2019 වසරේ මෙරට සිදුකෙරුණු රජයේ සහ පෞද්ගලික අංශයේ වැඩවර්ජන හේතුවෙන් මෙරට ආර්ථිකයට විශාල අලාබයක් සිදුව ඇතැයි 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරයි. 2019 පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ වැඩ වර්ජන 18ක් සිදු කර ඇති අතර එයට සම්බන්ධ වූ සමස්ත සේවක සංඛ්‍යාව 6952කි ඉන් 28.1%ක් වතු අංශයේද, 71.9%ක් අර්ධ රාජ්‍ය හා වෙනත් පෞද්ගලික ආයතනවල සේවකයන්ය. එමගින් අහිමි වූ මිනිස් දින ගණන 54,919කි. ඉන් 51.4% වතු අංශයේ හා 48.6% ක් අර්ධ රාජ්‍ය හා වෙනත් පෞද්ගලික ආයතනවලින් අහිමි වූ මිනිස් ශ්‍රමයයි.
වතු අංශයේ වැඩවර්ජන සංඛ්‍යාව 7කි. එයට සම්බන්ධ සේවක සංඛ්‍යාව 1952ක් වූ අතර අහිමි වූ මිනිස් දින ගණන 28,218කි. වෙනත් අංශවල වැඩ වර්ජන 11ක් වාර්තා වන අතර ඒවාට සම්බන්ධ සේවක සංඛ්‍යාව 5,000කි. අහිමි වූ මිනිස් දින ගණන 26,701කි. ඒ අනුව 2018ට සාපේක්ෂව 2019 වසරේ අහිමි වූ මිනිස් දින ගණන 10.7% කින් ඉහළ ගොස් තිබේ.
රාජ්‍ය අංශයේ වැඩි වශයෙන් වැඩවර්ජන සිදුවූයේ සෞඛ්‍ය, රේගු, තැපැල්, අධ්‍යාපන, හා ප්‍රවාහන අංශවලය. එම සංඛ්‍යාව හා අහිමි වූ මිනිස් දින සංඛ්‍යාව පිළිබඳ වාර්තා එහි ඇතුළත් නොවන අතර එම වැඩවර්ජන සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය සහ රටේ සමාජ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි අහිතකර ලෙස බලපා ඇතැයි 2019 ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවේ සඳහන්ය.
වැඩවර්ජන සිදු කෙරෙනුයේ. සේවක අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණිනි. පසුගිය වසරේ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද බොහෝ වෘත්තීය සමිති වැඩවර්ජනවල නිරත වූහ. කිසියම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවිය යුත්තේ වෙනත් කිසිදු විකල්පයක් මඟින් අදාළ ගැටලුවට විසඳුමක් නොලැබෙන විටකය. එහෙත් පසුගිය වසරේ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්, සත්වෝද්‍යාන සේවකයන් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, ගුරුවරුන්, දුම්රිය සේවකයන් මෙන්ම වතු සේවකයන්ද විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනවල නිරත වනු දැකිය හැකි විය. මෙම වැඩවර්ජන බොහෝ විට ආරම්භ වන්නේ ක්ෂණිකව ගන්නා තීන්දු තීරණ මතය.
මේ සම්බන්ධයෙන් හිටපු වෘත්තීය සමිති නායකයකු, ඇමැතිවරයකු හා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩිව් ගුණසේකර මහතා පවසන්නේ වත්මන් දේශපාලන සංස්කෘතිය මෙන්ම වෘත්තීය සමිති සංස්කෘතියද බිඳ වැටී ඇති බවයි. එදා පැවති වෘත්තීය සමිති සම්ප්‍රදාය වර්තමානයේ දැකිය නොහැකි බවද ඔහු පවසයි. “ඒ කාලයේ එක් ආයතනයක තිබුණේ එක වෘත්තීය සමිතියයි. අද එක් ආයතනයක විවිධ ශ්‍රේණි මත පදනම් වූ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ශ්‍රේණි අතරත් තරගයක් තියෙනවා. එක් ශ්‍රේණියක ඉල්ලීම් ලබාදුන්විට වෙනත් ශ්‍රේණියක් වෙනත් ඉල්ලීම් කරමින් වැඩ වර්ජනවලට යනවා. මේ තත්ත්වයට වගකිව යුත්තේ පරිපාලනයයි. අද පවතින වෘත්තිය සමිති කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව මැදිහත් වීමට වඩා වෙනත් අරමුණු සඳහා පිහිටුවා ගත් ඒවා. 1980 වැඩ වර්ජනයට පෙර මෙවැනි වාතාවරණයක් ලංකාවේ පැවතුණේ නැහැ. මේ නරක ප්‍රතිඵලය ආරම්භ වූයේ 1980න් පසුවයි. අද වන විට ලංකාවේ වෘත්තීය සමිතිවලට අනුබද්ධ සාමාජිකයන් සිටින්නේ එක්ලක්ෂ පනස්දාහක පමණ පිරිසක්. එහෙත් මින් වසර විසිපහකට තිහකට පෙර ලක්ෂ තුනහමාරක පමණ පිරිසක් සිටියා. බොහෝ දෙනෙක් වෘත්තීය සමිති කෙරෙහි කලකිරිලා. ඉස්සර කිසියම් ආයතනයක වෘත්තීය සමිතියක් ආරම්භ කරනවා නම් එම ආයතනයේ සේවක සංඛ්‍යාවෙන් 40% එහි සාමාජිකයන් විය යුතුයි. වෘත්තීය සමිතියක සාමාජිකයන් සංඛ්‍යාව අවමය 7 දෙනෙක් බවට පත් කිරීම 1956 ඉලංගරත්න මහත්මයා කළ විශාල වැරැද්දක්. එසේ වුවත් 1980 වන තෙක් එම වෘත්තීය සමිති වගකිවයුතු ආකාරයෙන් කටයුතු කළා. සියල්ල වෙනස් වූයේ 1980න් පසුවයි. වර්තමානයේ වෘත්තීය සමිති ව්‍යාපාරය බින්දුවට වැටිලා. වර්තමානයේ අපේ රටේ රජයේ හා සංස්ථාවල ඇති වෘත්තීය සමිති එම සංස්කෘතියෙන් පිට පැනලා. ඉස්සර වැඩවර්ජනයක් කිරීමට පෙර රජය සමඟ සාකච්ඡා කරනවා වැඩ වර්ජනය කළ යුතුද නැද්ද කියලා. පසුව සාමාජිකයන් අතර ඡන්දයක් පවත්වනවා. දැන් කරන්නේ මහජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කිරීමයි. රාජ්‍ය සේවය නිර්දේශපාලනීය කළ යුතුයි. අතීතයේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිතිවලට ඇඟිලි ගැසීම් කළේ නැහැ. අද වෘත්තීය සමිති මුදල් උපයන ආයතන බවට පත් වෙලා. ඒකයි එක එක න්‍යාය පත්‍ර අනුව ඔවුන් වැඩ කරන්නේ.” යනුවෙන් ප්‍රකාශ කළේය.
වැඩවර්ජන ක්‍රියාවට නැංවෙන්නේ පාලකයන්ගෙන් තම ඉල්ලීම් දිනා ගැනීමේ අපේක්ෂාවෙනි. වැඩවර්ජන හේතුවෙන් පාලකයෝද යම් පමණක අපහසුතාවලට මුහුණ දෙන අතර. වර්ජන මඟහරවා ගැනීම සඳහා විවිධ පොරොන්දු ලබා දීමට ඔවුහු පසුබට නොවෙති. ඉන් සිදුවන්නේ විශාල අවාසියකි. මෙම පොරොන්දුවලට කිසිදු සැලසුමක් නොමැත. ඔවුන් බලයට පැමිණීමෙන් පසු එම පොරොන්දු ඉටු කළ නොහැකි වූ විට නැවතත් වැඩවර්ජනවලට මුහුණ දීමට ඔවුනට සිදුවේ. පසුගිය කාලයේ පැවති වැඩ වර්ජන ඇතැම් ඒවා සාධාරණ ඉල්ලීම් මතද ඇතැම් ඒවා අසාධාරණ ඉල්ලීම් මතද ක්‍රියාවට නැංවුණු බව පැහැදිලිය.
ඇතැම් වෘත්තීය සමිති ඉල්ලීම් කරනුයේ එම ඉල්ලීම්වල විසඳුම් පසු දිනම තමන්ට ලැබිය යුතුය යන අරමුණිනි. එහෙයින් සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමෙන් තොරව තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් පසු දින සිට වැඩවර්ජනය කරන බව පවසා වර්ජන ආරම්භ කිරීමට පෙළඹී සිටිති. .පාලකයන් හා පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ වැඩවර්ජනයයි. මේ සියලු අර්බුදවලට පසුබිම නිර්මාණය වී ඇත්තේ සියල්ල දේශපාලනීකරණය වී ඇති බැවිනි.
මුලින්ම පහර දෙන්නේ අවසන් ආයුධයෙන්
වැඩවර්ජනවල අහිතකර තත්ත්වය පැහැදිලි කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් සඳහන් කළේ වැඩවර්ජනයක් යනු රටකට ඉතා අහිතකර ලෙස බලපාන කරුණක් බවත්, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවති වැඩවර්ජන පිළිබඳ සලකා බැලීමේදී බොහෝ වෘත්තීය සමිති අවසානයට ගත යුතු පියවර ප්‍රථමයෙන් ක්‍රියාවට නැංවූ බවත් පැහැදිලිව පෙනෙන කරුණක් බවය.
“සාමාන්‍යයෙන් වෘත්තීය සමිති ක්‍රියාපටිපාටියේදී තම ඉල්ලීම් දිනාගැනීම සඳහා ජනතාව පීඩාවට පත් නොවෙන පරිදි විරෝධය දක්වන වෙනත් ක්‍රමවේද තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ දැන් තිබෙන වෘත්තීය සමිති මුලින්ම පහර දීමට යොදා ගන්නේ අවසාන ආයුධය හෙවත් වැඩවර්ජනයි. පසුගිය කාලයේ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේත් වැඩවර්ජන සිදු වුණා. මෙම වැඩවර්ජන සම්බන්ධයෙන් රජයත් වගකිව යුතුයි. කිසියම් වෘත්තිය සමිතියක් හෝ සමිති ගණනක් තම ඉල්ලීම් ලබා දෙන ලෙසට ඉල්ලා සිටි විට ඒවා ලබා දිය නොහැකි යැයි පවසන රජය ඔවුන් වැඩවර්ජනයක නිරත වීමෙන් පසු එම ඉල්ලීම් ලබා දීමට කටයුතු කරනවා. වැඩවර්ජනයක නිරත වීමෙන් පසු ඒවා ලබා දිය හැකිනම් ඉන් පැහැදිලි වන්නේ වැඩවර්ජනය කිරීමට පෙර ඒවා ලබාදීමේ හැකියාවක් පැවති බවයි. කිසියම් ඉල්ලීමක් ලබා දිය නොහැකි නම් වැඩවර්ජනය කළ පසුවද එම ඉල්ලීම් ලබා දිය නොහැකියි. යම් යම් තීන්දු තීරණ ගැනීමේදී රජය පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් සිදුවිය යුතු විශ්ලේෂණවල අඩුවක් පෙනෙනවා. වැඩවර්ජනයක් තුළින් ඔවුන් අසාධාරණ ඉල්ලීම් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතා විරෝධයක් ගොඩ නැඟෙනවා. වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ලබා දීමට ඔවුන් වැඩවර්ජනය කොට ජනතාව පීඩාවට කරන තෙක් බලා සිටින්නේ නම් එයට එම ආයතනවල පාලකයන්ද වගකිව යුතුයි. වැඩවර්ජනවල අවාසනාවන්ත තත්ත්වය තමයි දේශපාලනික වැඩ වර්ජන. ඇතැම් දේශපාලන පක්ෂ තමන් කැමති නායකයා බලයට පත් කර ගැනීමේ අරමුණින් වැඩවර්ජන ක්‍රියාවලියේ නිරත වනවා. යම් යම් කාලවල විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ආණ්ඩුව විසින් ගනු ලබන ජනතා හිතවාදි ක්‍රියාවලට පවා එරෙහි වන බවක් පෙනුණා. බොහෝ වෘත්තිකයන්ගේ වැඩවර්ජන මෙන්ම අනෙකුත් සේවකයන්ගේ වැඩවර්ජන තුළද ජනතාවාදී නොවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පසුගිය සමයේ අපට දැකගත හැකි වුණා. ඇතැම් වෘත්තීය සමිති වැටුප් දීමනා ඉල්ලා සිටියේ වෙනත් රටවල වැටුප් තල හා සන්සන්දනය කරමින් විනා රටේ ආර්ථිකයේ දායකත්වය අනුව නොවෙයි. වැඩ වර්ජන මෙහෙය වූ බොහෝ වෘත්තීය සමිති නායකයන් අවසානයේ අලුතින් බිහිවන රජයන්හි තනතුරු ලබා ගන්නවා. මොවුන් දේශපාලන අරමුණකින් විනා ජනතා ඉල්ලීම් වෙනුවෙන් කැපවූ වෘත්තීය සමිති නායකයන් බව ඉන් පැහැදිලියි. පසුගිය සමයේ පැවති දුම්රිය වැඩ වර්ජනය ගනිමු. එවැනි දේ ජනතාවට සෘජුවම දැනෙන දේවල්. මෙවැනි දේ තුළින් ජනතාවට මෙන්ම රටේ ආර්ථිකයටත් ඇති කෙරෙන බලපෑම සුළුපටු නැහැ. මෙම වැඩ වර්ජන නිසා රටට අහිමි කෙරෙන මිනිස් දින ගණන විශාලයි. විශාල පිරිසක් වැඩ වර්ජනවලට එක්වීම නිසා රටේ ආර්ථිකයට බලපෑමක් ඇතිකරනවා. යම් වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයක නිරතවනවා නම් ඒ සම්බන්ධයෙන් කලින් දැනුම් දිය යුතුයි. පසුගිය සමයේ පැවැති දුම්රිය වැඩ වර්ජනවලදී උදේ වැඩට පැමිණි පුද්ගලයන්ට සවසට නිවෙස් කරා යා නොහැකි වන පරිදි ඔවුන් වැඩ වර්ජනය කළා. වැඩවර්ජනයක් සදාචාර සම්පන්න ලෙස සිදු කරනවා නම් එවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ. ඔවුන් ජනතාව පීඩාවට පත්වන ලෙස වැඩ වර්ජනය කිරීම නිසා ජනතා කෝපය එල්ල වූ අවස්ථාද දැකගත හැකි වුණා. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. වැඩවර්ජනයේ නිරත බොහෝ ආයතන ඔවුන්ගෙන් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳ සැලකිලිමත් නැහැ. ඔවුන්ගෙන් ජනතාවට ලැබිය යුතු සේවය ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කරනවා. ඔවුන් තම ඉල්ලීම් දිනාගත යුත්තේ තමන්ගේ ප්‍රශස්ත සේවය ජනතාවට ලබා දෙමිනුයි. බොහෝ වැඩවර්ජන ප්‍රජාපීඩක වැඩවර්ජන. වැඩවර්ජනයක නිරතවී තම ඉල්ලීම් දිනා ගැනීමෙන් පසුව ඔවුන්ගෙන් මහජනතාවට ලැබිය යුතු සේවය ලැබෙනවාද? එවැන්නක් සිදුවන්නේ නැහැ. ඔවුන්ගේ එදිනෙදා සේවයත් ප්‍රජා පීඩකයි. වැඩවර්ජනයත් අමානුෂිකයි. එබැවින් වැඩවර්ජනයක නිරත වීමට පෙර ඔවුන් සිතා බැලිය යුතු කරැණු රාශියක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා