවන්ට ලොකු සහනයක් නැහැ. මට දරැවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අයගේ ඉගැන්වීම් කටයුතු කරන්නත් ඕන. මේ හම්බවෙන කීයෙන් හරි තමයි ඒවා කරන්නේ. ඇත්තටම රටේම තියෙන ප්‍රශ්න ගැන හැමෝම හොයලා බලනවා. කතා කරනවා. ඒ වුණාට අපි ගැන රජයවත් කවුරැවත් කතා කරන්නේ නැහැ. රටවිරුවෝ ලංකාවට සල්ලි එවනවා කියලා කියනවා. අපිත් ඒ වගේ සේවයක් තමයි කරන්නේ මේ රට වෙනුවෙන්. ඒ නිසා කවුරැහරි අපි ගැනත් ටිකක් හොයලා බලනවා නම් හොඳයි.  නැත්තම් අපිත් අසරණ වෙලා තමයි ඉන්නේ.

අලෙවිකරුවන්ගේ ගැටලු ගැන සොයනවා

ලොතරැයි අලෙවි සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ

ලොතරැයි කර්මාන්තයේ දැන් ගැටලු රැසක් තියෙනවා. ලොතරුයිපත් අලෙවිකරුවන් ගැන කිසිම රජයකින් කතා කරලා නැහැ.  ඒ වගේම සහනයක් ලබාදීලත් නැහැ. ආබාධ සහිත අය පවා මේ රැකියාවේ නියැලී ඉන්නවා. ඒ නිසා මේ කර්මාන්තය ගැන අවධානයක් යොමුවිය යුතුයි යන කාරණයේ අපි ඉන්නවා. ඉදිරියේදි මෙම ලොතරුයිපත් අලෙවිකරැවන්ගේ ගැටලු ඔක්කොම වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02